Home #BossladyWork Life නව ව්‍යාපාරයක් ඇරඹීමට පෙර සිදු කළයුතු SWOT විශ්ලේෂණය.

නව ව්‍යාපාරයක් ඇරඹීමට පෙර සිදු කළයුතු SWOT විශ්ලේෂණය.

by LADY.LK

අලුත් Business එකක් පටන් ගන්න එක සමහරවිට ඔබේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව වන්නට ඉඩ ඇති. එහෙමත් නැත්තන් පොඩියට කරගෙන යන business එක තව තවත් දියුණු කරගන්න අදහසකුත් ඔබේ හිතේ ඇති. මේ කියන කරුණු දෙක ම වඩා සාර්ථකව ඉටු කරගන්න නම් ඔබ ප්‍රධාන වශයෙන් ම සිදු කළයුතු කටයුත්තක් තියෙනවා. ඒ තමයි  SWOT Analysis, එහෙමත් නැත්තන් SWOT විශ්ලේෂණයක් සිදු කිරීම. ව්‍යාපාරයක ස්වභාවය වටහාගැනීම සහ එහි දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේදි SWOT විශ්ලේෂණය ඉටුකරන කාර්‍යභාරය පැහැදිලි කෙරෙන මේ සටහන, සාර්ථක ව්‍යාපාරිකාවක් වීමේ අරමුණින් වෙහෙසෙන ඔබ වෙනුවෙන්මයි.

SWOT Analysis කියන්නේ මොකද්ද?

සරලවම කීවොත් ව්‍යාපාරයේ ශක්තීන්(Strengths), දුර්වලතා(Weaknesses), අවස්ථා(Opportunities) සහ තර්ජන(Threats) විමසීම මෙනමින් හැඳින්වන අතර මේ කරුණු හතරට, ව්‍යාපාරයේ වර්තමාන සහ අනාගත දියුණුවට බලපාන බාහිර සහ අභ්‍යන්තර කියන සාධක දෙවර්ගයම අයිතිවෙනවා. තවත් විදියකට කියනවා නම් ඔබේ ව්‍යාපාරයට බලපාන සියලුම වාසි සහ අවාසි ගැන සොයා බැලීම මෙහිදී සිදුවෙනවා.

SWOT විශ්ලේෂණය සිදුකරන්නේ කොහොමද?

මෙහිදී ව්‍යාපාරයේ වගකීම් දරන සියලුම දෙනාගේ අදහස් සළකා බැලීම අනිවාර්ය වන අතර SWOT Analysis එකෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබීමට නම් මෙය වඩාත් විවෘතව සහ අවංක ස්වභාවයෙන් සිදුකළ යුතු වෙනවා. ඒ කියන්නේ, ව්‍යාපාරය සම්බන්ධව මුල් බැසගෙන ඇති විශ්වාසයන් හෝ අදහස් මත යැපෙන්නේ නැතිව තාත්වික සහ සත්‍ය තොරතුරු මත පදනම්ව පමණක් මේ දේ සිදුකිරීම අත්‍යවශ්‍ය වෙනවා. ව්‍යාපාරයේ කාර්‍ය සාධනය, තරඟකාරීත්වය, අවධානම සහ විභවය පිළිබඳව විමසමින් සිදුකරන SWOT විශ්ලේෂණයේදී පහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කරමින් ගැළපෙන පිළියම් යෙදිය යුතු වෙනවා. SWOT Analysis සඳහා උදාහරණ දැක්වීමේදී ඒවා සියලුම ව්‍යාපාරවලන් පොදු නොවන, ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් සහ අනන්‍ය ඒවා වීමට ඉඩ ඇති බවත් අපි මතක් කරනවා.

Strengths – ව්‍යාපාරයට ධනාත්මක බලපෑමක් සිදුකළ හැකි අභ්‍යන්තර සාධක මෙයින් අදහස් වන අතර ඔබගේ තරඟකරුවන්ට සාපේක්ෂව ඔබ වඩාත් සාර්ථකව සිදු කරන දේ පිළිඹඳව මෙහිදී අවධානය යොමු කළයුතු වෙනවා. 

තරඟකාරීත්වය රැකදෙන ක්‍රියා පටිපාටි, සාර්ථක වෙළඳ නාමය, වත්කම් (පුද්ගලයින් ද ඇතුළුව), ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණ, unique technologies, සාර්ථක සන්නිවේදන කුසලතා, දක්ෂ ලෙස පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කිරීම, ශාරීරික යෝග්‍යතාවය, ව්‍යාපාරික කටයුතු සඳහා ඇති ඉඩ පහසුකම්, ව්‍යාපාරික කටයුතුවල පහසු ස්ථානයක ව්‍යාපාරය පිහිටීම, යෙදිය හැකි ප්‍රාග්ධනය, සාර්ථක ප්‍රචාරණය වගේ සාධක ගැන මෙහිදී විමසනවා. 

Weaknesses – ව්‍යාපාරයේ අභ්‍යන්තර දුර්වලතා, ශක්තීන් හරහා ඔබ ලබාගන්නා ප්‍රතිලාභයන්ට අහිතකර ආකාරයට බලපානු ලබනවා. මේ නිසා මෙහිදී අවධානය යොමුකළ යුත්තේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ දියුණු කරගත යුතු අංග පිළිබඳවයි. 

තරඟකාරීත්වයට හෝ බාහිර පරිසරයේ වෙනස්වීම්වලට මුහුණදීමේදි ඇතිවන අවධානම් පිළිබඳව විමසා බැලීම අත්‍යවශ්‍ය වෙනවා. 

අකාර්යක්ෂම ක්‍රියා පටිපාටීන්, සේවය කරන්නත් මුහුණදෙන අපහසුතා, දුර්වල වෙළඳ නාමය, ප්‍රාග්ධන හිඟය, ප්‍රමාණවත් නොවන සැපයීම්, වැඩ කටයුතු අතර අනවශ්‍ය ලෙස දීර්ඝ විවේක ගැනිම්, දුර්වල තාක්ෂණික කුසලතා, වගකීම් පැහැර හැරීම්, අනවශ්‍ය ආකාරයට දුරකතනය ක්‍රියාකරවමින් සිටීම හෝ කතාබස් කිරීම, ණය බර වගේ දේවල් උදාහරණ විදියට පෙන්වන්න පුලුවන්.

Opportunities – ඍජුව සහ වක්‍රව ව්‍යාපාරයට දායක වන මෙම සාධක බොහෝවිට ව්‍යාපාරයට වාසිදායක අයුරින් වෙළඳාම් ඉහළ නංවන බාහිර පරිසරයේ සිදුවන යම් වෙනස්වීම් විය හැකි ය. 

නීති රීති රෙගුලාසි ලිහිල්වීම්, නව වෙළඳපළ ප්‍රවණතා, බදු පහසුකම්, පාරිභෝගික සංතෘප්තිය නිසා ඔවුන් හරහා නොමිලයේම ව්‍යාපාරයට ප්‍රචාරනය ලැබීම, බැංකු හරහා වාසිදායක ආකාරයට ණය ලැබීම්, ව්‍යාපාරයට ගැළපෙන ලෙස දියුණු කරගත හැකි තාක්ෂණය, පුහුණු වැඩසටහන් සහ උපදෙස්.

Treats – ඍනාත්මක ලෙස ක්‍රියාකරමින් ඔබේ ව්‍යාපාරයට බලපෑම් සිදුකළ හැකි බාහිර සාධක මෙයින් අදහස් වේ. ඔබට සාපේක්ෂව ඔබේ තරඟකරුවන් සතුවන වාසිදායක තත්ත්වයන් මොනවාද යන කාරණය පිළිබඳව මෙහිදී විමසීමට ළක්කරන්න පුළුවන්.

කාලගුණික විපර්‍යාස, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, නව තරඟකරුවන් බිහිවීම, තමන්ට සාපෙක්ෂව තාක්ෂණික වශයෙන් ‍යාවත්කාලීන වන තරඟකරුවන්, ව්‍යාපාරයට අහිතකර ලෙස බලපාන නව වෙළෙඳපළ ප්‍රවණතා, අහිතකර පාරිභෝගික චර්‍යා රටා

SWOT Analysis එකක් සිදුකිරීම මේ තරම් වැදගත් ඇයි?

SWOT විශ්ලේෂණයේ ඇති වාසි සහ අවාසි ගැන අපි මෙහිදී කතා කරනවා. ව්‍යාපාරය සමබන්ධ තීරණ ගැනීමේදි එය වඩාත් සාර්ථක ආකාරයට සිදුකිරීම සඳහා සහ උපාය මාර්ග දියුණු කිරීම සඳහා SWOT විශ්ලේෂණයක් සිදුකරනු ලබනවා.  ව්‍යාපාරයේ යථා තත්ත්වය වටහාගැනීමට එයින් විශාල සහයෝගයක් ලැබෙන බව සඳහන් කරන්න පුලුවන්. මෙය ප්‍රධාන ම වාසිදායක තත්ත්වය වුවත් මෙම විශ්ලේෂණය සිදු කිරීමේදි පවා යම් යම් සීමාවන්ට යටත් වන්නට සිදුවෙනවා. ව්‍යාපාරයට අදාළ වන සාධක ගැන තොරතුරු ලබගැනීමේදී සියලුම තොරතුරු සොයාගැනීම ප්‍රායෝගිකව පහසු නොවීමත්, කාලය පිළිබඳ සීමාවන්ට යටත්ව තොරතුරු සපයාගැනීමට සිදුවීමත් මූලික වශයෙන්ම අවාසිදායක වෙනවා. මේ නිසා සපයාගන්නා තොරතුරුවල යතාර්ථවත් බව ගැන සැකයක් මතුවෙන්නට ඉඩ තියෙනවා.

Related Articles