කාලින අවශ්‍යතා අනුව දේශීය ආහාර වල රස ගුණ මතුකර පෙන්වීම අත්තම්මා සැලකුවේ සමාජ යුතුකමක් ලෙස..
ඉතිං මට සිහි කලේ කොස්කොල ඔටුන්න ලා රජ වූ යුගයේ මිහිරි මතක.. අද සුදානම තොප්පි වැටුණු යුගයක ධනාත්මක චින්තනයකින් ”කොස් කොළ ” මැල්ලුමේ වටිනා කම පහදා දීමයි.
මහගෙදර වත්තේ විසල් කොස් ගස් හත අටක්ම තිබු නිසා වාරයේත් අවාරයේත් කොස් පොලොස් වලින් අපිට අඩුවක් තිබුනේ නැහැ.. කල්ප වෘක්ෂයක් බඳු කොස් පලයේ ඇති ඖෂධිය සහ පෝෂණීය ගුණ නම් පොත් ගණනාවකින් වත් ලියා නිමකරන්න බැරි තරම්..
කිරිදෙන මවටත්, ගත වෙහෙසන ගොවියාටත් කොස් නොවරද්දන්නට අත්තම්මා වගබලාගත් නමුත් ඒ කාලේ අපේ වත්තේ කොස් කොළ වල රස බැලුවේ නම් හන්දියේ නානාගේ එළු යුවල සහ පාරෙන් එහා පැත්තේ රාලහාමි මාමලාගේ මි හරක් පට්ටියේ සාමාජිකයින් පමණි.
විවේක ඇති දිනෙක කුස්සියේ ගොම පොලවේ මිටි බංකුව මත හිඳ රත්කර ගත් කොහොල්ලෑ ගුලියකින් පිපිරූ කළ, හට්ටි, මුට්ටි පිරියම් කරන අතර දිනෙක අත්තම්මා කි යමක් යලි මගේ මතකයට නැගේ.
එදා ඇය සඳහන් කලේ කොස් ඵලය පමණක් නොව කොස් කොළ මෙන්ම කොහොල්ලෑද ආහාරයට ගැනීමට හැකි බවයි. මේ කතා බහෙන් කීප දිනකට පසු මගේ බලවත් ඉල්ලීම මත කොස් කොළ රසවත්ව දවල් බත් පතට එක්වුණා . නමුත් ඒ මැල්ලුම් ආකාරයට නොව රසවත් පපඩමක හැඩය ගෙනය.
ඉන්පසු බොහෝ වරක් නැවත නැවතත් රස බලා ඇති කොස් කොළ පපඩම සාදා ගැනීම ඉතා පහසුයි.
කොළ පාට වන්නට පෙර දළු කොස් කොළ නෙලා ගත් වහාම සෝදා පිරිසිඳු කර ලුණු වතුරේ විනාඩි 15ක් පමණ පොඟවා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගැනීමේ සරල ක්‍රියාවයි ඒ. උණු උණුවෙම බත් පතට ගැලපෙන ආහාර සමඟ එක්කර රස බැලිය හැකි නමුත් බත් වෙනුවට ආදේශකයක් ලෙස ආහාරයට ගන්නට නම් ඒ විධිය යෝජනා කල පෝෂනවේධියාගෙන්ම අසා දැන ගැනීමට සිදු වේ.
නුතන පර්යේෂකයින් පවසන අන්දමට ලොව පුරා මහත් සෞක්‍ය ගැටළුවක් බවට පත්ව ඇති දියවැඩියා රෝගයට ඇති ස්වාභාවික ඖෂධයක් කොස්. අමු හෝ ඉදුණු කොස් නැතහොත් තම්බාගෙන ආහාරයට ගැනීමෙන් රුධිරගත සිනි මට්ටම අඩුකිරීමේ අපූරු ගුණයක් ඇති බවයි ඔවුන් පවසන්නේ.
පවතින ඉන්සියුලින් වල ගුණාත්මක බව වර්ධනය කර ගැනීමටත්, අග්න්‍යාසය ඉන්සියුලින් නිපදවීමට උත්තේජනය කිරීමටත් ඇති මේ හැකියාව කොස් පලයේ පමණක් නොව කොස් කොලයේත් ඇති බවක් ඔවුන් පවසනවා.
“කොස්කොල තේ” මේ වනවිට සෙමෙන් වෙළඳ පොලට එක් වෙන්නේ මේ සොයා ගැනීම් වල ප්‍රතිපලයක් ලෙස. කොස් කොළ තේ පිළියෙළ කිරීමත් ඉතා පහසුයි.
සෝදා පිරිසිඳු කර ගත් අමු කොස් කොළ සිහින්ව ලියා උනුවතුරේ දමා පෙරා බිමට ගන්න. සිනි, කිරි අවශ්‍ය නැත. දියවැඩියා රෝගීන්ට බොහෝ ප්‍රතිපලදායකයි.
දියවැඩියා රෝගයට පිලියමක් ලෙස සිනි මිලඉහලදැමුවාටත් වඩා ප්රඤාගෝචර වන, බත් වෙනුවට කොස්කොල ආහාරයට ගැනීම සමාජයේ දැවෙන ප්‍රශ්නයකට පිළියම් යෙදෙන කාලින පිලියමක් ලෙස ධනාත්මකව මා දකින්නේ මේ හේතුව නිසා.
කොස්කොල වල රුධිරගත සිනි අඩු කිරීමේ හැකියාව තහවුරු වන බවට ඇති අනිකුත් සාධකය නම් දකුණු ඉන්දියාවේ නිතර ප්‍රධාන ආහාරයට ඉඩ්ලි එකතු කෙරෙන පවුල් වල දියවැඩියාව බහුල නොවීම.
අමු කොස්කොල ගොටුවක දමා වාෂ්පයෙන් තම්බා ගන්නා ඉඩ්ලි වලට කොස් කොලයේ සියලු ගුණත් අපුර්ව සුවඳක් සහ රසයක් ලැබෙන බවත් කියවෙනවා.
මේ සියලු සාධක සලකා බලන විට කොස්කොල මැල්ලුමට එක්කර ගැනීම කාලින අවශ්‍යතාවයක් බව නැවත නැවතත් පැහැදිලි වෙනවා.
තවදුරටත් කොස්කොලයේ ගුණ සොයා ගිය මට දැන ගන්නට ලැබුනේ කොස් කොලය ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත් උන රෝගයට, සමේ ආසාදන, ගෙඩි, වන සහ කල්ගත වුනු දියවැඩියා තුවාල සුවයට භාවිතා කල බවක්. අමු කොස් කොලය පොල් තෙල් පහනේ රත් කර තැවීමෙන් ගෙඩි මෝදු වීම සහ සුව වීම ඉක්මන් කර ගැනීමටත් හැකිලු.
නිවසේදී තුවාල සුවයට අත් බේතක් ලෙසත් කොස් කොළ භාවිතා කරන්න පුළුවන්. පොල්තෙල් පහනේ අමු කොස් කොළ පුළුස්සා ලැබෙන අළු පොල්තෙලෙන් මිශ්‍ර කර තුවාලයට ආලේප කිරීමයි ඒ.
අත්තම්මාගෙන් අසා ඇති නමුත් කොහොල්ලෑ ආහාරයට ගනු මා කෙදිනක වත් දැක නැත. නමුත් මේ බව සනාත කරන සුප්රවෙිදියකුගේ ඒ ලිපියෙන් උපුටා ගත් කොහොල්ලෑ බැදුම නුදුරු අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි නිසා සත් භාවයෙන් සකස් කර ගන්නා අයුරු පහතින් දක්වමි.
කොහොල්ලෑ බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය:
පිරිසුදුවට ගත් කොහොල්ලෑ ස්වල්පයක්
රතුලූනු ගෙඩි 10
උම්බලකඩ මේස හැඳි 2
අමු මිරිස් කරල් 5
කැකුළු හාල් මිටක්
රම්පෙ කරපිංචා
ගම්මිරිස් තේ හැඳි 1/2
අවශ්‍ය පමණ පොල්තෙල්
සාදන ක්‍රමය:
අමු කොහොල්ලෑ සහ සහල් එකට දමා ගලේ හොඳින් අඹරන්න. අනතුරුව ඉහත ද්‍රව්‍ය සියල්ල එක්කර ඔම්ලට් මෙන් බැද ගන්න.
ළඟ ලඟම එන ආහාර හිඟයට බොහෝ ප්‍රයෝජනවත් විය හැකි රසවත් තණකොළ මැල්ලුමක් සමඟ මිළඟ ලිපියෙන් හමුවන තුරු ඔබ සැමට ආයු වඩ්ඩන්තු සබ්බදා!
උපුට ගැනීම අන්තර්ජාලයෙනි