Home Parenting ගෙදර පොඩ්ඩෙක් ඉන්නවා නම් සෞඛ්‍යාරක්ශාව ගැනත් වැඩිපුර හිතමුද?

ගෙදර පොඩ්ඩෙක් ඉන්නවා නම් සෞඛ්‍යාරක්ශාව ගැනත් වැඩිපුර හිතමුද?

by LADY.LK

ගෙදරක් කියන්නේ එහි නිවැසියන්ට හැම අතින්ම සුවපහසුදායක බවක් දැනිය යුතු  ස්ථානයක්. විශේෂයෙන් ම ගෙදර පොඩ්ඩෙක් ඉන්නවා නම්, ඒ දරුවාට තමන්ගෙ ගෙදරින් මේ කියන සුවපහසුදායක බවත් ආරක්ෂාව, නිදහස සහ සැනසීමත් දැනිය යුතුමයි කියලා අපි හිතනවා. විශේෂයෙන් ම නිවසට ම කොටු වෙලා ඉන්න මේ කාල සීමාවේ මවක් විදිය​ට තමන්ගේ පොඩි දුවගේ පුතාගේ සුවපහසුදායක බව ගැන වැඩිපුර හිතන්න ඔබ පෙළඹිලා ඉන්නවා නම්, අපි මේ කියන කරුණු කාරණා කීපය ඔබට වැදගත් වෙන්න ඉඩ තියෙනවා. 

ගෙදර ආරක්ෂාව ගැන නැවතත් හිතන්න.

මෙතනදි අපි කතා කරන්නේ බාහිරින් වෙන්න පුලුවන් අනතුරුවලින් ආරක්ෂා වීම සම්බන්ධවයි. Security camera සහ security alarm යෙදීම, නිවසේ දොර ජනෙල් සහ නිවසින් පිටත ඇති ගේට්ටුවට පවා ආරක්ෂිත අගුල් යොදා තිබීම දරුවාගේ ආරක්ෂාවට වගේම ඔබේ හිතේ සැනසීමටත් හේතුවේවි. විශේෂයෙන්ම නිවසක උඩ තට්ටුවක ජීවත්වෙනවා නම් පඩිපෙල් සඳහා අඟුලු දැමූ ශක්තිමත් ගේට්ටුවක් යෙදීමත්, නිවස වටා අඩු ලුහුඬුකම් නැති ශක්තිමත් වැටක් තිබීමත් අත්‍යවශ්‍ය වෙනවා.

දරුවන් වෙනම කාමරවල නිදි කරවනවා නම් ආරක්ෂාව ගැන වඩ වඩාත් සැළකිලිමත් විය යුතු වෙනවා වගේම, තමන්ගේ නිවසේ ආරක්ෂිත උපක්‍රම ගැන කිසිම ආකාරයකින් බාහිර පුද්ගලයින්ව දැනුවත් නොකිරීමටත් වග බලා ගතයුතු වෙනවා. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩෙවිවල ඔබේ නිවස ඇතුලේ ඡායාරූප පළ කිරීමේදි ඔබේත් දරුවාගේත් ආරක්ෂාවට හානි නොවන ආකාරයට ඒ දේ සිදුකිරීමට වග බලා ගන්න කියලා අපි මතක් කරනවා.

විදුලිය සහ වතුර

මේ කාරණයේදීත් ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු වෙන්නේ කුඩා දරුවොන්ට මෙහි ඇති අවධානම ගැන කිසිම වැටහීමක් නැති නිසයි. විශේෂයෙන්ම බිම් මට්ටමින් ඇති power points ආවරණය කිරීම , ක්‍රියාත්මක කර ඇති විදුලි උපාංග දරුවන්ට හසු නොවන තැන්වලින් තැබීම, විදුලිය කාන්ඳුවන විදුලි උපාංග නිසි පරිදි පිළිසකර කිරීම මඟින් දරුවාගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුලුවන් වෙනවා.

උණු වතුර, උණුසුම් බීම වර්ග, ජලය පිරවූ භාජන/ බේසම්, වතුර ටැංකි සහ bath tubs මඟින් කුඩා දරුවොන්ට සිදුවන යම් යම් අනතුරු පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවන නිසා මෙවැනි අනතුරුවලින් දරුවා ඈත්කර තැබීම ගැනත් සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු වෙනවා. 

ගෙදර ඇතුළත පරිස්සම් ද?

පොඩ්ඩෙක් ඉන්න ගෙදර, පොඩ්ඩෙක් නැති ගෙදරකට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබට වැටහෙනවා ඇති. හැමදේම අදින බලන, කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ගෙදර අනෙකුත් උපකරණ ගැන කුතුහලයෙන් හොයන බලන පොඩි දරුවෙක් එක්ක නිවසක් පිළිවෙළට තියාගන්න එක එතරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. 

මේ නිසා, විවිධාකාර විසිතුරු භාණ්ඩ, වීදුරු උපකරණ, සමරු සටහන් වගේ වටිනා සහ කැඩෙන බිඳෙන දේවල් දරුවාගේ අතට හසු නොවෙන විදියට ස්ථානගත කර තැබීම වඩාත් සුදුසු වෙනවා. විශේෂයෙන්ම අනතුරු බහුල මුළුතැන්ගෙයට ඇතුළුවීමට නොහැකිවන ආකාරයට ආරක්ෂිත  වැටක් වැන්නක් යෙදීම, තියුණු කොන් සහිත මේස පුටු සහ වෙනත් උපකරණ සඳහා ඒ වෙනුවෙන් ම ඇති රබර් ආවරණ යෙදීම, දරුවාට අනාරක්ෂිත යැයි සිතෙන යම් යම් උපකරණ සහ ගෘහ භාණ්ඩ ඒ ස්ථානවලින් ඉවත් ම කර තැබීම, ලාච්චු සහ දොර මුලුවලට අත පය ඇඟිලි හසුවීම වැලැක්වීමට උපක්‍රම යෙදීම, වයර්/ ලණු/ රෙදි පටි වැනි දෙයින් සිදුවිය හැකි අනතුරුවලින් වළක්වා ගැනීම ගැන අවධානය ලබා දිය යුතු වෙනවා.

විවිධ බෙහෙත් වර්ග, මුළුතැන්ගෙයි  සහ නාන කාමරයේදී භාවිතා කරන නොයෙක් රසායනික ද්‍රව්‍ය වර්ග, කුඩා කොටස් ගැළවෙන සෙල්ලම් බඩු, කාසි වැනි ඕනෑම දෙයකින් දරුවාට හානි වීමට ඉඩ ඇති නිසා මේ දේවල් ගැනත් නිරන්තර අවධානයෙන් සිටිය යුතු වෙනවා.

හදිසි අනතුරු සිදුවන්නේ කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව වන අතර මෙවැනි අනතුරක් වීමට එක තත්පරයක් වුවත් ප්‍රමාණවත් වේ. මේ නිසා අනතුර සිදුවීමට පෙර එය වළක්වා ගැනීමට උත්සහ කිරීම හැම අතින්ම සැනසීමක් නොවෙනවා නොඅනුමානයි.

First aid box එකක්

ප්‍රථමාධාර සඳහා බෙහෙත් වර්ග ළඟතබා ගැනීමේදි සහ භාවිතා කිරීමේදි පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ඒ දේ සිදු කිරීම අනිවාර්යයෙන් වැදගත් වනවා. එම බෙහෙත් සහ අනෙකුත් ද්‍රව්‍යවල කල් ඉකුත්වීමේ දින ගැන සැලකිලිමත් වීමත් සහ ගබඩා කිරිම නියමාකාරයෙන් සිදු කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. 

පුලුන්, bandage සහ plaster, කතුර, gloves, පිරිසිදු රෙදිපටි, saline, betadine, පිරිසිදුකාරකයක්, අසාත්මිකතාවයකදී භාවිතය සඳහා බෙහෙත්, පිලිස්සීමකට භාවිතා කරන ආලේප,තැලුම් සඳහා balm/spray,  උණකටුව, Paracetamol, piriton, ජීවනී, glucose වගේ දේවල් ප්‍රථමාධාර පෙට්ටියේ තියාගන්න පුලුවන්.

ආයුර්වේද බෙහෙත් පැළෑටිත් වැදගත්

කෝමාරිකා, කරපිංචා, ඉඟුරු, නිල් කටරොළු, කොහොඹ, කහ, හාතාවාරිය, පොල්පලා සහ කෑමට ගන්නා වෙනත් පලා වර්ග කිහිපයක් සුළු වශයෙන් හෝ වගා කරගැනීමෙන් ඒව ඖශධ විදියට විතරක් නෙවෙයි ආහාර වශයෙන් පාවිච්චි කිරීමේ හැකියාවත් තියෙනවා.

Related Articles