Home LifestyleLiving කේන්තිය පාලනය කරගන්න Lady.LK උපදෙස්

කේන්තිය පාලනය කරගන්න Lady.LK උපදෙස්

by LADY.LK

මේක නිකංම නිකං කාරණයක් නං නෙමෙයි. මේක ඔයාගෙ විවාහ ජීවිතයට, වෘත්තිය ජීවිතයට, මිතුරු ඇසුරට වගේම සමාජයීය ඇසුරට ඍජුවම බලපාන දෙයක්. මේ කතාව ඔයාගෙ කේන්තිය පාලනය ගැනත හොස්ස ලඟින් මැස්ස යන්න බැරි කෙනෙක් කියලා හඳුන්වන කෙනෙක් එක්ක වැඩ කරන්න කිසිම කෙනෙක් කැමති නෑ. ඒ නිසා අපේ මේ කතාව ඔයාගෙ ඒ තත්ත්වය පාලනය කරගන්න හැටි ගැන. ඔයත් කේන්ති යන කෙනෙක් නම්, ඔයා දැනටමත් ඒ ගැන දන්නවා ඇති. ඒ වගේම ඔයාට ඒ ගැන අනිත් අයගෙන් අහන්න ලැබිලාත් ඇති. ඒ වගේම ඔයා ඒ ගැන පසුතැවිලාත් ඇති. Lady.LK මේ කියන කතාව ඔයාට අදාළ වෙන්නෙ ඒ නිසායි.

එකේ සිට

මේක තමයි අපි හැමෝම දන්න එක. මේක පුංචි කාලෙ ඉඳන් දන්න දෙයක්. කේන්ති ගියාට පස්සෙ එකේ සිට දහයටත්, දහයේ සිට එකටත් ගනං කරන්න කියන එක ප්‍රසිද්ධ ක්‍රමයක්. හැබැයි අපි වැඩිහිටි වෙද්දි ඒක අතෑරලා දානවනං ඒක අපරාධයක්. ඇයි අපි එහෙම කියන්නෙ. ඒ මේ ක්‍රමය ඇත්තටම සාර්ථක නිසා. සියයට සියයක් සාර්ථක නැතත්, ඒ වගේ මොහොතක ඔයාගෙන් කියවෙන්න ඉඩ තියෙන නරක කතාවක් මගහරින්න මේ ක්‍රමය ප්‍රමාණවත්. මේ වැඩෙන් ඔයාට ඔයාගෙ ඊලඟ ප්‍රතික්‍රියාව ගැන හිතන්න අමතර තත්පර 20ක් ලැබෙනවා. ඉතිං ක්ෂණික කෝපයට ඉඩක් නෑ.

මගෙන් මොකද වුණේ?

මේකත් හොඳ ක්‍රමයක්. ඇත්තටම අපිට මොනවහරි දේකට කේන්ති යන්නෙ යම් කෙනෙකුගෙන් වුණු වැරැද්දක් නිසානෙ. මෙන්න මේ වැරැද්ද දිහා බලන විදිහ හදාගන්න එකත් මේ කේන්තිය නවත්තගන්න හොඳ විදියක්. මේකෙන් කරන්නෙ මේ වැරැද්ද වෙන්න අපේ පැත්තෙන් මොනවා හෝ බළපෑමක් වුණාද නැද්ද කියන එක හොයලා බැලීමක්. ඒ වගේම අපේ පැත්තෙන් මොකක් හෝ වරදක් නොවුණා නම්, මේ වැරැද්ද කරපු කෙනා අපේ ජීවිතයට කරලා තියෙන උදවු ගැන කල්පනා කිරීම වගේම, ඔවුන්ගේ ජීවිතය අපිට කොයිතරම් වැදගත්ද කියා සිතීමත් කේන්තිය මගහැරවගන්න පාවිච්චි කරන්න පුළුවන්.

මම කාටද? මට කවුද?

අපේ ආදරණීයයන් කියන්නෙ හැම මොහොතකම අපි එක්ක අපේ හිතේ ඉන්න අය. ඒත් අපේ හිතට කේන්තියක් ආපු වෙලාවක ඒ අය ලඟ නොඉන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මේ ආදරණීයයන් ගැන හිතන්න. ඒ අම්මා, ආදරය කරන කෙනා හෝ දරුවන් වෙන්න පුළුවන්. මේ කේන්තිය ඉහවහා ගිහින් කරන දේ නිසා ඔවුන්ට සිද්ධ වෙන්න පුළුවන් හානිය වගේම ඔවුන් එයින් සිත් තැවුලට ලක් වෙන හැටි ගැන හිතන්න. මේ දේ ගැන හිතන්න මීට වඩා හොඳ විදියක් තවත් නැහැ.

කැමති සින්දුවක්

කැමති සින්දුවක් අහන්න. ඔයාගෙ ආසම පරණ මතකයක් අවුස්සන සින්දුවක්, ඔයාගෙ හිත නිවන සින්දුවක්, මුළු ලෝකෙම අමතක කරවන සින්දුවක් අහන්න. මේක කෙටියෙන්ම ඔයා ඒ මොහොතෙ ගන්න හදිස්සි තීරණයක් වළක්වන එක් ක්‍රමයක් විතරයි.

මට වෙන පාඩුව

ඔයාගෙ කේන්තියෙන් ඔයාට වෙන පාඩුව හිතන්න. ආයතන ප්‍රධානියෙකු සමග කේන්තිය පිටවුණොත් ඔයාගෙ රැකියාවට එය හානියක් වෙන්න පුළුවන්. ඔබේ ආදරණීයයෙක් නම් ඒ කේන්තිය නිසා ඔබට ඒ ආදරණීයයා නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ මිතුරන් හෝ ආයතනික සමකාලීනයන් නම් ඒ හා සමානම හානියක් වෙන්න පුළුවන්. හොඳම දේ ඉවසීම බව ඔබට සිදුවන පාඩුව ඇසුරෙන් හිතට ගන්න.

හොඳ හුස්මක්

ඔවු හොඳ හුස්මක් ගන්න. පොතේ හැටියට නම් හුස්ම තුනක් ගන්න. ඔබ ආසම කරන මතකයක් ගැන හිතන්න. සාමාන්‍යයෙන් කේන්ති යන කෙනෙකු නම් ඔබට එවැනි අවස්ථාවක කතා කරන්නට හිතෙන හිත නිවන අයෙකුට කතා කරන්න. සිද්ධිය ගැන කිසිත් නොකියා ඔබේ සිත සන්සුන් වන තුරු ඔවුන් සමග කතා කරන්න.

Related Articles