Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 01

පිනි වගේද ආදරේ – Episode 01

by LADY.LK

දිනිති හෙට්ටිආරච්චි ලියයි

ඔෆිස් එකට ඇතුල් වෙද්දි ​අශේනි​​ට ඊයෙ තරං නුපුරුදු ගතියක් දැණුනෙ නෑ. ​අශේනි බලාගෙන හිටියෙ අද දවස වෙද්දි ඔෆිස් එකේ හැමෝම ​අශේනි​ගෙ යාළුවො වෙයි කියලයි. ඒ නිසාම ​අශේනි අද එයා ආසම ඇඳුම ඇන්දා. ඒකට තමයි ​අශේනි වැඩිපුරම ලස්සනයි කියලා ​අශේනි​ගෙ අම්මා කිවුවෙ. ​අශේනි ඔෆිස් එකේ අයට එයාගේ අතින්ම හදපු රස කෑමකුත් අරගෙන ගියා. ඒක ගැන හේතුවක් ඇහුවොත් කියන්න දේකුත් හිතාගෙනයි ​අශේනි ඔෆිස් එකට ගියේ. ඒ වගේම ​අශේනි ඊයේටත් වඩා උදෙන් ඔෆිස් එකට ගියා. ​අශේනි​​ට ඒ වෙනකොටත් එක යාළුවෙක් හිටිය. එයා ​අශේනි​ගෙ යාළුවෙක් වුනෙත් අහඹු විදියකට. ඒ ඊයෙ උදේ බෝඩිමේ ඉඳන් ඔෆිස් එකට එද්දි.

ඉන්ටවිවු එකට දෙපාරක් ඔෆිස් එකට ආවට ​අශේනි ඒ පැත්ත ගැන වැඩි දැණුමක් තිබුනෙ නෑ. කොටිම්ම ​අශේනි​ගෙ උපන් ගම වෙච්ච කෑගල්ල ටවුන් එක ගැනවත් ​අශේනි ඒ තරම් ලොකුවට දැනගෙන හිටියෙ නෑ. ඒ නිසාම ​අශේනි ලැජ්ජාව පැත්තකින් තියලා බස් හෝල්ට් එකේ හිටපු ගෑනු ළමයගෙන් එයාට හිතෙන ප්‍රශ්න ටික අහන්න හිතාගත්තා.

මේ… නවම් මාවත පැත්තට යන්න බස් එන්නෙ නැද්ද?
බස් නං ඕනතරං එනව. අද නැහැනෙ.
ඇයි දන්නෙ නෑ…
පොලිටීෂියන්ස්ලා යනව ඇති අප්ප. ඒකට පාරවල් වහනවනෙ..
ආහ්..

​අශේනි​​ට සැනසුමක් දැණුනා. මුල් දවස් දෙකම ඉන්ටවිවු එකට ත්‍රීවීලර්වල ආවට ඒ වැඩේ හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල ​අශේනි​​ට තේරුණා. ඔෆිස් එකට තරමක් කිට්ටු කොළඹ අවටම තැනක වුනු බෝඩිමටත් ​අශේනි​​ට මාසෙකට තරමක් ලොකු ගානක් වෙන් කරන්න සිද්ධ වුනා. මාසෙ කෑම බීම වගේම අලුත් ඔෆිස් එකට යන්න ගන්න සිද්ධ වුනු ​ඇඳුම් නිසාත් මේ වැඩේ තවත් අවුල් වෙලා තිබුනෙ. ඒ නිසාම ​අශේනි බස් ගමනට හුරු වෙන්න හිතුවා. මේ දැන් ​අශේනි​ගෙ හිතින් නැති වුනේ ඒ තිබුනු බය. ​අශේනි​​ට හිතුනෙම බස් අඩු ඇති කියලයි. එතකොටම පාරෙ ආපු ත්‍රීවීලර් එකකට අත දාපු අර ගෑනු ළමයා ​අශේනි දිහා බැලුවා.

නවම් මාවතට නේද යන්නෙ?
ඔවු
මාත් යන්නෙ නවම් මාවතට. එන්න

​අශේනි හිනාවක් මූනට දාගෙනම ගිහින් ත්‍රීවීලර් එකට නැග්ගා. ත්‍රීවීලර් ගමන පුරාම අර ගෑනු ළමයා කල් ගෙවුවෙ ෆෝන් එකේ. ඒ කතා කරන්නෙ නං එයා ආදරේ කරන කෙනාට කියලා අතරින් පතර කියවුනු බබා කියන වචනය නිසා ​අශේනි​​ට හිතුනා. එයාගෙ කතාවෙ අද බස් නැති හැටි ගැන, ඔෆිස් එකට අද අලුතෙන් තුන්දෙනෙක් එන එක ගැන, බස් නැති වෙන්නෙ පොලිටීෂියන්ස්ලා පාර වහගෙන ගමන් ගිය නිසා බව වගේ දේවල් කතා වුනා.

​අශේනි​​ට ෆෝන් එකෙන් කතා කරන්න කවුරුත් හිටියෙ නෑ. ​අශේනි​ගෙන් කැමැත්ත අහපු කීප දෙනෙක් එක්කම ​අශේනි​​ට මස්සිනා වෙන අයියා කෙනෙක් රණ්ඩු වෙලා තිබුනා. අම්මලා හිතුවෙ ඒ ඇත්තටම ​අශේනි​ගෙ ආරක්ෂාවට කියලා වුනත්, ඒක ඇත්තටම සිද්ධ වුනේ ඒ අයියා ​අශේනි​​ට කැමැත්තෙන් හිටපු නිසා. හැබැයි ඔහුටවත් අශේනි​ව හිමි වුනේ නෑ. ​අශේනි​​ට ඕන වුනා හොඳට ඉගෙන ගෙන කොළඹට ඇවිල්ල රස්සාවක් කරලා සල්ලි හොයාගෙන, තමන්ගෙම ව්‍යාපාරයක් පටන්ගන්න. අම්මලා කිසිම අඩුපාඩුවක් නොකර උස්මහත් කරපු ​අශේනි ගැන අම්මලා හිටියෙ හරිම ආඩම්බරෙන්.

​අශේනි​ගෙ ඔෆිස් එක ගාවටම ත්‍රීවීලර් එක ලං වුනා. ​අශේනි මං මෙතනින් බහින්නං කියල අර ගෑනු ළමයට කියන්න යද්දිම ෆෝන් එක පොඩ්ඩක් කනෙන් මෙහාට කරපු ඒ ගෑනු ළමයා ​අශේනි​​ට කතා කරා.

මං මෙතනින් බහිනව. ඔයා තව ඉස්සරහට යනවද?
නෑ මාත් මෙතනින් බහින්නෙ.
හරි.

ත්‍රීවීලර් එකෙන් බැහැලා ​අශේනි දික්කරපු සල්ලිත් නොගෙනම හිනාවක් හලලා, අයෙත් ෆෝන් එක කනේ ගහගෙනම ඒ ගෑනු ළමයා ​අශේනි​ගෙ ඔෆිස් එක පැත්තට ගියා. මේ හිතපු නැති වාසියක්. ඒ කියන්නෙ අශේනිත් නොදැනම ​අශේනි​​ට අලුත් යාළුවෙක් මුණගැහිලා. ​අශේනි ඔෆිස් එක ගාවට ගිහින් ලොබි එකේ වාඩි වෙලා ඉද්දි රිසෙප්ෂනිස්ට් ​අශේනි​​ට උඩ තට්ටුවේ යන්න ඕන තැන කිවුව. විසි දෙනෙක් විතර හිටපු ඔෆිස් එක ඇතුළට යද්දිම ​අශේනි දැක්කෙ අර යාළුවව..

කියන්නෙපැයි අනේ ඔයත් මෙහෙට එන්නෙ කියල
කියන්න තමයි මාත් හැදුවෙ..
ඉතිං කිවුවෙ නැත්තෙ?
ඔයා කෝල් එකකනෙ හිටියෙ…
ආ ඔවුනෙ.. ඔය කෝල් එක ගත්තෙ නැත්තං දවසම රණ්ඩු.
හ්ම්ම්ම්ම්…

​අශේනි​​ට තාමත් එයා ආදර කතාවක පැටළුනු නැති එක ගැන හිතට සතුටකුත් ඇති වුනා. එයාගෙ නම ෂෙනාලි. ඉන්නෙ ​අශේනි​ගෙ බෝඩිම ගාවමයි. එයා ඉන්නෙ නම් නෑදෑයෙකුගෙ ගෙදර. එයත් තාම ඔෆිස් එකට ඇවිත් මාස තුනයි. හැබැයි එයා මේ කොළඹ රස්සාවක් කරන පළවෙනි වතාව නෙමෙයි. එයා ​අශේනි​​ට පළවෙනි දවසෙම දවල්ට කෑම කන්න යන්නත් කතා කරා. අදත් ​අශේනි ඔෆිස් එකට එද්දි එයා ඇවිත් හිටියෙ.

මං කෝල් කරා උදෙම්ම..
අනේ ඔවු මම දැක්කෙ පස්සෙ අශී
හ්ම්ම්ම්…
ඊට පස්සෙ මට වෙනිං ​කෝල් ගන්න විදියක් නෑ කියල ඔයා දන්නවනෙ.
එයා හුඟක් සැරයිද?
සැර නෑ අනේ. නාහෙන් අඬනව..
හ්ම්ම්ම්…
මං ඒකට කැමතිම නෑ.
ඇත්ත…
උදේට කාලද?
නෑ තාම.
යං මට අද කිරිබත් හම්බුනා.
මාත් අද කිරිබත් ඉවුවෙ.
හරි…
මේ මං තව කෑමක් අරං ආව
මොනවද?
වැලිතලප
කෝ?
මේ…
අම්මෝ ගොඩක් තියෙනවනෙ.
අපි කට්ටියටම හැදුවෙ
ඕක ලලිතා ආන්ටිට දෙමු. එයා තේ දෙද්දිම ඕවත් දෙයි.
හරි.
ඕකත් අරගෙනම යමු

හිස් වෙලා තියෙන ඔෆිස් එකේ මේස අතරින් මේ දෙන්නා ලන්ච් රූම් එක පැත්තට ගියා. ​අශේනි​ගෙ හිතට අලුත් යාළුවා නිසා නිදහසක් දැණුනත් තාමත් මුල් දවස්වලම ඔෆිස් එකකට ගියාම තියෙන තිගැස්ම හිතේ තිබුනා.

ඊලඟ කොටසට…

Related Articles