Home Parenting පොත් කියවන්න පටන් ගන්න පොඩ්ඩොන්ට ගැළපෙන ඉංග්‍රීසි පොත් කිහිපයක්

පොත් කියවන්න පටන් ගන්න පොඩ්ඩොන්ට ගැළපෙන ඉංග්‍රීසි පොත් කිහිපයක්

by LADY.LK

ලොව පුරා බහුලවම භාවිතා වන භාෂා කිහිපයකින් ප්‍රධානත ම භාෂාවක් විදියට ඉංග්‍රීසි භාෂාව පෙන්වන්න පුළුවන්. මේ කාරණය හොඳින් වටහාගෙන තියෙන නිසා තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි බස උගන්නන්න අපේ මව්වරුන් තුළ විශාල උනන්දුවක් තියෙන බව පෙනී යනවා. නිතර නිතර භාවිතා කිරීමෙන් ඉංග්‍රීසි කතා කීරීම පහසුවෙන් පුරුදු වෙන්න පුලුවන් වුණත් පොත පත කියවීමේ දී තරමක වෑයමක්‍ යොදවන්න වෙනවා. සාමාන්‍යෙන් අවුරුදු 5 වගේ වෙනකොට පොඩ්ඩො ඉංග්‍රීසි අකුරු ටික හොඳින් අඳුරන නිසා එතනින් පියවරක් ඉස්සරහට ගිහින් සරල වචන සහ වාක්‍ය කියවීමට උත්සහ කරන්න පුලුවන්. ඒ වගේ දරුවෙකුට සුදුසු පොත් කිහිපයක් ගැන විස්තර තමයි මේ ලිපියේ අඩංගු වෙන්නේ.

Radiant way First Step 

1934 වර්ෂයේදි මුලින්ම ප්‍රකාශයට පත්වුණු මේ පොත් පෙළට මේ වෙනකොට සියවසකට කිට්ටු කාලයක් ගතවෙලා තිබුණත්, තවමත් කුඩා දරුවෝ අතර තමන්ගේ ජනප්‍රියත්වය රැකගන්න සමත්වෙලා තියෙන බව සඳහන් කරන්න පුලුවන්. මෙය පොත් කිහිපයකින් සමන්විත වන පොත් මාලාවක් නිසා එක් පොතක් සාර්ථකව කියවලා ඉවර වුණාම ඊළඟ පොත් දරුවාට ලබා දෙන්න හැකියාව තියෙනවා. ඉංග්‍රීසි පොත් කියවීමට පටන් ගන්නා දරුවන්ට ඉතාමත් සුදුසු පළමු පොත රචනා කරලා තියෙන්නේ Jane Brown සහ Elizabeth Sinton කියන කතුවරියෝ දෙදෙනා විසිනුයි. ඉංග්‍රීසි හෝඩියේ vowels එහෙමත් නැත්තන් a e i o u අකුරු වචනයකට යෙදෙමින් වචන නිර්මාණය වන ආකාරය, ඒ සරල වචන රිද්මයානුකූලව උච්ඡාරණය වන ආකාරය වගේම පහසුවෙන් මතක තියාගන්න පුලුවන් තවත් වචන කිහිපයකුත් මෙහිදී දරුවාට හුරු කරවනවා. ආකර්ෂණීය පින්තූරත්, එකිනෙකට සම්බන්ධ කතන්දරත් අඩංගු නිසා දරුවන් ඉතාම ප්‍රිය කරන පොත් පෙළක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.

Ladybird books 

මෙය එක්සත් රාජධානියේ Penguin Group නම් ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළක් වන අතර මුලින්ම කියවීමට පටන් ගන්නා දරුවන්ට level 0 සහ level 1 වඩාත් සුදුසු වනවා. දරුවන් අසා ඇති සරල සුරංගනා කතා සහ තවත් කුඩා කතාන්දර ඉතාම සරලව, පින්තූරත් සමඟ එක් කරමින් ලියැවුණු කුඩා ප්‍රමාණයේ පොත් නිසා දරුවන්ට කම්මැලිකමක් නැතුව කියවීමේ හැකියාව තියෙනවා. Read it yourself තේමාවෙන් නිර්මාණය වුණු මේ පොත් පෙළේ, එක් පොතක් Key words 3-5කින් සමන්විත වන අතර ඒ වචන කිහිප වාරයක්ම ඇස ගැටීම හරහා මතකයේ රඳවාගැනීමට ඉඩ සළසනවා ඒ වගේම සම්පූර්ණය වාක්‍ය ඛණ්ඩයක්ම කිහිප වාරයක් පොතේ සඳහන් වන නිසා මතකයෙන් එම වාක්‍යම කියවීමේ හැකියාවත් ලැබෙනවා. කෙටි වෙලාවකින් කියවා අවසන් කිරීමට හැකිවන අතර කතාව අවසානයේ ඇති සරල ප්‍රශ්න කිහිපයෙන් දරුවාගේ මතකය පරීක්ෂා කිරීමක්ද සිදු වෙනවා.

Ladybird Peter and Jane series 

William Murray නමැති කතුවරයා විසින් රචනා කරන ලද මේ පොත් පෙළ, පොත් 36කින් සහ levels 12කින් සමන්විත වෙනවා (3*12). කියවීම ආරම්භ කරන දරුවන්ට level 1 (12 key words) සහ 2 වඩාත් ගැළපෙන අතර හැකියාව දියුණු වන විට ඉතිරි පොත් ලබාදීම සුදුසු වනවා. පීටර් සහ ජේන් නමැති සහෝදර සහෝදරියන් දෙදෙනා, පැට් නමැති ඔවුන්ගේ සුරතල් බල්ලා සහ දෙමව්පියන් මේ පොත්වල ප්‍රධාන චරිත වනවා. එකිනෙකට බැඳුණු කතා මාලාවක් වන මෙය නිර්මාණය කිරීමේදී වඩාත් අවධානය යොමු කරලා තියෙන්නේ නැවත නැවතත් key words කියැවීම හරහා ඒ වචන මතකයේ රැඳවීම පිළිඹඳවයි. ඊට අමතරව අවබෝධය, වාග්මාලාව, සහ උච්චාරණය දියුණු කිරීම, ආකර්ෂණීය පින්තූර යන කරුණු පිළිබඳව අවධානය යොදමින් රචනා කර ඇති මේ පොත් පෙළෙහි, එක් මට්ටමක මුල් පොත් දෙක කියවීමට සහ තෙවැනි පොත ක්‍රියාකාරකම් කිරීම වෙනුවෙන් වෙන් කර තියෙනවා.

Read with Oxford (Stage 1)

බිෆ්, චිප්, කිපර් කියන සහෝදර සහෝදරියන්, ඔවුන්ගේ දෙමව්පියන්, සහ ෆ්ලොපි කියන සුරතල් බලු පැටවා ප්‍රධාන චරිත වශයෙන් ගෙන ලියැවුණු මේ කතා මාලාව කුඩා දරුවන්ගේ කියවීමේ හැකියාව දියුණු කිරීම වෙනුවෙන් ම ලියැවී ඇති බව සඳහන් කරන්න පුළුවන්. අකුරු සහ ශබ්ද හඳුනාගැනීම, සරල key words සහ වාක්‍ය හඳුනා ගනිමින් කියවීමට හුරු කිරීම මුල් ම මට්ටමේ පොත්වල අරමුණ වෙලා තියෙනවා. සාමාන්‍ය පවුලක සිදුවන සිදුවීම්, එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන අත්දැකීම්, කුඩා දරුවන් විසින් සිදුකරන යම් යම් විනෝදජනක ක්‍රියාකාරකම් සහ දරුවන්ගේ ආකල්ප දියුණුව ගැනත් මෙහිදී අවධානය යොමු කර ඇති බව පෙනී යනවා. ඒ වගේම මේ සෑම පොතකම ප්‍රායෝගික උපදෙස්, ප්‍රහේලිකා සහ විනෝදජනක ක්‍රියාකාරකම්ද අඩංගුව තියෙනවා.

Dr. Seuss books for beginners

Phyllis Fraser සහ ඔහුගේ බිරිඳ වන Helen Palmer විසින් රචනා කරන ලද The cat in the hat ළමා කතා පොත ඔවුන්ගේ පොත් පෙළෙහි පළමු පොත වූ අතර පොත් විශාල සංඛ්‍යාවක් එයින් පසුව නිර්මාණය කෙරුණා. දරුවන් ප්‍රිය කරන තේමාවන් ආශ්‍රයෙන් ලියැවුණ මේ පොත් සරල, විනෝදජනක සහ කියවීමට පහසු පොත් වශයෙන් ඉතා දීර්ඝ කාලයක් පුරාවට කුඩා දරුවන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා.

Related Articles