Home Parenting පොඩ්ඩෝ ඉස්සරහා මේ දේවල් ගැන කතා කරන්නෙපා

පොඩ්ඩෝ ඉස්සරහා මේ දේවල් ගැන කතා කරන්නෙපා

by ladylk

පොඩ්ඩෙක් ළඟ පාතක ඉන්නවා නම් වචන පිටකරන්න වෙන්නේ සෑහෙන කල්පනාකාරී විදියට බව වැඩිහිටියෝ වන අප තේරුම් ගතයුතු වෙනවා. අත්දැකීම් මහ ගොඩක් නැති පොඩි දරුවෝ තමන් අහන දකින ඕනෑම දෙයක් හරිම ඉක්මනින් තමන්ගේ මනසේ ධාරණය කරගැනීමත්, ඒ අනුව ක්‍රියා කිරීමත් තමයි මෙයට හේතුව වෙන්නේ. ඉතින්, sponge එකක් උඩට වැටෙන ඕනෑම දියරයක් ඒකට උරා ගන්නවා වගේ, තමන්ට ඇහෙන දැනෙන හැමදෙයක්ම හිතේ තියාගන්න පොඩ්ඩන්ගේ මනසට යහපත් දේවල් ලබාදෙන එක වැඩිහිහිටි අපේ වගකීම නේද? ඒ කාරණය ඔබත් විශ්වාස කරනවා නම් අපි කියන මෙන්න මේ කරුණු පොඩ්ඩෙක් ඉස්සරහ නම් සාකච්ඡා කරන්න එපා කියලා අපි මතක් කරනවා.   

අනිත් අයගේ වැරදි

අපිට ඇසුරු කරන්න සිද්ධවෙන හැම කෙනෙක්ම අපේ ප්‍රියතමයෝ වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඒ අයගේ වැරදි ගැන තමන්ගේ සහකරුවා සමඟ හෝ සාකච්ඡා කරන්නට අපි පෙළඹෙනවා. හැබැයි කිසිම වෙලාවක මේ දේ දරුවා ඉදිරිපිටදි නම් සිදු කරන්න එපා. සමහරවිට ඔබ ඒ පුද්ගලයාව හරි හැටි තේරුම් නොගෙන මතුපිටින් බලලා තීන්දු තීරණ ගන්නවා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔබ දරුවාට ඇහෙන විදියට තව කෙනෙක්ව විවේචනය කරනවා නම් දරුවාත් කුඩා කාලයේ පටන් ම ඒ දේ කරන්නට හුරු වෙන්නට ඉඩ තියෙනවා. මේ විදියට අන් අයව විනිශ්චය කිරීමට සහ ගරු නොකිරීමට හුරු වීම දරුවාගේ අනාගතයට අයහපත් විදියට බලපාන්න තියෙන ඉඩකඩ වැඩි කියලා ඔබ විසින් සිහි තබාගත යුතු වෙනවා.

ආර්ථික ප්‍රශ්න

වැඩිහිටියෝ විදියට අපි මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න දරුවොන්ගේ මනසට දැමීම අනුමත කරන්න පුළුවන් කරුණක් නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. එයින් දරුවා තුළ බියක් සහ අනාරක්ෂිත බවක් දැනෙනවා වගේම, දරුවාගේ සාමාන්‍ය හැසිරීම් රටාව පවා වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. මේ වගේ කාරණා ගැන දරුවාට ඇහෙන විදියට සාකච්ඡා කරනවාට වඩා දරුවාගේ වයසට ගැළපෙන විදියට, ගැළපෙන වචනවලින් වටහාදීම ඔබට කරන්නට හැකි නම් එය වඩා වටිනවා. හැබැයි ඉතින් වැඩිහිටියොන්ගේ ප්‍රශ්න පොඩ්ඩොන්ගේ ළපටි හිත් ඇතුළට නොදා ඉන්නවනම් තමයි වඩාත්ම හොඳ.

පොඩ්ඩාගේ වැරදි

දරුවා ඉදිරියේ දරුවා ගැන යහපත් දේවල් සාකච්ඡා කරනවා මිසක වැරදි ගැන සාකච්ඡා කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. එයින් ඔහුගේ ආත්ම විශ්වාසය බිඳ වැටිලා තව තවත් වැඩිපුර එවැනි හැසිරීම් වලට යොමු වෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම දරුවා පිළිබඳව ඔහු නොදැනුවත් දෙයක් සාකච්ඡා කරනවා නම් ඒ කරුණුත් දරුවාට නොදැනෙන්නට කතා බහ කිරීම තමයි සුදුසු වෙන්නේ. හැබැයි අම්මා, තාත්තා හෝ ගුරුවරු සමඟ හැර වෙනත් පිටස්තර පුද්ගලයින් එක්ක දරුවා සම්බන්ධ කරුණු ගැන සංවාද කිරීම දරුවාගේ ආත්ම ගෞරවයට අයහපත් විදියට බලපාන බවත් සිහියේ තියාගන්න කියලා අපි මතක් කරන්න කැමතියි.

අනිත් අය දැනගත නොයුතු දේවල්

පිටස්තරයින් විසින් දැනගත නොයුතුයි කියලා ඔබ හිතන කරුණු ගැන පොඩ්ඩා ඉස්සරහා කතා නොකර ඉන්නවනම් තමයි ඔබේ අපේක්ෂාව ඉටු වෙන්නේ. මොකද, මේ කරුණු පවුලේ අයට විතරක් අදාළ දේවල් කියන කාරණය ගැන පොඩ්ඩට වැටහීමක් නෑනේ. ඉතින් පිරිසක් රැස්වන තැන්වලදි දරුවා ප්‍රසිද්ධියේ ඒ දේවල් ගැන කියන්න ඉඩ තියෙනවා. පවුල් ආරවුල්, පවුලේ වත්කම් සහ ආර්ථික තත්ත්වය, රැකියාවල් සම්බන්ධ කාරණා විතරක් නෙවෙයි, කොහොමටවත් රහසක් රැකගන්න බැරි විදියේ පොඩ්ඩෙක් නම් වෙන කෙනෙක් වෙනුවෙන් පවත්වන surprise party එකක් ගැනවත් නොකියා ඉන්න එක තමයි හොඳ.

සංකේත වචන

සමහර වැඩිහිටියන් සංකේත වචන පාවිච්චි කරලා දරුවා ඉස්සරහ යම් යම් වැහිහිටි කරුණු ගැන කතා බහ කරනවා. තමන්ට ඇහෙන දැනෙන දේවල් ගැන කුතුහලයක් ඇති වීම පොඩ්ඩොන්ගේ සාමාන්‍ය ගති ලක්ෂණයක් නිසා ඔවුන් දිගින් දිගටම ඒ ගැන විමසන්න පටන් ගනීවී. ඒ වගේ වෙලාවට ඔබට කරන්න තියෙන්නේ දේවල් දෙකයි. එක්කෝ ඔබට ඇත්තම කියන්න වෙනවා. නැත්තන් බොරුවක් කියන්න වෙනවා. ඒ දෙකෙන් කොයි දේ කළත් දරුවට යහපතක් සිදු නොවෙන නිසා සංකේත හෝ double meaning සහිත කරුණු ගැන දරුවා ඉස්සරහ කතා බහ නොකර ඉන්නට ඔබ විසින් වගබලා ගතයුතු වෙනවා.

පොඩ්ඩා බය වෙන දේවල්

හොල්මන්, මරණය, භයානක ලෙඩ රෝග, වසංගත, පිපිරීම්, බෝම්බ, මිත්‍යා විශ්වාසයන් වගේ දරුවා භීතියට පත්වෙන ආකාරයේ කරුණු ගැන ඔහු ඉන්නා තැන්වලදි සාකච්ඡා කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැත්තේ ඒ දේවල් ඔහුගේ හිතේ තදින් තැන්පත් වෙලා ඔහුට අනාරක්ෂිත බවක් ඇතිවෙන නිසයි. ඔබට ඒ කරුණු ගැන පැහැදිලි කරන්නම සිදු වෙන තත්ත්වයක් ඇති වෙලා නම් දරුවෙකුගේ මනසට ගැළපෙන ආකාරයට තේරුම් කරවන්නට උත්සහ කරන එක තමයි වඩාත් ම සුදුසු වෙන්නේ.

Related Articles