Home Parenting Animation movies වලින් පොඩ්ඩෙකුට ඉගෙනගන්න පුලුවන් යහපත් දේවල්

Animation movies වලින් පොඩ්ඩෙකුට ඉගෙනගන්න පුලුවන් යහපත් දේවල්

by ladylk

පොඩ්ඩෝ හරිම ආසයි animation movies බලන්න. ඇත්තම කියනවා නම් පොඩ්ඩෝ විතරක් නෙවෙයි, වැඩිහිටි අපිත් ආසයි පොඩ්ඩෝ එක්ක එකතුවෙලා මේ movies බලන්න. සමහරවිට අපිට නිකන්ම නිකන් චිත්‍රපටයක් වගේ හිතුනට මේ animation movies වලින් පොඩිහිටි වැඩිහිටි කාටත් වටිනා දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින්, අපි මේ ලිපියෙන් කතා කරන movies පොඩ්ඩා කලින් බලලා තිබ්බත් නැවත බලන්න අවස්ථාවක් ලැබුණොත් මඟහරින්න එපා. ඒ වගේම බලන අතරේ අපි මේ කියලා තියෙන විදියේ යහපත් ආකල්ප ඒවාගේ අඩංගු වෙනවද, ඒ දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න එක කොයි තරම් වටිනවද කියන කාරණෙත් පොඩ්ඩා එක්ක සාකච්ඡා කරන්න අමතක කරන්න එපා.

Up

දකුණු ඇමෙරිකාව ගවේශනය කිරීම තමන්ගේ සහ බිරිඳගේ ළමා වියේ සිහිනය කරගත්ත කාල් ෆෙඩ්‍රික්සන් තම ආදරණීය බිරිඳගේ මරණයෙන් පසුව ඒ හීනය හැබෑ කරගන්න උත්සහ දරනවා. රසල් කියන බාලදක්ශ පොඩ්ඩා වගේම බැලූන් මහ ගොඩක ආධාරයෙන් පියාඹන කාල්ගේ නිවසත් මේ කටයුත්තේදි ඔහුට සහයෝගය ලබා දෙනවා. අලුත් යාලුවෝ මුණගැහුණු සහ නොහිතන විදියේ අකරතැබ්බ වලටත් මුහුණ දීපු කාල් සහ රසල් අවසානයේ එයාලගේ හීන හැබෑ කරගන්න විදිය තමයි මේ චිත්‍රපටයේ කතාව වෙන්නේ.

“It’s Never Too Late to Follow Your Dreams!”

මේක තමයි කාල් කියන වයසක සීයා අපිට කියලා දෙන ලොකුම පාඩම. තමන්ගේ හීනය හඹා යන මේ සීයා හරියට ඇවිදගන්නවත් බැරි අවුරුදු 70ක් විතර වයසක පුද්ගලයෙක්. අලුත් දේවල් ඉගෙනගන්න, අලුත් අරමුණු සහ අලුත් හීන නිර්මාණය කරගන්න අපි ප්‍රමාදයි කියලා හිතනවා නම්, “ඒක එහෙම නෙවෙයි, වයස කියන්නේ ඉලක්කමක් විතරයි” කියන අගනා පණිවිඩය කාල්ගේ චරිතයෙන් අපිට උගන්නනවා.

Coco

සංගීතය හදාරනවා තියා ඒ වචනයක් හෝ කියනවාට අකමැති වැඩිහිටියන් පිරිසක් එක්ක හැදී වැඩෙන මිගෙල්ගේ එකම හීනය වන්නෙත් තමන්ගේ role model එක වුණු අර්න්ස්ටෝ ඩෙ ලා කෲස් වගේ දක්ෂ සංගීතඥයෙක් වෙන එකයි. විස්තර කරන්නට අපහසු සිදුවීමක් නිසා තාවකාලිකව මළවුන්ගේ ලෝකයට යන මිගෙල්ට තමන්ගේ මුතුන් මිත්තන් හමුවීමටත්, පවුලේ ඉතිහාසය දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි එකිනෙකා අතර ඇති වැරදි වැටහීම් දුරු කරගෙන තමන්ගේ හීනයට යන්නත් ඔහුට අවස්ථාව උදා වෙනවා. 

“It’s Never Too Late To Forgive”.

 වැඩිහිටියෝ එකිනෙකා සමඟ කතා බහ කරලා අනවබෝධය දුරු කරගැනීමත්, තරහා මරහා අමතක කරලා සමාව දීමත් නිසා අවසානයේ මිගෙල්ට එයාගේ ලොකුම හීනය හැබෑ කරගන්න අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටයෙන් අපිට කියලා දෙන වටිනාම පාඩම වන්නෙත් මේ කාරණයයි.

“Family Is Everything”. කොයි තරම් අය අපේ ජීවිතවලට ආවා ගියත්, අපි මොන විදියේ හීන හැබෑ කරගන්න උත්සහ කළත් තමන්ගේ පවුල තරම් ඒ කිසි කෙනෙක් වටින්නේ නැති විත්තිය මිගෙල් අපිට කියලා දෙනවා.

 “Seize Your Moment” අවස්ථා කියන දේ හැම තිස්සෙම ලැබෙන්නෙ නැති බවත්, එහෙම ලැබුණොත් දෙවරක් නොසිතා එය ලබාගත යුතු බවත් “Coco” චිත්‍රපටය විසින් අපිට සිහිපත් කරවනවා.

Zootopia

Zootopia නගරයේ පොලිස්ථානයට එකතුවෙන පළමු හාවා තමයි Judy කියලා කියන්නේ. නගරයේ සිදුවෙන අභිරහසක් විසඳන්න අනපේක්ෂිත විදියට මැදිහත් වෙන ජූඩිට ඒ සඳහා උදව් කරන්නේ නීති විරෝධි කටයුතු කරමින් මුදල් උපයන්න පුරුදුවෙලා ඉන්න නික් කියන නරියා. බාධක රැසක් මැද ඔවුන් දෙදෙනා මේ අබිරහස විසඳන ආකාරය ගැන තමයි මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. ජූඩි සහ නික් ඒ අතරවාරයේ අපිට බොහොම වටිනා පාඩම් කිහිපයක්ම කියලා දෙනවා.

තමන්ගේ හීනය අන් අයට හිරිහැරයක් නෙවෙයි නම්, කොයි තරම් බාධක ආවත් ඒ හීනය හැබෑ කරගන්න පසුබට වෙන්න හොඳ නැති බවත්, සිහින දැකීම සහ ඒවා සැබෑ කරගන්නට උත්සහ කිරීම කිසිම විටෙක නවත්වන්න හොඳ නෑ කියන කාරණයත් ජූඩිගේ චරිතයෙන් පෙන්වා දෙනවා. උත්සහය අත නොහැරීම සහ තමන්ට ජයගන්න පුළුවන් සෑම ක්‍රමයක්ම අත්හදා බැලීම මඟින් අවසානයේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවත් මේ චිත්‍රපටයෙන් අපිට ලබාදෙන ප්‍රධානම ආදර්ශයක් වනවා. ඒ වගේම තමන් කරන යහපත් ක්‍රියාවල ප්‍රතිපලය ජිවිතයේ කවරදාක හෝ ආපිට ලැබෙන නිසා කිසිම විදියකින් තමන්ගේ යහපත් ක්‍රියා ගැන පසුතැවීමක් ඇති කරගන්න අවශ්‍ය නැති බව zootopia චිත්‍රපටයෙන් ඉස්මතු කරවන අදහසක් වනවා. කෙනෙක්ගේ අතීතය හෝ පවුලේ ස්වභාවය දිහා බලලා ඒ පුද්ගලයාව judge කිරීම එතරම් සුදුසු දෙයක් නොවෙන අතර, එය ඒ පුද්ගලයාට සිදු කරන අසාධාරණයක් බවත් චිත්‍රපටය පුරාවටම පෙන්වන සිදුවීම්වලින් පැහැදිලි කරවනවා. ඒ වගේම සිදුවීමක් දිහා මතුපිටින් බලලා තීන්දු තීරණවලට එළඹීම මඟින් නිවැරදි ප්‍රතිඵල ලබා දෙන්නේ නැති බවත් මෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩමක් විදියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා.

Big Hero 6

තමන්ගේ සහෝදරයාගේ අනපේක්ෂිත මරණයෙන් කම්පනයට පත්වන Hiro, සොයුරාගේ නිර්මාණයක් වන Baymax කියන රොබෝවරයා තමන්ගේ හොඳම මිතුරා බවට පත් කරගන්නවා. ඒ වගේම මේ මරණය අහඹු සිදුවීමක් නොවන බවත් එය පිටුපස සිටින්නේ තමන් බෙහෙවින් විශ්වාස කළ මහාචාර්යවරයා බවත් දැනගන්න Hiro තව තවත් කම්පාවට පත් වෙනවා. Baymax, Hiro,  හිරෝගේ මිතුරු කැළ සහ මහාචාර්යවරයා සම්බන්ධ කරගෙන සිදුවන සිදුවීම් මාලාවක් අඩංගු වන මේ චිත්‍රපටයෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා අපි දැන් බලමු.

පළිගැනීමෙන් වේදනාව තව තවත් වැඩිවර්ධන වනවා මිස සිතට සැනසීමක් ලැබෙන්නේ නැති බවත්, තමන්ගේ සිත පාලනය කරගෙන සමාව දීම වඩා සාර්ථක විසඳුමක් බවත් හීරෝ අපිට කියලා දෙනවා. අපි කොයි තරම් ශක්තිමත් වුණත්, ජීවිතය අපිට ලබාදෙන ප්‍රශ්නවලට තමන්ට තනිවම මුහුණ දීමට හෝ විසඳුමක් සොයාගැනීමට අපහසු අවස්ථාවල, යහපත් මිතුරන්ගෙන් සහ තමන්ගේ පවුලෙන් ලැබෙන සහයෝගය කොයි තරම් වටිනවාද කියන කාරණයත් මේ චිත්‍රපටයෙන් අපිට පැහැදිලි කරවනවා. වැරදි සිදු කිරීම මිනිස් ස්වභාවය වන අතර ඒවා නිවැරදි කරගැනීමෙන් පෙරටත් වඩා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙන  බව හීරෝගේ චරිතයෙන් අපිට ලබාගන්නට හැකි මූලිකම ආදර්ශය විදියට පෙන්වන්න පුලුවන්කම තියෙනවා.

Finding Nemo

තමන්ගේ පුතාව (Nemo) අසීමිත විදියට ප්‍රවේශමෙන් රැකබලා ගන්නා Marlin කියන මාළු තාත්තට එක් දවසක තමන්ගේ පුතාව මඟහැරෙනවා. තමන්ගේ පුතාව හොයාගෙන යන දුශ්කර ගමනේදි මාර්ලින්ට ඩෝරි ඇතුලු තවත් බොහොම පිරිසකගෙන් උදව් උපකාර ලැබෙනවා. ගොඩබිම වගේම මුහුදේත් ජීවත්වෙන හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගයත්, ඩොරී නිමෝ සහ මාර්ලින්ගේ උත්සහයත් නිසා මේ තාත්තයි පුතයි නැවතත් ආරක්ශාකාරිව මුහුදු පත්ලේ ඇති තමන්ගේ නිවසට පැමිණෙනවා.

 “Just keep swimming”.

නොනැවතී උත්සහ කරන්න. මේ දේ තමයි මේ චිත්‍රපටයෙන් කියලා දෙන ප්‍රධානම දේ වන්නේ. දෙමව්පියන්ගේ අවවාද පිළිගැනීම සහ ස්වාධීනව තීරණ ගැනීම කියන ගති ලක්ෂණ දෙකම කොයිතරම් අපේ ජීවිතවලට වැදගත්ද කියන කාරණය නිමෝගේ චරිතයෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම අලුත් අලුත් යාලුවෝ සොයාගැනීම, එක් තැනකට කොටු නොවී ලෝකය ගැන දැනගැනීම, තමන්ට ආදරේ කරන අයව අත්නොහැරීම සහ එකිනෙකා තුළ තියෙන විවිධත්වය නිසා තමන් කොයි තරම් විශේෂ පුද්ගලයෙක් බවට පත් කරවනවාද කියන කාරණයත් මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වාදෙන කරුණු අතර වනවා.

Related Articles