Home LifestyleFashion ස්කින් කෙයා ප්‍රඩක්ට්ස් ඔක්කොම ලඟ තිබ්බට ඔබ ඒවා පාවිච්චි කරන විදිය නිවැරදිද?

ස්කින් කෙයා ප්‍රඩක්ට්ස් ඔක්කොම ලඟ තිබ්බට ඔබ ඒවා පාවිච්චි කරන විදිය නිවැරදිද?

by LADY.LK

පැහැපත් සමක් කියන එක අද වන විට බොහෝ යුවතියන් සුදු පාට සමකට වරදවා වටහාගෙන. මේ නිසාම සුදු වෙන ඉන්ජෙක්ශන්, සුදු වෙන ක්‍රීම් සහ පෙති ජාති වගේ නොයෙක් නොයෙක් සුදු වෙන උපක්‍රම වෙලඳ පොලේ බොහොම ජයට විකිණෙන තත්ත්වයක් ඇති වෙලා. ඒත් සමේ ස්වභාවිකව පවතින මෙලනින් වර්ණකයට හානි කිරීමෙන් ඇති කරගන්න සුද, සමට මොන වගේ අතුරුඵල ගේනවද කියන එක සුදු වෙන බ්ලීචින් ක්‍රීම් ගාල සමට හානි කරගත්තු අය අත්විඳල ඇති.

පැහැපත් සමක් කියන්නෙ සුදු පැහැ සමකට නෙවෙයි. තමන් උපතින් ගෙනා සමේ පැහැය රැකගෙන, කුරුලෑ ලප කැළැල් නැති, වියලි නැති, අධික තෙල් නැති සාමාන්‍ය සමකට තමා පැහැපත් සමක් කියන්නෙ. මෙහෙම පැහැපත් සමක් ලබාගන්න අපේ යුවතියන් නොයෙකුත් ක්‍රීම් ජාති, ස්ක්‍රබ්, ටෝනර් සහ ක්ලෙන්සින් වගේ නිෂ්පාදන පාවිච්චි කරන්න යොමු වෙලා ඉන්නව. ඒත් මේ දේවල් හරි විදියට පාවිච්චි කරන හැටි දැනගෙනද පාවිච්චි කරන්නෙ? අද මේ ලිපිය ඔබ පාවිච්චි කරන රූපලාවන්‍ය නිෂ්පාදන නිවැරදිව පාවිච්චි කරන හැටි සහ ඒ ඒ නිෂ්පාදන වලින් සමට ඇති වාසි ගැනයි.

 

ඔබේ සම හානි වුන සමක් නම්
Source – onlinepharmacy.ie

කලිනුත් මතක් කලානෙ බ්ලීචින් නිසා හමට හානි කරගත්තු අය ගැන. ඔබත් එහෙම බ්ලීචින් ක්‍රීම් එකක් නිසා සමට හානි කරගෙන මුහුණේ කැළැල් සහ කුරුලෑ මතු වුන කෙනෙක් නම් මේ කිසිම කෘතිම නිෂ්පාදනයක් භාවිතා කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. කිසිම ආලේපයක් ආලේප නොකර මාස තුනක්වත් සමට විවේකයක් ලබා දිය යුතුමයි.

 

සමේ ස්වභාවය හඳුනාගැනීම
Source – divareview.vn

මේ මොනම දෙයක් මිලදී ගන්නටත් පෙර ඔබ ඔබේ සමේ ස්වභාවය ගැන දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නෙ තෙල් සහිත සමක්ද, වියළි සමක්ද, එහෙමත් නැත්නම් සාමාන්‍ය මිශ්‍ර සමක්ද කියන එක පැහැදිලිව දැනගෙන ඉන්න ඕන. මෙන්න මේ විදියෙ පොඩි පරීක්ෂණයකින් සමේ ස්වභාවය ඔබට දැනගන්න පුළුවන්.

 

ස්කින් කෙයා ප්‍රඩක්ට්ස්
Source – foodmatters.com

කඩේකට ගිහින් එක එක ජාතියෙන් ස්කින් කෙයා ප්‍රඩක්ට්ස් ගෙදර ගෙනත් තමන්ට හිතෙන පිලිවෙලට ඒවා පාවිච්චි කරන එකෙන් සමට වෙන්නෙ තවත් හානියක්. ස්කින් කෙයා ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන පිළිවෙලක් තියෙනව. ඒ විතරක් නෙවෙයි මේ නිෂ්පාදන උදෑසන දවල් සහ රාත්‍රියට වශයෙන් වෙන් කෙරෙනව. නයිට් ක්‍රීම් එකක් දවල්ටත් ඩේ ක්‍රීම් එකක් රෑටත් ගාලා වැඩක් වෙන්නෙ නෑ. ඒ ඒ දේවල් සම මත ක්‍රියා කරන කාලය සහ විදිය එකිනෙකට වෙනස්. ඒ වගේම සමහර නිෂ්පාදන භාවිතා කරන්න පටන් ගන්න ඕන වයසක් තියෙනව. මේ හැමදෙයක්ම වගේ එකම වර්ගයකින් ඒ කියන්නෙ එකම බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන් නම් වඩාත් හොඳ නමුත් සමහර වෙලාවට එකම බ්‍රෑන්ඩ් එකෙන් හැම නිෂ්පාදනයක්ම නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවකදී හැරුණම සියළුම නිෂ්පාදන එකම වර්ගයකින් ගන්න එක වඩාත් ප්‍රතිඵලදායකයි.

පහතින් ඒ ඒ නිෂ්පාදන ගැන විස්තර කියන්නෙ මේ නිෂ්පාදන පාවිච්චි කරන්න ඕන පිළිවෙලටමයි.

 

1. ක්ලෙන්සර්
Source – emaze.com

ක්ලෙන්සර් එකකින් කරන්නෙ සම පිරිසිදු කරන එක. ක්ලෙන්සර් එකකින් සම තුලට කා වැදුණු කුණු දූවිලි පවා ඉවත් කෙරෙනව. මේකප් සහ දවස පුරා සම මත එකතු වෙන දූවිලි හොඳින් සම මතින් ඉවත් නොවුනොත් කුරුලෑ ඇති වීමේ අවධානම වැඩියි. මේ නිසා ඔබ රැකියාවකට යන මේකප් භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ක්ලෙන්සර් එකක් පාවිච්චි කල යුතුමයි. ඒ නැතත් රාත්‍රියට නින්දට පෙර සම පිරිසිදු කරන්න ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. රැකියාවකට නොයා දවසම ගෙදර රැඳෙන ගෘහණියක් උනත් කුස්සියේ උයන පිහින වැඩ වලදි තෙල් සහිත දුමට සම නිරාවරණය වෙනව.

 

2. ෆේස් වොශ්
Source – mycitylife.com.au

ෆේස් වොශ් එකක සබන් අඩංගුයි. පෙණ නැගෙන ගතියෙන් යුතු නිසා සමේ කුඩා සිදුරු තුල ඇති තෙල් සහ දූවිලි මතු පිටට ගෙනවිත් සම පිරිසිදු කරන්න ෆේස් වොශ් එකක් සමත්. නින්දෙන් පිබිදුනාට පස්සෙ උදෑසනක ක්ලෙන්සර් එකක් පාවිච්චි නොකර ෆේස් වොශ් එකක් විතරක් පාවිච්චි කිරීම ප්‍රමාණවත්.

 
3. ටෝනර්
Source – ellahoy.es

බොහෝ දෙනෙක් පාවිච්චි නොකරන ඒත් සමේ පැවැත්මට ඉතාමත් වැදගත් නිෂ්පාදනයක්. ක්ලෙන්සර් සහ ෆේස් වොශ් වලින් විවර කෙරෙන සමේ සිදුරු නැවත යථා තත්ත්වයට පත් කර සම මත ආවරණයක් සේ ක්‍රියාත්මක වෙන ටෝනර් දැන් දැන් සමට තෙතමනය ලබා දෙන, සම පෝශණය කරන තත්ත්වයටම දියුණු වෙලා තියෙනව. ඒ ඒ ස්කින් ටයිප්ස් වලට ගැලපෙන ටෝනර් වර්ග දැන් වෙලඳ පොලේ තියෙනව.

 

4. ඇන්ටි ඇක්නෙ ප්‍රඩක්ට්ස්
Source – drbaileyskincare.com

කුරුලෑ සහිත සමක් නම් ඔබට තියෙන්නෙ කුරුලෑ සඳහාම වෙන් වූ නිෂ්පාදනයන් ඔබ ටෝනර් එකට පසුව පාවිච්චි කල යුතුයි. මොයිස්චරයිසර් සහ සේරම් වලින් සම මත තවත් ලේයර්ස් දෙකක් එන්නට කලින් කුරුලෑ සඳහා ප්‍රතිකාර වන නිෂ්පාදන ආලේපයෙන් එහි ක්‍රියාකාරීත්වය වඩා හොඳින් සිදු වෙනව.

 

5. සේරම්
Source – moeslema.com

සමේ පෝශණය සඳහාම වෙන්වූ නිෂ්පාදනයක්. සේරම් වලින් සමට අවශ්‍ය පෝශණය ලබා දෙනව. විශේෂයෙන්ම සේරම් එකක් වඩාත්ම වැදගත් වෙන්නෙ වයස අවුරුදු 30න් පසුවයි. සමේ ස්වභාවික පෝශණය සහ තෙතමනය ඉවත් වීගෙන යන වයස එළඹෙන විට පිටින් ආලේපයන් මඟින් සමේ පෝශණය කරන්න මේ සේරම් අපිට උදව් වෙනව. විටමින් සී සහ ඊ වලින් සම පෝශණය කරනව වගේම සම රැලි වැටීම අවම කරන්නත් සේරම් සමත්. ඩේ සහ නයිට් වශයෙන් සේරම් වර්ග මිලදී ගන්න පුළුවන්. දිනකට දෙවරක් ආලේප කිරීම ප්‍රමාණවත්.

 

6. අයි ක්‍රීම්
Source – thefashionspot.com

අපි මුලින් කියපු ටෝනර් හෝ ක්ලෙන්සර් ඇස් වටා ආලේප කරන්නෙ නෑ. ෆේස් වොශ් එකෙන් පමණයි ඇස් වටා පිරිසිදු කෙරෙන්නෙ. ඇස් වට මුහුණේ ඉතාම සංවේදීම සම සහිත කොටසයි. බොහෝ නිෂ්පාදනයන්හි “අවොයිඩ් අයි ඒරියා” (Avoid Eye Area) වශයෙන් සඳහන් වෙන්නෙ ඒ නිසයි. මේ නිසාම සංවේදී ඇස් වටා ආලේප කරන්න ඒ සඳහාම විශේෂයෙන් නිපද වූ අයි ක්‍රීම් තියෙනව. මේ අයි ක්‍රීම් පාවිච්චි කරන්නත් පටන් ගන්න ඕන වයස 30න් පසුවයි. ඇස් වට කළු වීම සහ රැලි වැටීම වගේම අන්ඩර් අයි බෑග්ස් සහ ඒජ් ස්පොට්ස් ඇති වීම වැලැක්වීමට අයි ක්‍රීම් සමත්. මෙයත් ඩේ ඇන්ඩ් නයිට් වශයෙන් ලබාගන්න පුළුවන්. අඩුම වශයෙන් රාත්‍රියේවත් මේ අයි ක්‍රීම් එකක් භාවිතය වැදගත්.

 

7. මොයිස්චර්රයිසර්
Source – amibeautyspa.com

සමේ තෙතමනය සමක නිරෝගීකමට බෙහෙවින් බලපානව. තෙල් සහිත සමකට උනත් මොයිස්චර්රයිසර් එකක් භාවිතය සුදුසුයි. සම රැලි වැටීම කැළැල් ඇති වීම වගේ ගැටළු රාශියක් මඟහරවා ගන්න මොයිස්චර්රයිසර් එකක් සමත්. සේරම් එකක් ආලේපයෙන් පසුව එහි තෙතමනය තියෙද්දීම මොයිස්චර්රයිසර් එක ආලේප කරන්න. සමේ තෙතමනය සම මතින් ඉවත් වන්නට නොදී සම පෝශණය කරන්නට මෙය වැදගත්. ඩේ ක්‍රීම් සහ නයිට් ක්‍රීම් වශයෙන් ඔබට මේ මොයිස්චර්රයිසර් ලබාගන්න පුළුවන්.

අවසාන වශයෙන් ඉහත පිළිවෙල ඔබට නැවත මතක් කිරීමක් කෙටියෙන් කරනවා නම්,

 

  • ක්ලෙන්සර් එකක් භාවිතයෙන් සම මත රැඳි තද කුණු සහ මේකප් ඉවත් කර ෆේස් වොශ් එකකින් මුහුණ සේදීමෙන් අමතර තෙල් සහිත ස්වභාවය සෝදා හරින්න.
  • ක්ලෙන්සර් සහ ෆේශ් වොශ් වලින් විවර වූ සමේ සිදුරු වසා සමේ තෙතමනය රැකීමට ටෝනර් එකක් භාවිතා කරන්න.
  • කුරුලෑ සහිත සමක් නම් ඒ සඳහා වූ නිෂ්පාදන භාවිතයෙන් පසු සම පෝශණය කිරීමට සේරම් එකක්ද ඇස් වටා සම රැක ගැනීමට අයි ක්‍රීම් එකක්ද ආලේපයෙන් පසු මොයිස්චර්රයිසර් එකක් භාවිතා කරන්න.
  • මේ සෑම නිෂ්පාදනයක්ම මිලදී ගැනීමට පෙර ඔබේ සමේ වර්ගය හඳුනාගෙන සිටින්න.

Related Articles