Home Parenting ඉතිරි කිරීම ගැන පොඩ්ඩාට කියලා දෙන්නේ මෙහෙමයි

ඉතිරි කිරීම ගැන පොඩ්ඩාට කියලා දෙන්නේ මෙහෙමයි

by ladylk

අරපරිස්සම, ආයෝජණය, ආදායමට අනුව වියදම් කිරීම හෝ මුදල් ඉතිරි කිරීම වගේ මුදල් සම්බන්ධ කරුණු වැඩිහිටි අපි විතරක් දැනගන්න අවශ්‍ය රහස් නම් නෙවෙයි. මොකද, Financial management කියලා කියන්නේ පොඩ්ඩෙක් පොඩි වයසෙදිම, පොඩියට හරි තමන් තුළ දියුණු කරගන්න අවශ්‍ය life skill එකක් විදියටයි lady.lk අපි දකින්නේ. ඉතින්, ඔබ මේ වෙනකොට ආර්ථිකමය වශයෙන් සාර්ථක තැනක සිටියත්, සාර්ථක වන්නට තවමත් උත්සහ දරමින් හිටියත් මුදල් ඉතිරි කිරීම ගැන පොඩ්ඩාටත් කියලා දෙන්න මැළි වෙන්න එපා. මව්පියන් හරහා කුඩා වයසේදීම පොඩ්ඩා ලබාගන්නා ඒ දැනුම සහ අත්දැකීම් ඔහුට ජීවිත කාලයටම බලපාන ආශිර්වාදයක් වෙනවා නොඅනුමානයි.

“කැටය” තමයි අඩිතාලම

ඔබට ඉන්නේ ළාබාල වයසේ පොඩ්ඩෙක් නම් එයා ආසාම කරන විදියක පොඩි කැටයක් අරන් දීලා වැඩේ පටන් ගන්න හැකියාව තියෙනවා. දවසින් දවස පිරෙන සහ බරින් වැඩිවෙන කැටය දකිනකොට පොඩ්ඩාගේ උනන්දුවත් දවසින් දවස වැඩිවෙයි කියලා අපි හිතනවා. හැබැයි ඔයාට ඉන්නේ ටිකක් දැනුම් තේරුම් ඇති වයසේ පොඩ්ඩෙක් නම් කෙළින්ම බැංකු ගිණුමක් ම පටන් ගන්න හැකියාව තියෙනවා. ගිණුමේ සල්ලි වැඩිවෙනකොට, තෑගි බෝග දීමනා එහෙම වැඩි වැඩියෙන් ලැබෙනකොට පොඩ්ඩා හරිම කැමැත්තෙන් ඉතිරි කිරීමට පෙළඹේවී.

කැටය කඩලා මොකද කරන්නේ

කැටය පිරුණම ඒක කැඩීම සහ මුදල් වෙන් කරන වැඩේ පොඩ්ඩාටම භාර දෙන්න. ගණන් කරන්නත්, කාසි ටික මුදල් නෝට්ටු බවට හරවාගන්නත් ඔබේ සහයෝගය ලබාදීම ප්‍රමාණවත් වෙනවා. පොඩ්ඩා ඉවසීමෙන් එකතු කරපු සල්ලි ටික දැන් අයිති එයාට හන්දා ඒවාට කරන්නේ මොනවාද කියලත් පොඩ්ඩා එක්ක සාකච්ඡා කරලම තීරණය කිරීම තමයි වඩා වටින්නේ. ඒ වගේම බැංකු ගිනුමක් ආරම්භ කිරීමට බල කරන්නේ නැතිව, එයින් ලැබෙන ප්‍රතිලාභ ගැන තේරුම් කරලා දීම පමණක් ප්‍රමාණවත් කියලයි අපේ නම් අදහස. පොඩ්ඩා එයාට ආසා කරන සෙල්ලම් බඩුවක් ගැනීම එයාගේ තීරණය නම් එයට ඉඩ ලබාදීමත් තව තවත් ඉතුරු කිරීම සඳහා motivation එකක් වේවි.

ඉලක්කයක් ලබා දෙන්න.

පොඩ්ඩා ටිකක් මිල අධික සෙල්ලම් බඩුවක් ඉල්ලනවා කියලා හිතමුකෝ. ඒක පොඩ්ඩාට සුදුසුයි කියලා ඔබ හිතනවා නම් සහ ගැටළුවකට තියෙන්නේ මිල අධික බව විතරක් නම් පොඩ්ඩාට ඒ දේ පැහැදිලි කරලා දෙන්න. මාසයකට මේ වගේ ගාණක් ඉතුරු කරනවා නම්, මේ වගේ කාල සීමාවක් ඇතුළත ඒ භාණ්ඩය මිලට ගන්න හැකියාව ලැබෙන බව කියලා දුන්නම පොඩ්ඩා ඒ ඉලක්කය සපුරාගන්න උනන්දුවෙන් සල්ලි එකතු කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම් දිනපතා දෙන මුදලට අමතරව මාසයකට වතාවක් ටිකක් වැඩිපුර මුදලක් ලබාදීම මඟින් පොඩ්ඩාව දිරිමත් කරන්නට ඔබට හැකියාව තියෙනවා.

උපයන්න අවස්ථාවක් ලබාදෙන්න

ඔබ විසින් ඉතිරි කිරීම වෙනුවෙන් ම දරුවාට ලබාදෙන මුදලට අමතරව, තමන්ට ලැබෙන Pocket money වලින් කොටසක් ඉතිරි කිරීමට සහ නිවසේදී යම් යම් කාර්‍යයන් ඉටු කිරීම හරහා මුදලක් උපයාගැනීමට දරුවාව උනන්දු කරන්න ඔබට හැකියාව තියෙනවා. වෙහෙසකින් තොරව ලැබෙන මුදලට වඩා පරිශ්‍රමයක් දරා මුදල් ඉපයීම වටිනා බවත්, මුදල් ඉපයීමට නම් වෙහෙස විය යුතු බවත් දරුවා මේ හරහා තේරුම් ගනීවි.

පොඩ්ඩෝ ඉගෙනගන්නේ දෙමව්පියොන්ගෙන්

නත්තලට, අලුත් අවුරුද්දට හෝ උපන්දිනයට ලබාදෙන තෑගි වෙනුවෙන්, එහෙමත් නැත්නම්  සැප්තැම්බර් මාසයේදී පොත් මිලට ගැනීම වෙනුවෙන් හෝ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් ඉටු කරගැනීම සඳහා කැටයකට මුදල් එකතු කරන්නට සමහරු  පුරුදු වෙලා ඉන්නවා. ඉතින්, ඔබත් එහෙම අම්මෙක් නම් පොඩ්ඩාට මුදල් ඉතිරි කිරීම හුරු කරවීම එතරම් අපහසු වෙන්නේ නැතිවෙයි. ඒ වගේම දැනටමත් එහෙම කෙනෙක් නෙවෙයි නම්, කැට දෙකක් අරන් පොඩ්ඩා එක්කම වැඩේ පටන්ගන්න කියලා අපි යෝජනා කරනවා.

විවෘතව අදහස් හුවමාරු කරගන්න

මුදල් ගැන දරුවා සමඟ කතා බහ කිරීමේදී එය දරුවාට පීඩාවක් නොවෙන ආකාරයට සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. ” අපි දුප්පත්, අපිට සල්ලි නෑ” වගේ හැඟීමක් පොඩි දරුවෙක්ගේ හිතට බර වැඩි සිතිවිල්ලක් වෙනවා වගේම එය එක්තරා විදියකට දරුවා තුළ හීනමානයක් ඇති කරවන්නටත් ඉඩ තියෙනවා. මේ නිසා එවැනි හැඟීමක් ඇති නොවෙන පරිදි, අවශ්‍යතා සහ උවමනා, ඉපයීම වෙනුවෙන් කරන කැපකිරීම සහ දැරිය යුතු වෙහෙස, ආයෝජනය කළයුතු ආකාරය, ඉතිරි කිරීමේ ප්‍රතිලාභ සහ එමඟින් ලැබෙන මූල්‍යමය සුරක්ෂිත බව, අරපරිස්සම වගේ සංකල්ප ගැන පොඩ්ඩාට සුළු හෝ අවබෝධයක් ලබාදීම ඉතාමත් වටින බව අපි සිහිපත් කරන්නට කැමතියි.

Related Articles