Home Parenting බිළින්දාව රෝහලෙන් ගෙදරට ගේන්න කලින් මේ ගැනත් හිතන්න

බිළින්දාව රෝහලෙන් ගෙදරට ගේන්න කලින් මේ ගැනත් හිතන්න

by LADY.LK

බිළින්දෙක් කියන්නෙ සතුටේ උල්පතක්. ඒ වගේම බිළින්දෙක් කියන්නෙ වගකීම් කන්දක්. ඒ නිසාම බිළින්දෙක් ගෙදරකට ගේන්න කලින් ඒ ගෙදර උදවිය සහ ඒ අවට ගැන සැළකිලිමත් විය යුතු කාරණා බොහෝමයක් තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන. Lady.LK මේ ළිපිය වෙනත් අය කතා නොවුණු කාරණාවක් ගැන කතා කරන නිසා යම් කාරණා ගැන බොහෝ දෙනෙකුගෙ එකඟ නොවීම් තියෙන්නට පුළුවන්. නමුත් අපිට කියන්නට තියෙන්නෙ මේ කාරණා සම්බන්ධයෙන් අපේ පාර්ශවයෙන් නැතුව කුඩා බිළින්දාගේ පාර්ශවයෙන් බලන ලෙසයි. ගෙදරට අලුත උපන් බිළින්දෙක් ආවම අවධානය පමණක් නොව, වගවීමත් ඒ මත තබා බලන්න කියලයි අපි ඉල්ලන්නෙ.

තීන්ත

අලුතෙන් පැටියෙක් ගෙදරකට ගේද්දි ගෙදරම අලුතෙන් සරසන එක පුරුද්දක්. ඒ නිසා ගෙවල්වල අලුතෙන් තීන්ත ගාන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ දේ ගැන වඩා සැළකිලිමත් වෙන්න උවමනායි. දරුවා ලැබුනාම පරණ ගෙදර තීන්ත ගානවානම් හෝ අලුත් ගෙදරකට යනවානම් හෝ අනිවාර්යෙන්ම තීණ්ත වියැලී මාසයකට පසුවත් දරුවාව ගෙදරට ගොඩ කරන්නට අමතක කරන්නට එපාත ඒ කියන්නෙ දරුවා අලුත් ගෙදරට එන්න මාසයකට කලින්වත් නිවසේ තීන්ත ගා අවසන් කරන්න. තීන්තවල ඇති සැර ගඳ දරුවාට තරමක් අපහසු විය හැකි නිසායි මේ කාරණාව අපි වැඩිපුරම ඉසමතු කරන්නෙ.

කාමරයක් හදමු

පොඩ්ඩා වෙනුවෙන්ම කාමරය හදන එකත් දෙමවුපියන්ගෙ ලොකු ආසාවක්නෙ. පොඩ්ඩාට ආසා හිතෙන වෛවරණ පින්තූර එක්ක, බිළින්දා ගැහැනුද පිරිමිද කියන දේ උඩත් තීරණ ගනිමින් ඔවුන් මේ කාමරය සැකසීම සිද්ධ කරනවා. මේ තත්ත්වයත් එක්ක පොඩ්ඩාට කාමරයක් හදද්දි හිතන්න ඕනෙම ලස්සන කරන දේවල්ලට වඩා පිරිසුදු කම. දූවිලි එකතු විය හැකි තැන්, ඇඳේ මෙට්ටය යට ලී කෑලි අතරේ වගේම ජනෙල් රාමු අතරේ රැඳෙන දූවිල්ල පවා දරුවාට තරමක් ආසාත්මික විය හැකියි. මේ නිසා කාමරයක් හදද්දී අනිත් සියළු දේට වඩා කාමරයේ පිරිසුදුකම ගැන සිතිය යුතුයි.

නිදියන්නෙ කොහෙද?

බිළින්දා නිදියන්නේ කොහෙද කියන දේ ගැන සිතිය යුතු කාරණයක්. මුල් කාලයේ සිටම තනිව නිදි කරවන්නට බබාට කොට් එකක් ගන්නවා නම් එය ආරක්ෂිත කොට් එකක් විය යුතුයි. ඒ වගේම කොට් එක අපට පහසුවෙන් හසුරුවන්නට සහ භාවිතා කරන්නට හැකි සේම අම්මාට පහසුවෙන් දරුවාව ගන්නට හැකි කොට් එකක්ද විය යුතුයි. මොකද අපි හැම විටම දරුවාට කිරි දෙන්නට අම්මාට ඇති පහසුව ගැනත් හිතන්න වෙනවා.

වටපිටාව

වටපිටාව ගැන සැළකිලිමත් වීම අනිවාර්ය කාරණයක්. වටපිටාව අධික රස්නයකින් යුක්ත නම් අපිට දරුවාට රස්නය නොදැනෙන්නට සිදු කළ යුතු මූලික කාරණා සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම වටපිටාව මහා මාර්ගයකට මුහුණ ලා තිබෙනවානම් දූවිලි බහුල වන නිසා දූවිලි නිවස තුළට නොඑන්නට කළ යුතු අලුත්වැඩියා සහ නිතර නිවස පිරිසුදු කරන කටයුතුත් සිද්ධ කළ යුතුයි.

ආදරණීයයන් දැණුවත් කරමු

දරුවෙක් ලැබුනු වහාම ගලා එන සුබ පැතුම් පණිවුඩ අතරේ කියවෙන එක දෙයක් තමයි දරුවාව බලන්න ඉක්මනටම එනවා කියන එක. ඉතිං මෙහෙම කියන අයට අපි කියන්න ඕන දේ තමයි දරුවාව බලන්නට ඒ තරම් ඉක්මනින් එන්නට එපා කියන එක. ඒක තරමක් හිත් නොරිදෙන විදියට කියන්නත් ඕන. ඒ වගේම එහෙම අහන අයත් ඒ දේ නොඅහන්න වගබලාගන්න ඕන. මොකද පොඩි දරුවෙකුගේ ප්‍රතිශක්තිය හුඟක්ම අඩුයි. දරුවෙක් බිහි කරපු අම්මාත් හුඟක් ශරීරයෙන් දුර්වල වෙලා ඉන්න අවස්ථාවක් නිසා උණක් හෙම්බිරිස්සාවක් හැදුනොත් ඔවුන්ට ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා විෂබීජ පැතිරෙන්නෙ නැති වෙන්න හැකිතාක් පිටස්තරයින් නිවසට ඒම වළක්වා ගත යුතුයි.

අපේ පිරිසුදුක​ම

පිටස්තරයින්ට වැට බැඳලා පමණක්ම විෂබීජ නසන්නට බෑ. අපේ පිරිසුදු කමත් වැදගත්. අපේ පිරිසුදුකම ගැන අපි සැළකිලිමත් වෙන්න ඕන. ඒ නිසා නිතරම පිරිසුදුව ඉන්නට වගේම, අපි ඉන්නා කාමර සහ ඇඳුම් පැළඳුම් පවා පිරිසුදුව තබාගන්නට අපි පුරුදු වෙන්න උවමනායි. ඒ වගේම අපි පිටතට ගොස් නිවසට එද්දී අනිවාර්යෙන්ම පිරිසුදු වෙලා පමණක් දරුවාව අතට නොගන්නත් වග බලාගන්න ඕන. රස්සාවක් කරන තාත්තෙකුට මුළු රැකියා කාලය පුරාම දරුවාගේ කිරි සිනහව මතක් වුණත් නිවසට ආ විගස ඇඳුම් පැළඳුම් උනා පිරිසුදු වී මිස දරුවා වඩා ගන්න එක දරුවාට හොඳක් නම් වෙන්නේ නෑ.

Related Articles