Home LifestyleFashion ආකර්ෂණීය සිනහවක් වෙනුවෙන්

ආකර්ෂණීය සිනහවක් වෙනුවෙන්

by LADY.LK

හිනාව කියන්නෙ ලස්සන සුන්දර දෙයක්. හැබැයි අපි ගොඩක් දෙනෙක් හිනාව පාවිච්චි නොකර ඉන්නවා. ඒකට හේතුවක් විදියට සමාජයේ මුණගැහෙන විවිධ පුද්ගලයොන්ගෙ අරමුණු සහ අභිලාෂ කියන්න පුළුවන්. ඒ වගේම අපිට හිනාවෙලා පුරුදු නෑ වෙන්න පුළුවන්. ඒ වගේම අපිට හිනාවීම අපහසු වෙන්න පුළුවන්. හිනාවීම අපහසු වෙන්නෙ කොහොමද කියන එක ගැනත් මේ සටහනේදි අපි කියනවා. කොහොමින් කොහොම හරි මේ සටහන ලියැවෙන්නෙ හිනාව හොඳ පුරුද්දක් කරගෙන අපේ පෙණුම සහ පෞරුෂය ගොඩනංවාගන්න හිනාව යොදාගන්නෙ කොහොමද කියන එක ගැන කියන්න. ඒ නිසා Lady.lk ගෙන එන මේ සටහන කියවන්න. සමහරු ඇත්තටම හිනා නොවෙන්නෙ හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ කියලා, තිබුනු පරණ සින්දුව නිසානම් අපිට කියන්න තියෙන්නෙ ඒ ගැන නම් බයක් ගන්න එපා කියලයි.

ලස්සන මුවක්

ගොඩක් දෙනෙකුට හිනාවෙන්න තියෙන ලොකුම බාධාවක් තමයි තමන්ගේ මුඛය මින් පෙර ඔවුන් දැක තිබීම. දත් දුර්වර්ණ වීම, විදුරුමස්වල තියෙන පැහැය වගේම, දත් පෙළෙ පිහිටා ඇති ආකාරය සහ ඇතැමුන්ගේ දත් ගැලවී හෝ කඩතොළු තිබීම වැනි හේතු නිසා ගොඩක් දෙනෙක් හිනාව කියන දේට මුව විවර කරන්න බයයි. අන්න ඒ නිසාම ලස්සන මුවක් වෙනුවෙන් නිසි ලෙසින් දත් මැදලා මුඛ සෞඛ්‍යය පවත්වා ගන්නට උවමනායි. ඒ විතරක්ම මදියි. රාත්‍රියට දත් මැදීම, දත්වලින් බෝතල් මූඩි විවර කිරීම හෝ වෙනත් හානි විය හැකි දෑ සිදු නොකිරීමත් වැදගත්. ඒ විදියට පෙණුම ලස්සන දත් පෙළක් පවත්වාගත්තොත් හිනාවෙන්න ඒක හොඳ දිරියක් සපයාවි.

සුවඳත් වැදගත්

ලස්සන විතරක්ම මදියි. හිනාවෙද්දි මුඛයෙන් පිටවෙන සුවඳත් වැදගත්. ඒ දේටත් අපි ඉහත කියපු මුඛ සෞඛ්‍යය නිවැරදිව පවත්වා ගැනීමේ වැදගත්ම ඉතා ඉහළයි. උදාහරණයකට ඔබ දහවල් ආහාරයට සුදු ළූනු හෝ වෙනත් තරමක දුර්ඝන්ධයක් පිටවන ආහාරයක්(ගෝවා, නෝකෝල්, රතුළූනු, ආසා අයට කිසිඳු ගඳක් නැති දූරියන්) ගත්තා නම් ඒ අවස්ථාවේදී මවුත්වොෂ් එකක් හෝ පාවිච්චි කිරීම ඔබේ මුව සුවඳවත්ව තබාගැනීමට උදවුවක් වේවි. මේ කියන කාරණා වගේම දවසට දෙවරක් දත් මැද මුඛය ප්‍රසන්නව සුවඳවත්ව තබාගැනීම මේ කාලයේ මාස්ක් එකක් භාවිතා කරන ඔබට වුණත් සුහද අත්දැකීමක් වේවි.

හොඳම හිනාව

මේක ටිකක් හොඳ වැඩක්. තමුන්ගෙ හිනාව ගැන තමුන්ගෙම හිතින් කන්ෆිඩන්ස් හදාගන්න. ඔයා හිතන විදියට ඔයාගෙ ලස්සනම ෆොටෝ ටික තෝරගන්න. ඒවයින් බොහෝමයක පොදුවේ තියෙන හිනාව ඔයාගෙ ලස්සනම හිනාව විදියට හිතුවොත් අපිට අපේ ලස්සනම හිනාව ගැන අදහසක් ගන්න පුළුවන්. අන්න ඒ හිනාව තෝරගන්න එක වටිනවා. මෙහෙම මහන්සියක් හිනාව වෙනුවෙන් වෙන්න ඕනද කියලා ඔයාට දැන් හිතෙයි. මේකප් දානවට වඩා ස්වභාවික සහ වියදමක් නැති ඒත් ලස්සනම දේ තමයි හිනාව. ඒක තෝරගන්න පොඩ්ඩක් මහන්සි වුණාට කමක් නෑ. තෝරාගෙන විතරක් නිකං ඉන්න එපා. හොඳම හිනාව ප්‍රැක්ටිස් කරන්න.

මුළු මුහුණෙන්ම

අපි මුලින් කියපු කාරණා එක්ක හිනාවට මුල් වෙන්නෙ මුඛය විතරක් කියලා හිතුනානම්, ඒක එහෙම නැහැ. මොකද හිනාවට උදවු දෙන්නෙ මුළු මුහුණම. හිනාවට මුව වගේම ඇස් ලොකු උදවුවක් දෙනවා. ඇස් වගේම කම්මුල් ඔයාගෙ හිනාව ලස්සන කරනවා. කොහොමත් මේ දවස්වල මාස්ක් දාන නිසා ගොඩක් අයට ඇස්වලින්නෙ හිනාවෙන්න වෙන්නෙත්. ඒ නිසා තමුන්ගෙ හිනාවෙදි ඇස් මගහරින්න එපා. සැකයිනම් ඇස් මගහැරලා බලන්න. හිනාව කොයිතරම් කැත වෙනවාද කියලා ඔයාලටම තේරේවි. තවත් අමතක නොකරන්න ඕන දෙයක් තමයි තොල් පෙති. තොල් පෙති කිවුවම මේක කාන්තාවන්ට මේ කාරණය විශේෂයි. තොල්පෙති ඔයාගෙ හිනාවට උදවු කරගන්න.

මූඩ් එක

තවත් වැදගත් දෙයක්. අපි බොරුවක් කරන එක හොඳ නෑ වගේම බොරුවට හිනාවෙන එකත් ඕනම කෙනෙකුට තේරෙනව මේ කරන්නෙ බොරුවක් කියන එක. ඒ නිසා හිනා වෙනවනං ඒකට හිතට ෆිට් මූඩ් එකක් තියෙන්නත් ඕන. කිසිම වෙලාවක හිතේ ප්‍රශ්න ගොඩක් තියාගෙන බොරුවට හිනාවෙන්න යන්න එපා. අන්න ඒ නිසාම ඔයාගෙ හිනාව ආකර්ෂණීය වගේම ලස්සන කරගන්න ඔයාගෙ මානසික සෞඛ්‍ය​ය හොඳින් තියාගන්න. අනවශ්‍ය ප්‍රශ්න නොහිතා පුළුවන් තරම් මානසික ආතතියෙන් බැහැර වෙලා ඉන්න තරමට අවංකව හිනාවෙන්න ඒක උදවුවක් වේවි.

අවංකව හිනාවෙන්​න

මුළු හිතින්ම හිනාවෙන්න. මුහුණෙන්ම හිනාවෙන්න ඕන හිතෙන්ම සතුටු නම් විතරයි. අපි උඩ කියපු විදියෙ මූඩ් එකක් නැතිනම් වගේම තමුන් ඉන්න අකමැති තැනක බොරුවට හිනාවෙද්දි ඒක ඕන කෙනෙකුට තේරෙනවා වගේම ඒක ඔයාගෙ ලස්සනම හිනාව වෙන්නෙත් නෑ. එහෙම වෙන්න නං ඔයා අවංකව හිනා විය යුතුයි. ඉතිං හිනාව අවංක වෙන්න අපේ සිදුවිල්ල අවංක වෙන්න ඕන. ක්‍රෝධය, ඊරිසියාව දුරලන්න ඕන. මේ විදියට අවංකවම යමක් ගැන සතුටු නම් ඒ හිනාව අවංක වේවි.

Related Articles