Home Parenting පොඩ්ඩට කෑම දෙනකොට මේ දේවල් ගැනත් හිතන්න

පොඩ්ඩට කෑම දෙනකොට මේ දේවල් ගැනත් හිතන්න

by ladylk

අම්මලට තියෙන ලොකුම ගැටළුවලින් එකක් තමයි පොඩ්ඩගේ බණ්ඩිය පිරෙන්න හොඳට කන්න දෙන්නේ කොහොමද කියන එක. කොයි තරම් කතා කළත් ඉවරයක් කරගන්න ලේසි පහසු මාතෘකාවක් නෙවෙයිනේ මේක. මොකද, පොඩ්ඩෙක්ට කෑම දෙනකොට බඩ පුරවන එක ගැන විතරක් නෙවෙයි, තව බොහෝ දේවල් ගැන අපිට අවධානය යොමු කරන්න සිදුවෙනවා. ඉතින් මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නට සුදානම් වෙන්නේ පොඩ්ඩට කෑම බීම ලබා දෙනකොට අවධානය යොමු කළයුතු එවැනි කාරණා කිහිපයක් සම්බන්ධවයි.

හොද දේවල් මිලට ගන්න

පොඩ්ඩොන්ට විතරක් නෙවෙයි වැඩිහිටියොන්ට වුණත් නිතර නිතර කෑමට නුසුදුසු කෑම වර්ග තියෙනවා. ඒ අතරින් මූලික වෙන්නේ සීනි, තෙල් සහ පිටි අඩංගු කෑම වර්ගයි. හැබැයි ඉතින් මේවා කඩෙන් මිලදීගෙන ගෙදරට අරන් අවොත්නේ පොඩ්ඩට හැම තිස්සෙම අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම තමයි මෙවැනි අහිතකර කෑම බීම අඩුවෙන් මිලට ගන්න එක. වරද්දගන්නෙපා, අපි මේ කියන්නේ මේ කෑම වර්ග සම්පූර්ණයෙන්ම නවත්තන්න කියලා නම් නෙවෙයි. ගෙනෙන ප්‍රමාණය සීමා කරනකොට පොඩ්ඩා ඒ වගේ කෑම ආහාරයට ගන්න එකත් ඉබේම සීමා සහිත වෙනවා.

කෑම වෙලාවල් නියම කරන්න

කොයි වෙලේත් fridge එක ඇර ඇර කෑම ජාති හොයන පොඩිත්තෙක්ද ඔබටත් ඉන්නේ? හැබැයි ඉතින් එහෙම හොය හොය කන්නෙ ගුණදායක කෑමත් නෙවෙයිනේ නේද? ඒ නිසා මෙතනදි නම් පොඩි නීතියක් පනවන්න සිද්ධ වෙනවා. ඒ තමයි කෑම වේල් ලබාගන්න සුදුසු වෙලාවල් කිහිපයක් නියම කරන එක. ඒ අතරට ප්‍රධාන වේල් තුනක් සහ අමතර snack times 2ක් විතරක් එකතු කරන්න ඔබට හැකියාව තියෙනවා. Snack time එකට පැණි රස කෑමක්, පළතුරක්, cheese, yogurt, sandwich වගේ පොඩ්ඩා ප්‍රිය කරන යමක් ලබාදෙන්න පුළුවන්. ඒ වගේම තමයි Snack time එකේදි ලබාදෙනවා හැර, කෑම ටික කවාගන්න දෙන අල්ලසක් විදියට පැණි රස කෑම ලබාදීම නම් අනුමත කරන්නට හැකි දෙයක් නෙවෙයි.

ඇති තරම පමණක් ගන්න හුරු කරවන්න

මෙන්න මේ දේ ඉතාමත් වැදගත් කාරණාවක්. පොඩි බණ්ඩියක් පුරවන්න මහ ගොඩක් කෑම අවශ්‍ය නැති නිසා තමන්ගේ බඩට සෑහෙන තරමට පමණක් බෙදා ගන්න පොඩ්ඩාව හුරු කරවන්න. මෙයින් කෑම අපතේ යෑම වැළකෙනවා වගේම නිවසින් පිටස්තර තැනකදී ආහාර ගන්න වෙලාවට විනයක් ඇතුව, ප්‍රිය මනාප විදියට කෑම ගැනීමටත් පොඩ්ඩා හුරු පුරුදු වෙනවා. විශේෂයෙන්ම පිටස්තර තැන්වලදි, තිබෙන කෑම බීම ගැන හොඳින් අසා දැනගෙන තමන්ට කෑමට හැකි දේවල් පමණක් තෝරා බේරාගැනීමේ හැකියාවත් දරුවා තුළ  වැඩි දියුණු වෙනවා.

පෝශ්‍යදායි කෑම වර්ගවලට හුරු කරවන්නේ කොහොමද

උදාහරණයක් විදියට කොළ කැඳ සහ පලා වර්ග ගමුකෝ. අවුරුද්ද පහු වුණ ගමන් කොළ කැඳ ටිකක් බොන්න පලා කොළ ටිකක් කන්න හුරු වෙලා හිටපු පොඩ්ඩා වයසින් වැඩෙනකොටත් කොළ කැඳ සහ පලා වර්ග ප්‍රතික්ශේප කරන්නේ නැහැ. ඉතින් අපි දෙන tip එක තමයි, ඔබට පොඩ්ඩව ගුණදායක කෑම බීමවලට හුරු කරගන්න අවශ්‍යයි නම් පොඩි කාලේ ඉඳලම ඒ දේ පටන් ගන්න. එහෙම නොවුනොත් කෑම බීම තෝර තෝර කන්න පොඩ්ඩා හුරු වෙනවා. ඒක දරුවාගේ නිරෝගිකමට බාධාවක් වෙනවා විතරක් නෙවෙයි, අම්මටත් හරිම හිසරදයක් වෙන්න ඉඩ තියෙනවා.

අලුත් අලුත් කෑම වර්ග ට්‍රයි කරන්න දෙන්න

මෙහෙම හිතමුකෝ, ඔන්න අපි හිතවතෙක්ගේ ගෙදරට ගිය වෙලාවක ඒ අය ඔබටත් පොඩ්ඩටත් fresh fruit juice වලින් සංග්‍රහ කරනවා. ඒ වගේ වෙලාවක ” අනේ අපේ පුතා ඕවා බොන්නේ නැතිවෙයි, එයාට ඕවා හුරු නෑ” වගේ දේවල් නොකියා පොඩ්ඩට ඒ දේ රසවිඳින්න අවස්ථාව ලබා දෙන්න. සමහරවිට එයා බොහොම ආසාවෙන් ඒ බීම එක බොන්න ඉඩ තියෙනවා. හැබැයි…ඒ දෙන කෑම බීම මීට කලින් පොඩ්ඩාට allergy වෙලා තියෙනවා නම් ප්‍රතික්ශේප කරන්න දෙවරක් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දියර වර්ග ප්‍රමාණවත් තරමට දෙන්න

වතුර කියලා කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය ම දෙයක් බව අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ. උතුරවා නිවාගත් ජලය, අවුරුද්දට වැඩි දරුවෙක් නම් fresh milk, නැවුම් පළතුරු බීම, තැඹිලි වගේ දියර වර්ග ප්‍රමාණවත් තරමට ලබාදෙන්න අවශ්‍ය වෙනවා. සීනි අධික අඩංගු කෘත්‍රීම බීම වර්ග නම් කලාතුරකින් හැර නිතරම පානය කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. 

කෑම වර්ග තෝරමින් දෙන්නෙපා

සීතල කෑම, උශ්න කෑම, වාතය වැඩිවන කෑම වශයෙන් කෑම වර්ග බෙදා වෙන්කිරීමක් අපේ ආහාර සංස්කෘතිය තුළ දකින්නට ලැබෙනවා. නමුත් මේ විදියට ආහාර වර්ග තෝරමින් ලබා දීම හරහා සිදුවෙන අවාසිය තමයි පොඩ්ඩා ඒ කෑම වර්ග වලට හුරු නොවීම. අසනීපයක් ඇති අවස්ථාවක නම් පොඩ්ඩක් තෝරලා කෑම ටික ලබා දීමේ ඇති වැරැද්දක් නැහැ. නමුත් ඕනෑම කෑමක් තෝරන්නේ නැතුව කෑමට හුරු කිරීම තමයි වඩා වටින්නේ.

ඇබ්බැහිය එපා

සමහර වැඩිහිටියෝ ඉන්නවා උදේට පිටි කිරි එක බිව්වේ නැත්තම් දවසම මළානික වෙලා වගේ කාලය ගතකරන. මේකට හේතුව තමයි ඔවුන්ට කාලයක් තිස්සේ ඇතිකරගත් ඇබ්බැහියෙන් මිදීමට අසීරු වීම. අන්න ඒ නිසයි අපි කියන්නේ පොඩ්ඩට කිසිම කෑමකට බීමකට ඇබ්බැහි වෙන්නට ඉඩ හරින්නෙපා කියලා. සමහර පොඩි දරුවෝ fruit juice හැර කැබලි කැපූ පළතුරු කෑම ප්‍රතික්ශේප කරන නිසා බොහො පෝශ්‍යදායි පළතුරු වර්ග රස බැලීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වෙනවා. සමහර දරුවොන්ට බිස්කට්, චොක්ලට් බනිස් වගේ කෑම වර්ග දිනපතාම අවශ්‍ය වෙනවා. මෙවැනි පුරුදු ක්‍රමක්‍රමයෙන් අඩු කරගත්තේ නැත්නම් ශරීර සෞඛ්‍යට පවා අහිතකර ඇබ්බැහියක් වෙනකන් දුර දිග යන්නට ඉඩ තියෙනවා.

Screen time සීමා කරන්න

සාමාන්‍යෙන් රූපවාහිනිය හෝ phone එකේ videos නරඹමින් කෑම ලබාගන්න දරුවොන්ට තමන්ගේ බඩ පිරෙන සීමාව නොතේරෙන බව සඳහන් වෙනවා. එවැනි දරුවන් ස්ථූල වීමට ඇති ඉඩකඩ වැඩි කියලා තමයි පර්‍යේෂකයො නම් කියන්නේ. මේ නිසා ආහාර ගන්නා වෙලාවට screen time සීමා කරනවා නම් එය දරුවාගේ සෞඛ්‍යට හැම අතින්ම හිතකර වෙයි කියලා අපි හිතනවා.

කෑම වර්ග තහනම් කරන්න හොඳද

කිසිසේත් ම නැහැ. සාමාන්‍යෙන් අපි පොඩ්ඩොන්ට තහනම් කරන්නේ ශරීරයට අහිතකර කෑම බීම වර්ගනේ. පුදුමය තමයි, පොඩ්ඩෝ වැඩියෙන්ම ගන්න කැමතිත් ඒ වගේ කෑම වර්ග. ඉතින් කෑම වර්ග තහනම් කරනවා වෙනුවට ඔබ කළ යුත්තේ ඒවා සීමා සහිතව ලබා දීමයි. එවැනි ආහාර පාන වර්ග සම්පූර්ණයෙන් ම තහනම් කිරීමෙන් සිදුවෙන්නේ කෑම වර්ගවලට පොඩ්ඩාගේ තියෙන ආසාව තව තවත් වැඩිවීම විතරයි කියලා අවසන් වශයෙන් අපි සිහිපත් කරනවා.

Related Articles