Home Parenting පාසැල් නැවත ඇරඹීමෙන් පසුව ඔබේ දරුවාගේ ආරක්ෂාව සළසා ගන්නා ආකාරය

පාසැල් නැවත ඇරඹීමෙන් පසුව ඔබේ දරුවාගේ ආරක්ෂාව සළසා ගන්නා ආකාරය

by LADY.LK

පාසල් නැවත ආරම්භ කිරීමට සූදානමක් ඇති බවට ලැබුණු ආරංචිය ඔබට සතුටක් වගේම එක්තරා විදියක චකිතයකුත් දනවන්නට සමත් වෙන්න ඇති කියලා අපි හිතනවා. නොයෙකුත් පැති පිළිබඳව සළකා බලා, පාසල ආරම්භ වීමෙන් පසු දරුවා පාසලට යැවීම හෝ නොයැවීම ඔබේ තීරණයක් වුණත්, මේ අභියෝගයට මුහුණ දීමේදී ඔබට යම් සහයෝගයක් ලබා දීම වෙනුවෙනුයි මේ ලිපිය ලියැවෙන්නේ. යම් විදියකින් නැවත පාසල ආරම්භ වුවහොත් ඔබ ක්‍රියා කළ යුත්තේ කොහොමද? බලන්න, පහතින් සඳහන් කරන උපක්‍රම ඔබට ප්‍රයෝජණවත් වෙනවද කියලා. 

වැඩිහිටියන් එන්නත ලබාගෙනද?

මේ වසංගත තත්ත්වය කිසිසේත්ම නොසළකා හරින්නට නොහැක්කක් බව ඔබ මේ වෙනකොටත් වටහාගෙන ඇති. රටේ සෞඛ්‍ය, ආරක්ෂක සහ තවත් පාර්ශ්වයන් මෙහිදි ක්‍රියාකාරීව තමන්ගේ දායකත්වය ලබා දුන්නත් එන්නත ලබා ගැනීම සහ අනෙක් සෞඛ්‍ය රීති පිළිපැදීම ගැන ඔබ සැළකිල්ලක් දක්වන්නේ නැතිනම් මෙම වසංගතය පිටුදැකීම එතරම් පහසු වෙයි කියලා හිතන්න අමාරුයි. මේ දක්වාත් ඔබ එන්නත ලබාගෙන නැත්තම් ඔබේත්, ඔබේ දරුවාගේත්, රටේ අනෙක් දරුවන්ගේත් යහපත වෙනුවෙන් එන්නත ලබාගන්න කියලා අපි මතක් කරනවා. වසංගත තත්ත්වය නිසා වඩාත් පීඩාවට පත්වෙලා ඉන්න දරුවොන්ට නැවතත් තමන්ගේ අධ්‍යාපන කටයුතු පටන් ගන්නත්, යාළු මිත්‍රයෝ එක්ක එකතුවෙලා සතුටුදායක සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නත් එය විශාල සහයෝගයක් වෙන්න ඉඩ තියෙනවා.

සෞඛ්‍ය රීතිවලට දරුවා හුරු කරවන්න.

වසර දෙකකට කිට්ටු කාලයක් පුරාවට පැවති වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය රීතිවලට ඔබ හොඳින් හුරුවෙලා ඇති කියලා අපි හිතනවා. ඉතින් දුරස්ථ බව රැක ගැනීම, mask පැළඳීම, අත සේදීම වගේ සෞඛ්‍ය රීති හොඳින් පිළිපැදීම හරහා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම පහසුවන බව දරුවන්ටත් කියා දීම ඔබට අපහසු වෙන්නේ නැහැ. ගෙවී ගෙන යන්නේ අසීරු කාල සීමාවක් බවත්, පාසල ආරම්භ වුණත් එය වසර දෙකකට කලින් පැවති ආකාරයට වඩා වෙනස් බවත්, නමුත් කැපවීමෙන් ක්‍රියා කළහොත් පෙර තත්ත්වයට පැමිණීම එතරම් අසීරුවන්නේ නැති බවත් වටහා දීම දරුවාට අලුත් පාසල් වාරයට හුරුවෙන්න උපකාරයක් වේවි.

අසනීපෙන් පසුවෙනවා නම් ගෙදර ඉන්න

තමන් අසනීප තත්ත්වයකින් පෙළෙනවා නම් අන් අය හා නොගැවසී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පාසල පටන් ගැනීමෙන් පසුවත් පවුලේ කෙනෙක් හෝ දරුවා යම් අසනීපයකින් පෙළෙනවා නම් අනිවාර්යයෙන් මේ කාරණය ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. දරුවා සුළු අසනීපයකින් පෙළුනත් එය නොසළකා හැර පාසල් එවන දෙමව්පියන් සිටින බව ඔබ සමහරවිට අත්දැකලා ඇති. අධ්‍යාපනික කටයුතු අතපසුවෙනවා කියන අදහසින් සිදුකරන මේ වැරැද්ද නිසා තමන්ගේ දරුවාගේ විතරක් නෙවෙයි සිය දහස් දෙනෙක්ගේ ජීවිත අනතුරේ වැටෙන බව සිහි තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය ම කාරණයක් වෙනවා. ඒ වගේම කුඩා දරුවන්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ගේ තරමටම පැහැදිලිව දැකීමට අපහසු නිසා ශරීර උෂ්ණත්ව ඇතුලු අනෙකුත් රෝග ලක්ෂණ ගැන නිරන්තර අවධානයෙන් සිටීමටත් අමතක කරන්න එපා.

ප්‍රතිශක්තිකරණ වර්ධනය කරගන්න

සුවදායක නින්ද, පෝශ්‍යදායි ආහාර පාන, ප්‍රමාණවත් තරම් ශාරීරික ව්‍යායාම, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ මානසික සහනය මඟින් දරුවාගේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. ඒ නිසා පාසල ආරම්භවීමට පෙර මේ කියන අවශ්‍යතා සම්පූර්ණ කිරීම මඟින් දරුවාගේ නිරෝගි බව  සහ ශක්තිමත් බව වර්ධනය කිරීමේ වගකීම ඔබ සතුවෙනවා. විශේෂයෙන්ම බොහෝ කාලයක් පුරාවට නිවසටම වී සිටීම නිසා දරුවාට නින්ද සහ ව්‍යායාම එතරම් පිළිවෙළකට ලැබෙන්නේ නැතුවා විය හැකියි. නමුත් පාසල ආරම්භවීමට පෙර නැවතත් නියමාකාර රටාවකට පුරුදු පුහුණු කිරීම දරුවාට වගේම ඔබටත් පහසුවක් වේවි. ඒ වගේම පිටතින් ආහාර ගැනීම අවම කර හැකි තරම් නිවසින් ම ආහාර පාන ගෙනයෑමට උනන්දු කරවීමත් සෞඛ්‍යාරක්ෂිත බව රැකගැනීමට සහය වෙනවා.

මේ දේවල්වලටත් අවධානය යොමු කරන්න

දරුවාගේ නම සටහන් කළ masks කිහිපයක් සහ පාවිච්චි කළ masks සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට බෑගයක් සැපයීම, mask පැළඳීමේදී සෞඛ්‍යාරක්ෂිත බව සුරැකෙන ආකාරයට නිවැරදිව එය සිදු කළ යුතු ආකාරය වටහා දීම, මිතුරු මිතුරියන් සමඟ ආහාර පාන සහ උපකරණ හුවමාරු කරගැනීම මේ අවස්ථාවේදි සුදුසු නොවන බව වටහා දීම, ඔවුන් හා එක්වී සෙල්ලම් කිරීමට ඇති බාධක පෙන්වා දීම, විශේෂයෙන්ම දැන් පවත්නා තත්ත්වය පෙර පැවති තත්ත්වයට වෙනස් බව වටහා දීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. 

ඊට අමතරව, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනත් අනිවාර්යයෙන් ම සැළකිලිමත් වීම ඔබේ හිතේ සැනසීමට හේතුවක් වේවි. විශේෂයෙන්ම පාසලේ පිරිසිදුකම, ජලය සහ අත් සේදීමට පහසුකම් සැපයුම, පිරිසිදු වාතාශ්‍රය ලැබෙන පරිදි පන්ති සැකසීම, පාසල් ආපනශාලාවල සෞඛ්‍යාරක්ෂිත බව, සෞඛ්‍ය නීතී රීතිවල පිළිපැදීමට දරුවන් උනන්දු කරන ආකාරය, ක්‍රීඩා සහ අනෙක් බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධ තීරණ , කාර්‍ය මණ්ඩලය එන්නත් ලබාගෙන ඇත්ද, දරුවා පාසල් යන එන ප්‍රවාහන මාධ්‍ය කොයි තරම් ආරක්ෂිතද කියන කාරණා ගැනත් ඔබ අනිවාර්යයෙන් සැළකිලිමත් විය යුතු වෙනවා. 

දරුවාට අවැසි දේ මොනවා ද? 

දීර්ඝ කාලයක් පුරාවට නිවසටම වී සිටීම නිසා දරුවන් තුළ යම් මානසික පීඩනයක් හටගැනීමට විශාල වශයෙන් ඉඩකඩ තියෙනවා. පවුලේ ආදායම් අහිමි වීම, පවුලේ සාමාජිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම, හිත මිතුරු ආශ්‍රය අහිමිවීම වගේ කරුණු හේතුවෙන් දරුවාගේ මානසිකත්වය පිරිහීමත්, එවැනි ගැටළුවලට විසඳුම් සපයාගැනීම ඔවුන්ට තනිවම සිදුකළ හැකි නොවන නිසාත් වැඩි අවධානයක් ඒ වෙනුවෙන්‍ යෙදවීම වැඩිහිටියන්ගේ වගකීම වෙනවා. පාසල් ආරම්භ වීම සම්බන්ධව දරුවා හා කතාබහ කරමින් ඔහුගේ/ ඇයගේ අදහස් විමසීමටත්, දරුවාගේ පැත්තෙන් සිතමින් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමටත් අමතක කරන්න එපා.

Related Articles