Home Parenting ළමයා නිදාගන්නකං අම්මලා තාත්තලා බලාගෙන ඉන්නෙ මෙන්න මේ දේවල් කරන්නයි

ළමයා නිදාගන්නකං අම්මලා තාත්තලා බලාගෙන ඉන්නෙ මෙන්න මේ දේවල් කරන්නයි

by LADY.LK

අපි මේ කියන්න යන්නෙ තරමක් හාස්‍ය රසය තියෙන කතාවක් කියලා හිතුනට ඇත්ත ඒක නොවෙන්නත් පුළුවන්. ඔයත් දරුවන් ඉන්න දෙමවුපියන්ගෙන් කෙනෙක් නම් මේ කාරණා ඔයාටත් අදාළ ඇති. ​මේ කතාව ඔයාගෙ කතාවට වඩා වෙනස් නම් මේ ගැන ඔයාගෙ අදහසත් අපිට කියන්න. බොහෝමයක් අම්මලා තාත්තලා දරුවන්ට තියෙන ආදරය නිසාම ගෙවන්නේ අධික ලෙස ස්ට්‍රෙස් පිරි ජීවිතයක්. මේ ජීවිතයෙන් ඔවුන් මිදෙන්නෙ දරුවා නිදාගත් වෙලාවට. මේ වෙලාවට ඔවුන් කරන දේවල් ගැනයි අද අපි කතා කරන්නෙ. එනිසා මේ කතාව දරුවන් සිටින දෙමවුපියන් හැමෝටම අදාළයි. 

අස්කරන්න

දෙමවුපියෝ තමන්ගෙ දරුවා නිදාගන්නකං බලන් ඉන්න ප්‍රධානම දේ තමයි ගෙදර අස්කරන එක. ඇහැරිලා ඉන්නකංම ගෙදර හැඩි කරලා, වැලි පුරවලා, බිත්තිවල චිත්‍ර ඇඳලා, සෙල්ලං බඩු බිම ඇදලා දාලා ගෙදරම කනපිට ගහන නිසා ළමයා නිදාගන්නකං ඉන්න වෙනවා ගෙදර අස් කරන්න. නැත්තං ගෙදර අස් කරන අතරෙත් ළමයි ගෙදර හැඩි කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙමවුපියන් විදියට ළමයා නිදාගත්තු ගමන්ම කරන්නෙ ගෙදර අස් කරන එක. මේක බොහොම කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. ළමයාට සද්ද ඇහෙන්නෙ නැති වෙන්න ඕන. ඒ වගේම හිතාගන්න බැරි අහුමුළුවල තියෙන ලෙගෝ කෑලි පෑගෙන්නෙ නැති වෙන්න ගෙදර අස් කරන්න ඕන.

ෆිල්ම්

ගෙදර දොර අස් කරලා ඉවර වෙලා දෙමවුපියො කරන තවත් වැඩක් තමයි ෆිල්ම් බලන එක. ළමයි ඉන්න වෙලාවට කවදාවත් ෆිල්ම් එකක් බලන්න වෙන්නෙ නෑ. ඩිජිටල් තිර නිසා ළමයින්ට සිද්ධ වෙන හානිය ගැන දවසින් දවස දකින කතන්දර නිසා බොහෝමයක් දෙමවුපියෝ ළමයි ඉන්න වෙලාවට ටීවී එක දාන්න හිතක් නෑ. ඒ නිසා ළමයි නිදාගත්තු ගමන් තමුන් කැමති ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් දාගන්න තමයි කට්ටිය බලං ඉන්නෙ. ඔය ඔක්කොටම වඩා ෆිල්ම්වල යන දේවල් ගැන ළමයි අහන ප්‍රශ්නවලට උත්තර දෙද්දිත් එපා වෙනවානෙ.

කන්න

දෙමවුපියොන්ට නිදහසේ කෑම ටිකක් කන්න වෙන්නෙත් දරුවා නිදාගත්තම තමයි. ළමයා ඇහැරිලා ඉන්න වෙලාවට ඉක්මනට අතට අහුවෙන දෙයක් කටට දාගෙන ආයෙ ළමයා දිහා බලනවා මිසක් රස විඳලා කෑමක් කන්න වෙන්නෙ නෑනෙ. ගොඩක් වෙලාවට අම්මලා කෑම කන්නෙ ළමයා කෑම කන වෙලාවටමයි. දරුවා තනියම කෑම කන කෙනෙක්නම් දරුවා ගාව වාඩි වෙලා කන්න බල කර කර කෑම කනවා වගේම, දරුවාට කවන අම්මලා ඒ අතරෙම තමුනුත් කෑම ටිකක් කනවා. මේ නිසා දරුවා නිදාගත්තම තමයි දෙමවුපියොන්ට නිදහසේ කෑම ටිකක් කන්න ලැබෙන්නෙත්.

නාන්න

දරුවො ඇහැරිලා ඉන්න වෙලාවට වොෂ්රූම් එකට යන එක හරිම කරදරයක් කියලා පොඩි ළමයි ඉන්න අම්මලා තාත්තලා හොඳට දන්නවා ඇති. ටිකක් වෙලා වැඩිපුර හිටියොත් දොරට තට්ටු කරලා දැම්ම එන්නෙ නැද්ද කියල අහනවා, ඒ වගේම සමහර වෙලාවට වොෂ්රූම් එකට ගියාට පස්සෙ ළමයාගෙ සද්දයක් නැති වුනොත් අම්ම තාත්තගෙ හිතට බයයි. ඒ නිසා හිත නිදහසේ කැමති තරමක් නාගන්න වෙන්නෙත් ළමයා නිදාගත්තම තමයි.

කතාබහක්

දෙමවුපියොන්ට කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවද? දරුවාගෙ ඉගෙනීම ගැන, පවුලේ අනාගතය ගැන, මුදල් තත්ත්වය ගැන, රැකියාවල ප්‍රශ්න ගැන වගේම තමුන් ගැන. මේ දේවල් ගැන කතා කරන්න කවදාවත් දරුවා ඇහැරිලා ඉන්න වෙලාවක් සුදුසු නෑ. මොකද දරුවන්ටත් ඕන දෙමවුපියන්ගෙ කතාවලට සම්බන්ධ වෙන්න. ඒ වගේ සමහර අනවශ්‍ය කතාවලට දරුවො ඇහුම්කන් දෙන නිසාත් දෙමවුපියන්ට තමුන්ගෙ කතා කරගන්න දරුවන් නිදාගන්නකං ඉන්න සිද්ධ වෙනවා.

නිදාගන්න

හැ​මෝම බලං ඉන්න ඇත්තෙ දරුවො නිදාගන්නකං දෙමවුපියෝ කරන්න බලන්න ඉන්නෙ මොනවද කියන එක යටතෙ එක් කාරණයක් අපි කියනකං. හැබැයි ඔය කිසිම​ දේකට වඩා දවස තිස්සෙම මහන්සි වෙලා දරුවන් වෙනුවෙන් මුදල් හොයන, දරුවන් ආරක්ෂා කරන, උස්මහත් කරන, දරුවන්ගේ අනාගතය හදන දෙමවුපියන්ට ඕන කරන වටිනාම දේ තමයි නින්ද. ඉතිං දෙමවුපියෝ මේ හැමදේකින්ම වැඩිපුර සතුටු වෙන දේ තමයි මනසට විවේකයක් ලැබෙන නින්දක් ලබන එක.

Related Articles