Home FoodRecipes පොඩ්ඩා ගුණ දේවල් කන්න කැමති නැද්ද? මෙන්න මේ ක්‍රමවලට Try එකක් දෙන්න

පොඩ්ඩා ගුණ දේවල් කන්න කැමති නැද්ද? මෙන්න මේ ක්‍රමවලට Try එකක් දෙන්න

by LADY.LK
Food Recipes For Your Kid

දරුවෙක් පොඩි කාලෙදි ඒ දරුවාගේ අම්මට තිබුනු ලොකුම ප්‍රශ්නය වෙන්නෙ ඒ ළමයා කෑම නොකන එක.ඒක අපේ අම්මලාගෙ ඉඳන් අපි දක්වාමත් ඉදිරි පරම්පරාවටත් තියෙන ප්‍රශ්නයක් වේවි. මොකද පොඩ්ඩො කොහොමත් පොඩි කාලෙදි කෑම කන්න එච්චර කැමැත්තක් පෙන්වන්නෙ නැහැනෙ. පොඩ්ඩො පොඩි කාලෙදි කැමති වෙන කෑම ජාති ගොඩක්ම වගේ ඇඟට අගුණ දේවල් වීමත් මේ ප්‍රශ්නෙම කොටසක්.  අන්න ඒ නිසාම Lady.lk අපි හිතුවා මේ සටහනෙන් ඔයාලට පොඩ්ඩන්ට ගුණ කෑම ආසාවෙන් රසට කවාගන්න පුළුවන් විදියෙ රෙසිපි කිහිපයක් හඳුන්වා දෙන්න. මේ සටහන කියවලා මේ ක්‍රම අත්හදා බලලා අපිට ඔයාලගෙ අදහසුත් කියන්න. අපේ මේ රෙසිපි කිහිපයේ රහස තමයි පොඩ්ඩො කන්න කැමතිම කඩ කෑම ගුණදායී විදියට ගෙදරදීම හදාගැනීම. පොඩි මහන්සියක් මේ වෙනුවෙන් කරන්න සිද්ධ වුනත්, ඔයාලට මේ නිසා හිතේ සතුටෙන් පොඩ්ඩා කෑම කන දිහා බලං ඉන්න පුළුවන් වේවි.

සොසේජස්

සොසේජස් කියන්නෙ කොයි පොඩ්ඩත් කන්න කැමති කෑමක් වගේම කොයි අම්මත් තමුන්ගෙ පොඩ්ඩට දෙන්න මැළි වෙන කෑමක්. ඉතිං හිතේ තියෙන බිය සැක සංකා දුරු කරගෙන මේ සොසේජස් ගෙදරදිම හදලා පොඩ්ඩන්ට දෙන්න දැන් ඔයාලටත් පුළුවන්. මෙන්න රෙසිපිය.

අවශ්‍ය ද්‍රව්‍ය –

කුකුළු මස් ග්‍රෑම් 500ක් ‍| ඉඟුරු ‍| ළූනු | සුදුළූනු ‍| ලුණු ‍| ගම්මිරිස් කුඩු ‍| කරපිංචා

සාදාගන්නා ක්‍රමය –

මස් වෙනමත්, අනෙකුත් කුළු බඩු වෙනමත් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මස් සහ කුළු බඩු හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පස්සේ පොලිතින් ෂීට් එකක් ගෙන මිශ්‍රණයෙන් කොටසක් මැදට තබා සොසේජස් එකක් හැඩයට රෝල් කර දෙකොණ හොඳින් අඹරවා ගන්න. මෙලෙස සකසා ගත් සොසේජස් මිනිත්තු 15ක් 20ක් පම​ණ ස්ටීම් කරගන්න. ඉන්පසුව පිහියකින් කුඩා කැපුමක් යොදා ඉටි කොළය ඉවත් කර භාජනයක දමා ශීතකරණයේ තබාගන්න. පොඩ්ඩාට අවශය විට බැද දෙන්නට හැකි අතර මේ සොසේජස් ඔබ කැමති මාංශයකින් සාදා ගැනීමටත් හැකියි.

පාන් පීට්සා

පීට්සා කියන්නෙ පොඩ්ඩො කැමතිම කෑමක්. නමුත් පීට්සා කියන්නෙ මිළ අධික ආහාරයක්. ඒ නිසා සාමාන්‍ය පවුල්වල හැමෝටම දිනපතා හෝ සතිපතා පීට්සා කන්නට තරම් මූල්‍යමය ශක්තියක් නැති වෙන්න පුළුවන්. එහෙම අයට තියෙන හොඳම විදිය තමයි ගෙදරදීම පීට්සා සාදා ගැනීම. නමුත් ගෙදරදී පීට්සා සාදන්නට ලොකු ශ්‍රමයක් වැය වෙනවා. හැබැයි මේ අපි කියන ක්‍රමය පොඩ්ඩන්ට පහසුවෙන්ම ඕනම වේලකට වගේම ආහාර වේලක් අතරමැද ස්නැක් එකක් විදියටත් කන්නට දෙන්න පුළුවන් පාන්වලින් හදන පීට්සා එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය – 

පාන් පෙති 3ක් ‍| චිකන් හෝ සොසේජස් ‍|  චීස් ‍| බිත්තර 2ක් ‍| ලොකුළූනු ‍| කැරට්, ගෝවා, බෝංචි ස්වල්පයක් ‍| ලුණු ‍| බටර් ‍| සෝස්

සාදාගන්නා ක්‍රමය –

මුලින්ම එළවලු සහ ළූනු සිහින්ව කපාගෙන එයට බිත්තර දෙක සමග කිරි එකතු කර ඔම්ලට් මිශ්‍රණයක් සාදාගන්න. ඉන්පසු චිකන් හෝ සොසේජස් ටික බැදගන්න. ඉන්පසු බිත්තර මිශ්‍රණයෙන් බාගයක් ගෙන පෑන්කේක් එකක් තරමට ඝනකම එන ලෙස බටර් යොදාගත් නන්ස්ටික් සාස්පානක අතුරාගන්න. එය තරමක් රත්වූ පසු ඒ මත සෝස් තවරන්න. ඉන්පසු වාටි කපා ගත් පාන් කැබලි ඒ මත අතුරන්න. නැවත සෝස් තවරා ඊට උඩින් ඉතිරි බිත්තර මිශ්‍රණය යොදන්න. දැන් ඒ මත ග්‍රේට් කරගත් චීස් සහ බැදගත් මස් එක් කරගන්න. ඉන්පසු එය පියන වසා මද ගින්නේ තරමක් බේක් වෙන්නට හැර ක්‍රස්ට් එක සිටින ලෙස කපා පිළිගන්වන්න.

පෝෂණ රොටි

හැමදාම කන පොල් රොටිවලට කරන මේ විශේෂ ගෙදර ඉන්න පොඩ්ඩට වගේම ලොක්කන්ට කෑමට වෙනසක් ඇති කරාවි. පෝෂණ රොටියේ විශේෂය වෙන්නේ පෝෂණ රොටියට ඕනම දෙයක් එකතු කරන්නට හැකි වීමයි. ඒ නිසා පොඩ්ඩෝ ආසාවෙන් කන කෑමක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය – 

පාන් පිටි ‍| ගාගත් පොල් ‍|  බිත්තරයක් ‍| තම්බාගත් අල ‍| එළවළු ‍| ලුණු සහ ගම්මිරිස් රස පමණට

සාදාගන්නා ආකාරය – 

තම්බාගත් අල හොඳින් පොඩි කරගන්න. කැරට්, ලීක්ස්, වට්ටක්කා වැනි ඕනම එළවළුවක් පොල් තෙල් ස්වල්පයක් දමා තෙම්පරාදු කරගන්න. එම භාජනයටම පිටි, ගාගත් පොල් සහ බිත්තරයද, රස පමණට ලුණු සහ ගම්මිරිස්ද එකතු කර හොඳින් අනාගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක්ද එකතු කරන්න. ඉන්පසු සාමාන්‍ය රොටියක් පුළුස්සාගන්නා ආකාරයටම රොටි තැටියක පුළුස්සා ගන්න.

මේ සටහන තරමක් දිගු වන නිසා අපි ඉදිරියේදී මෙහි දෙවැනි කොටසකුත් අනිවාර්යයෙන්ම ඔබ වෙත රැගෙන එන්නම්.

Related Articles