Home Parenting අලුත් අම්මෙක් නම් මේ දේවල් දැනගන්න ඕනමයි

අලුත් අම්මෙක් නම් මේ දේවල් දැනගන්න ඕනමයි

by LADY.LK

Lady.lk අපි මේ කතා කරන්නෙ අලුත් අම්මලාට. අපිට කියන්න තියෙනව පොඩි කතාවක්. මේ කතාවෙ කියන්නෙ අලුත් අම්මලා විදියට දරුවො උස්මහත් කරද්දි හිතන්න ඕන වගේම කරන්න ඕන දේවල් කීපයක්. මේ දේවල් කිසිම දෙයක් දරුවාට නරකක් වෙන දේවල් නෙමෙයි. ඒ වගේම අපි දේවල් කරන්න ඕන හේතුවත් ඔයාලට කියනවා. ඒ නිසාම අපි මේ කියන දේ ගැන තරමක් දුරට හිතලා බැලුවොත් ඒක අම්මලාට වගේම දරුවන්ගේ අනාගතයටත් සැනසිල්ලක් වේවි.

වෛද්‍ය උපදෙස්

මේ කතාව නිසා ඔයා එක්ක සමහර අය තරහා වේවි. ඒ වුනත් මේ කතාව ඔයා විශේෂයෙන් හිතට ගත යුතුයි. අම්මෙක් විදියට ඔයාගෙ පරම වගකීම වෙන්නෙ ඔයාගෙ දරුවාව රැක බලාගන්න එක. ඒ අතරතුරේ ඔයාට වටපිටාවෙන් උපදෙස් ලැබේවි. ඒ උපදෙස් අහලා හොයලා බලලා මිසක් ඇසූ පමණින් පිළිපදින්න එපා. ඔබේ වෛද්‍යවරයා ගෙන් ඒ ගැන හරි අදහසක් ඔබට ගන්න පුළුවන් වේවි. කිරි දෙන විදිය වැරදියි, ගුඩුස් අරින විදිය වැරදියි, දැන් රත කල්කය දෙන්න ඕන, දැන් මවු කිරි නවත්තන්න ඕන වගේ නොයෙක් යෝජනා වැඩිහිටි කාන්තාවන්ගෙන් ඔයාට ලැබේවි. ඒ දේවල් ගැන වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න.

ඔයත් වැදගත්

අම්මා කෙනෙක් දරුවෙක් ලැබුනාම දරුවා ගැනම විතරක් හිතලා හරියන්නෙ නෑ. ඔයත් දරුවා හා සමානවම වැදගත්. ඔයාගේ ජීවිතයට වටිනාකමක එක හා සමානව තියෙනවා. ඔයාගේ ශාරීරික සෞඛ්‍යය වගේම මානසික සෞඛ්‍යයත් වැදගත්. ඒ නිසා දරුවා නිදාගන්න වෙලාවට ඔයත් කෙටි නින්දක් ලබාගන්න. මනස සැහැල්ලු වෙන ක්‍රියාකාරකම් කරන්න. හොඳට ගුණදායක ආහාර කන්න බොන්න. 

නොවැටී ඉමු

දරුවෙක් ලැබුනු අලුත අම්මා කෙනෙක් මානසිකව වැටෙන කාරණා ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඉන් එකක් අම්මා විසින් තමුන්ගෙ ශරීරය මහත් වෙලා තිබීම ගැන වගේම තමුන්ගේ දරුවාට අසනීපයක්ද කියා හිත හිතා හිතින් වදවීම. අනික් කාරණාව වටපිටාවේ අය අයියෝ දරුවා කෙට්ටු වෙලා, දරුවගෙ මුහු​ණ අමුතුයි වගේ කතා කියලා ඒ අම්මාව මානසිකව ඇද වැට්ටවීම. ඒ නිසා අම්මෙක් විදියට ඔයාගෙ ශරීරය ස්වභාවිකව කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙනවා කියන දේත්, ඔයාගේ දරුවා සම්බන්ධයෙන් වටපිටාවේ අයට වඩා වෛද්‍යවරයා දන්නවා කියන දේත් විශ්වාස කළ යුතුමයි.

එන්න එපා!

දරුවෙක් ඉපදුනු අලුත් නොයෙක් අය දරුවා බලන්නට ඒවි. ඒ ගැ​න තියෙන ලොකුම අවුල තමයි විෂබීජ. කුඩා දරුවෙකුගෙ ප්‍රතිශක්තිය අවමයි. ඒ නිසා කිසිම මොහොතක පිටස්තරයින් පොඩි දරුවාට ලං නොවෙන තරමට හොඳයි. මේ ගැන බොහෝ අය තේරුම් ගන්න නිසා දැන් මාස තුනක්වත් ගත වෙන තුරු දරුවෙක් බලන්න එන්නෙ නැහැ. නමුත් මේ දේවල් ගැන නොහින අනුවණ මිනිස්සු බලහත්කාරෙන් ළමයි බලන්න එනවා. මේකට කරන්න තියෙන හොඳම දේ තමයි හිත නොරිදෙන්නට කෙලින්ම එපා කියලා කියන එක. 

සද්ද කතා

දරුවා කුඩා කාලයේම සද්ද බද්ද පරිසරයට දරුවා හුරු කරවන එක අම්මලාගෙ ඇඟට ගුණයි. කිසිම සද්ද බද්දයක් නැති පරිසරයක හැදුණු ළමයෙකුට පසු කාලීනව ඒ පරිසරය නැතුව බැරි වෙනවා. ඊලඟට පොඩි සද්දෙටත් ඇහැරේවි. ඒ නිසාම සින්දු වාදනය වෙන, නිතර කතා කරන පරිසරයකට දරුවා හුරු කරවීම අම්මාට ලේසියක්.

ඔයා අම්මා!

ඔයාගේ අම්මාට, ඔයාගේ ස්වාමිපුරුෂයාගෙ අම්මාට පවුලේ තවත් වැඩිහිටි කාන්තාවන්ට ඔයාගෙ දරුවා ගැන බොහෝ අදහස් තියේවි. ඒ අය කියන දේම කරන්නට ඒ අය බල කරාවි. නමුත් අකමැත්තෙන් හෝ මේ දේ මුල්ම අවධියේ නතර කර නොගත්තොත් ඔයාට දරුවා සම්බන්ධයෙන් ඔයාගෙ තීරණ ගන්නට නොහැකි වේවි. ඒ නිසා ඔයා අම්මා වුණු ඔයා තමයි දරුවාට හොඳම දේ දන්නෙ! කියන දැඩි තීරණයේ සහ ආත්ම විශ්වාසයේ ඉන්න.

කතා කරමු

දරුවාට භාෂාව තේරෙන්නෙ නැහැ කියලා හෝ දරුවා කතා නොකරන නිසා දරුවාත් එක්ක කතා නොකර ඉන්න එපා. දරුවාට ඇහෙනවා. ඒ නිසා දරුවාට කතා කරන්න. ඒ කතා කරන දේවල් ආදරයෙන් වගේම හොඳ හැඟීමකින් යුතුව කතා කරන්න. දරුවාට එතකොට වචනයක හැඟීම තේරුම් යාවි. 

Related Articles