Home EducationMotivation බාධක මැඩගෙන ලෝකප්‍රකට වූ කාන්තා චරිත 5ක්.

බාධක මැඩගෙන ලෝකප්‍රකට වූ කාන්තා චරිත 5ක්.

by LADY.LK

සිහින හඹා යන යම් අවස්ථාවක ඔබ අධෛර්‍යමත් වනවා නම්, අතහැර දැමීමට සිතෙනවා නම් දුක දිනා ජය ගත් ඔබ වැනිම කාන්තාවන් ගැන සොයා බලා, ඔවුන්ගෙන් කතාවලින් දිරිය ලබාගන්න කියන ඉල්ලීමත් සමඟ මේ ලිපියෙන් අපි කතා කරන්නේ එවැනි ලෝකප්‍රකට කාන්තා චරිත කිහිපයක් සම්බන්ධවයි. බාධක කම්කටොළු මතින් ජයගෙන ඉතිහාස ගතවූ කාන්තාවන් ලෝක ඉතිහාසය පුරාවටම දකින්නට ලැබෙන එක් ආකාරයකට මෙය කතා කර නිම කිරීමට අපහසු මාතෘකාවක් ද වෙනවා.  

මාග්‍රට් තැචර් (Margaret Thatcher) 

1925 වසරේ ඔක්තෝබර් 13 වෙනිදා උපන් මාග්‍රට් ත්‍රැචර් “Iron Lady” කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර ඇය වසර 11ක් පුරාවට එක්සත් රාජධානියේ අගමැති ධූරය හොබවමින් තම ජාතියට සේවය කළා. රසායන විද්‍යාව පිළිබඳ උපාධිදාරිනියක්, අධි නීතීඥවරියක්, පාර්ලිමේන්තු සභිකාවක් වූ ඇය එරට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයක් මෙහෙයවූ ප්‍රථම කාන්තාව වශයෙන් ද සැළකෙනවා. රටේ ආර්ථිකය නැංවීමට ඉමහත් වෙහෙසක් දැරූ නායිකාවක් ලෙස නම් දැරූ මාග්‍රට් ත්‍රැචර් 1990 දි තම දේශපාලන දිවියෙන් සමුගන්නවා. ආගමික දේශකයෙකු වූ පියා විසින් කුඩා අවධියේ දී දැඩි ආගමානූකූව ඇති දැඩි කිරීමට උත්සහ කළත්, එවැනි දේ ගැන විශ්වාසයක් නොදැක්වූ තැනැත්තියක් වූ ඇය පාසල් කාලයේ දී අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් එකසේ දක්ෂතාවය දැක්වූ උද්‍යෝගිමත් තරුණියක් බවට පත්වුණා. 2013 දි මිය ගිය මාග්‍රට් ත්‍රැචර් ලෝක දේශපාලන ඉතිහාසයේ නොමැකෙන ලෙස තම නම සනිටුහන් කරගැනීමට සමත් වූ දේශපාලනික නායිකාවක් වශයෙන් හැඳින්වීමට හැකිවනවා.

මාරි කියුරි (Marie Curie)

1867 වර්ෂයේ නොවැම්බර් මස 7 වැනිදා වැඩිමල් සහෝදර සහෝදරියන් සිව් දෙනෙක්ට පසුව උපත ලැබූ පෝලන්ත ජාතිකයෙක් වන ඇය පසුව ප්‍රංශයට සංක්‍රමණය වුණා. පෝලන්තයේ එවකට පැවති දේශපාලනික තත්ත්වය නිසා ඔවුන්ට පවුලේ දේපළ සියල්ල අහිමිවූ අතර මේ නිසා ඔවුන්ගේ ජීවිත අඟහිඟකම්වලින් පිරුණු ඒවා බවට පත් වුණා. පසුකාලීනව භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිළිබඳව හදාරා සෝබෝන් විශ්ව විද්‍යාලයේ පළමු මහාචාර්‍යවරිය බවට පත්වීමට සමත් වූ ඇය විසින් සිදු කළ පර්‍යේෂණ අතර විකිරණශීලීත්වය පිළිබඳව පර්‍යේෂණ ප්‍රධානකොට සැළකෙනවා. නොබෙල් ත්‍යාගය හිමි කරගත් ප්‍රථම කාන්තාව, නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත් ප්‍රථම කාන්තාව, එකිනෙකට වෙනස් විද්‍යා විෂයයන් දෙකකින් නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම කාන්තාව වශයෙන් ලෝක ප්‍රකට වූ ඇය 1934 වසරේදී අභාවයට පත්වුණා.

ජේ. කේ රෝලින් (Joanne Kathleen Rowling)

ළමා වැඩිහිටි කවුරුත් ප්‍රිය කරන හැරී පොටර් පොත් පෙළෙහි රචිකාවිය වන ඇය මේ පොත් මාලාව නිසා බිලියනපතිනියක් වූ අතර සාහිත්‍ය ලෝකයේ එවැනි තත්ත්වයක් ලබා ගත් පළමු කතුවරිය ලෙස සැළකෙනවා. තම මවගේ අභාවයත්, හිංසා පීඩා සහිත විවාහයත්, දික්කසාදයත්, කුඩා දියණියක හා තනිවීමත් නිසා මානසික පසුබෑමට ලක්වීමටත්, රැකියා විරහිත බව නිසා ආර්ථික අපහසුතාවලට ලක්වීමටත් සිදුවූ ඇය විශාදයෙන් පීඩා විඳි බව ද ඇය විසින් පසුව හෙළිකරනවා. මුල් ම හැරී පොටර් කෘති වන Harry potter and the philosopher’s’ stone කෘතිය ප්‍රකාශකයින් 12 දෙනෙක් අතින් ප්‍රතික්ශේප වූ නමුත් ප්‍රකාශයට පත්වූ පසු විශාල වශයෙන් විකිණුනු අතර සම්මාන ගණනාවක් දිනා ගැනීමටත් සමත් වුණා. පසුව චිත්‍රපට පිටපත් රචිකාවියක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක් වශයෙනුත් ක්‍රියා කළ ඇය තමන් උපයා ගත් ධනයෙන් වැඩි කොටසක් සමාජ සුබසාධනය වෙනුවෙන් යොදවමින් මේ වන විට සාර්ථක ජීවිතයක් ගෙවමින් සිටිනවා. 

රෝසා පාර්ක්ස් (Rosa Parks)

අප්‍රිකානු- ඇමෙරිකානු සම්භවයක් සහිතව උපත ලැබූ රෝසා පාර්ක්ස් වර්ණභේද වාදයට විරුද්ධව නැඟී සිටි සහ කලු ජාතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරිනියක් වශයෙන් ඉතිහාසගත වූ දිරිය කාන්තාවක් වශයෙන් හැඳින්වෙනවා. 1955 දෙසැම්බර් පළමුවැනිදාවක ඇය තමන් ගමන් ගනිමින් සිටි බසයේ තමන් වාඩිවී සිටි අසුන සුදු ජාතිකයෙකුට ලබා දීම ප්‍රතික්ශේප කරන අතර නීති රීතිවලට අවනත නොවීම යන චෝදනාව යටතේ නීතිය ඉදිරියට පමුණුවනු ලබනවා. නීතියෙන් ඇය වැරදිකාරිනියක වශයෙන් නම් කළත් මේ සිද්ධිය අරභයා මොන්ට්ගොමරි නගරයේ වාසය කළ සියලු කලු ජාතිකයින් බස් රථවල ගමන් බිමන් යෑම වර්ජනය කරමින් තමන්ට සිදුවන අසාධාරණයට විරුද්ධව නැඟී සිටිනවා. වසරක් පුරාවට ඇදී යන මෙම වර්ජනය පසුව අවසන් වන්නේ බස් හිමියන් ගෙනගිය අසාධාරණ නීති රීති අහෝසි කරමින් වන අතර තමන් නිර්භීතව ගත් පියවර තම වර්ගයාගේ සුබසිද්ධියට හේතු වන ආකාරය අසමින් දකිමින් 2005 වසරේදී ඇය අභාවප්‍රාප්ත වෙනවා.

එමා වොට්සන් (Emma watson)

සුප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ හර්මයිනි ග්‍රැන්ජර් විදියට රඟපාන මේ අතිදක්ෂ සහ සුරූපි යුවතිය නිළියක් පමණක් නොව කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක් සහ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිදාරිනියක් ද වෙනවා. තමන් කුඩා අවධියේදී සිදුවූ මව්පියන්ගේ දික්කසාදයත්, දැරියක වශයෙන් පීඩා විඳි ADHD තත්ත්වයත්, කුඩා අවධියේදී ම ලැබූ අසීමිත ජනප්‍රියත්වයත්, ධනයත් තම සාර්ථකත්වයට බාධාවක් කර නොගත් ඇය කැපවීමෙන් සහ උත්සහයෙන් තමන්ගේ සිහින සැබෑකරගන්නට වෙර දරන තරුණ දැරියන්ට සැබෑ ම ආදර්ශයක් වනවා.

Related Articles