Home Parenting ළමා අපයෝජන වලින් වැළකෙන ආකාරය දරුවාට කියාදෙන ක්‍රම

ළමා අපයෝජන වලින් වැළකෙන ආකාරය දරුවාට කියාදෙන ක්‍රම

by LADY.LK

නොයෙකුත් මානසික විකෘතිතාවලින් පෙළෙන ළමා අපයෝජකයින් නිදහසේ සැරිසරන සමාජයක ජීවත්වෙන අපිට මේ වෙනකොට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රධානම ගැටළුවක් විදියට ළමා අපයෝජන පෙන්වන්න පුළුවන්. මව්පියන් කෙතරම් හොඳින් තමන්ගේ දරුවා ආරක්ෂා කරගත්තත්, නොහිතන මොහොතක, නොහිතන අන්දමේ පුද්ගලයෙකු අතින් දරුවා අපයෝජණයට ලක්වූ සිදුවීම් ගැන අසන්නට ලැබීම මේ වෙනකොට සුලබ තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. මේ නිසා, මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකින් වැළකෙන්නේ කොහොමද කියලා දරුවෙකුට කියා දෙන ආකාරය ගැන ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා. දරුවන් කියන්නේ මව්පියන්ගේ පමණක් නොව මුළු මහත් සමාජයේම වගකීමක් නිසා, ඔබ තවමත් මවක් නොවුනත් දැනුවත්වීම උදෙසා මේ ලිපිය කියලා අපි ඉල්ලා සිටිනවා.

ශරීර අවයව නිවැරදිව හඳුන්වා දෙන්න

බහ තෝරන අවධියේ ඉඳන්ම දරුවාට තමන්ගේ ශරීරයේ අවයව වල නම් නිවැරදිව කියා දෙන්න. වෙනත් අන්වර්ථ නම් වලින් ශරීර අවයව හඳුන්වා දීමෙන් දරුවා confuse වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා යම් අපයෝජණයක් සිදු වුනත් එය හරිහැටි පැහැදිලි කිරීමේ හැකියාව පවා අඩුවෙන්න ඉඩ තියෙනවා. මේ නිසා තමන්ගේ ශරීරයේ අවයව නිවැරදිව හඳුන්වන්නේ කොහොමද කියලා කුඩා කාලයේ සිටම දරුවා දැනුවත් වී තිබීම අත්‍යවශ්‍ය වෙනවා.

Private body parts ගැන කියා දෙන්න

අපේ ඇඟේ තියෙන සමහර අවයව අපිට විතරක් ම දකින්න, touch කරන්න පුළුවන් අවයව කියන කාරණය දරුවාට වටහා දෙන්න. ඒවා දකින්න පුළුවන් අම්මට/ තාත්තට සහ අම්මා/ තාත්තා ළඟ ඉන්න වෙලාවක doctor ට විතරක් බවත් වෙනත් කිසිම කෙනෙක්ට විහිළුවට හෝ ඒවා අතපත ගෑමට නොහැකි බවත් කියා දෙන්න. ඒ වගේම අනෙක් අතට, තමනුත් වෙනත් අයගේ private parts දැකීම හෝ අතගෑම නුසුදුසුයි කියන කාරණයත් කියා දීම අත්‍යවශ්‍ය වෙනවා. වෙනත් අයෙක් තමන් ලවා එවැනි දෙයක් කරවීමට උත්සහ කරනවා නම් එය වැරදි ක්‍රියාවක් බවත්, ඒ ගැන මව්පියන් දැනුවත් කළයුතු බවත් දරුවා දැන සිටිය යුතු වෙනවා.

ඇඟ ගැන රහස් තියාගැනීම නුසුදුසු බව කියාදෙන්න

“අපි දෙන්නා මේ කරන්නේ සෙල්ලමක්, කාටවත් කියන්නෙපා, කවුරු හරි දැනගත්තොත් ඔයාට ආයේ එන්න දෙන්නේ නැතිවෙයි, ඔයා කරදරේ වැටෙයි” වගේ කතා කියමින් දරුවා රවටා අපයෝජනයට ළක් කිරීමට ඉඩ ඇති නිසා මේ කාරණය ගැනත් දරුවා දැනුවත් කර තියන්න අමතක කරන්න එපා. සරලවම කියනවා නම් කිසිම පුද්ගලයෙකු සම්බන්ධ කරගෙන body secrets තියා ගැනීම සුදුසු නැති බවත් ඉහතින් සඳහන් කළ ආකාරයේ දේවල් හෝ වෙනත් කිසියම් ම හෝ ආකාරයක තර්ජනයක් කළහොත් නොපැකිළිව අම්මා සහ තාත්තා දැනුවත් කළ යුතු බවත් දරුවාට වටහා දෙන්න. 

මෙවැනි කාරණා ගැන දරුවා සමඟ සාකච්ඡා කරමින් වටහා දීම එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කරගන්නවා නම්, යම් සිදුවීමක් වුණා නම් දරුවා ඒ ගැන මව්පියන් සමඟ පවසන්නට පෙළඹෙනවා. එසේ නැතිනම් මව්පියන් විතරක් නෙවෙයි දරුවාවත් තමන් අපයෝජනය වන බව නොදැනම දිගින් දිගටම අපයෝජකයාගේ ගොදුරක් බවට පත්වන්නට ඉඩ තියෙනවා.  මේ නිසා දරුවාට කුමක් සිදුවුවත් අම්මා හා තාත්තා දරුවා වෙනුවෙන් පෙනී සිටින බව පවසා බිය නොවී ඕනෑම දෙයක් පවසන ආකාරයේ පරිසරයක් නිවස තුළ ඇති කරගැනීම මව්පියන්ගේ වගකීම වනවා.

පින්තූර ගැනීම තහනම්

කිසිම පුද්ගලයෙකුට තමන්ගේ private parts වල පින්තූර ලබාගන්න ඉඩ දෙන්න එපා කියන කාරණයත් දරුවාට අනිවාර්යයෙන් ම කියා දෙන්න. ළමා අපයෝජකයින් පිනවීම සඳහා අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ජාවාරම් සඳහා මෙවැනි පින්තූර ලබාගැනීම් සිදුකෙරෙන නිසා මේ කාරණය ගැනත් දැනුවත් වී සිටීම ඉතාමත් වැදගත් වෙනවා.

අනාරක්ෂිත අවස්ථාවලින් ඉවත්වීමට කියාදෙන්න

අපයෝජකයා දරුවාට සහ මව්පියන්ට ඉතා හුරු පුරුදු පවුලේ සාමාජිකයෙක්, හිතවතෙක්, වැඩිහිටි මිතුරෙක්, ගුරුවරයෙක්, හෝ ඕනෑම කාන්තාවක්/ පිරිමියෙක් වීමට ඉඩ තියෙනවා. මේ නිසා යම් අනතුරක් වන බව දැනුනත් ඒ පුද්ගල‍යාට විරුද්ධ වීමට හෝ එතැනින් ඉවත් වීමට දරුවා පැකිළෙනවා වන්නට පුළුවන්. නමුත් තමන් පසුවන්නේ අනතුරක බව යන්තමින් හෝ ඉව වැටුනහොත් බොරුවක් කියා හෝ එතනින් ගැළවී පැන යාම, එසේත් නැතිනම් උදව් ඉල්ලා කෑගැසීම සහ මව්පියන් දැනුවත් කරන ආකාරය ගැන දැනුවත් කර තිබීම දරුවාගේ ආරක්ෂාවට ඉතාමත් වැදගත් වනවා නොඅනුමානයි. 

අප ජීවත්වන සමාජය විශේෂයෙන්ම දරුවන්ට අනතුරුදායක එකක් වෙමින් පවතින නිසා, මෙවැනි දේ ගැන දැනුවත්ව සිටීමෙන් අවම වශයෙන් එක දරුවෙකුගේ හෝ ජීවිතය අඳුරු වීමෙන් වැළකීමට හේතුවක් වනවා. මේ නිසා තමන්ට පමණක් නොව මිතුරෙකුට/ මිතුරියකට වුවත් යම් අනතුරක් වන බව දැනුනා නම් අම්මා/ තාත්තා දැනුවත් කරන්න කියන දේත් දරුවාට කියා දෙන්න අමතක කරන්න එපා.

Related Articles