Home LifestyleFashion අත්බෑගයක් තෝරාගනිද්දි ඔයා හිතන්න ඕනම දේවල්

අත්බෑගයක් තෝරාගනිද්දි ඔයා හිතන්න ඕනම දේවල්

by LADY.LK
Hand Bag

කාන්තාවක් විදියට නිතරම තමන් ලඟ තියෙන දෙයක් තමයි අත්බෑගය කියන්නෙ. ඉතිං මේ අත්බෑග් එහෙමත් නැත්තං හෑන්ඩ්බෑග් තෝරාගනිද්දි හිතන්න වෙන දේවල් ප්‍රමාණය අති විශාලයි. ඒකට හේතුව මොකද්ද කියල දැනගන්න ඔයාට මේ සටහන කියවන්නම වෙනවා. විලාසිතාවක් විදියටත් අත්බෑගය යොදාගන්න නිසාම කාන්තාවක් නිරන්තරයෙන් එළියට යද්දි අමතක නොකරනම දේ විදියට මේ අත්බෑගය තෝරාගනිද්දි හිතන්නම ඕන දේවල් ගැන කතා කරන්නට අපි තීරණය කරා.

ඔයාට ගැලපෙන

අනිවර්යෙන්ම ඔයා ගන්න අත්බෑගය ඔයාට ගැලපිය යුතුමයි. ඒ ගැලපීම කිහිප ආකාරයකින් වෙන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් දේවල් ගොඩක් පාවිච්චි කරන කෙනෙක්නම් තරමක් ඉඩ පහසුකම් තියෙන බෑගයක් වෙන්න ඕන. ඒ වගේම ඔයා අම්මා කෙනෙක් නම් බෑගය තරමක් විශාල වෙන්න උවමනායි. ඔයා ගොඩක් මිටි සහ සිහින් ශරීරයක් තියෙන කෙනෙක් නම් පමණට වඩා ලොකු බෑගයක් පාවිච්චි කිරීම ඔයාගෙ පෙනුමට කැතයි. ඔයා හොඳින් උස මහත කාන්තාවක් නම් අතිශය කුඩා හෑන්ඩ්බෑගයක් එල්ලාගෙන යාම ඔබේ සිරුරට කැතට පෙනේවි. ඒ වගේම ඔයාගේ ඒ ඒ අවශ්‍යතාවයට සරිලන අත්බෑග කිහිපයක් ඔයාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා.

විලාසිතාවට සරිලන

අපි මුලිනුත් කිවුවනෙ අත්බෑගයත් ඔබේ විලාසිතාවේම කොටසක් කියලා. ඉතිං අත්බෑගය පාවිච්චි කරද්දි ඔබේ ඇඳුම් විලාසිතාවට ගැලපෙන්න එය පාවිච්චි කරන එක තමයි ඔබේ විලාසිතාවේ අගය වැඩි කරන්නෙ. ඒ නිසා ඔබේ විලාසිතාවට ඔබේ ඇඳුමේ හෝ ඔබේ පාවහන්වල පාටට ගැලපෙන අත්බෑගයක් ඔබේ විලාසිතාවට අලුත් අගයක් එක් කරනවා. ඒ නිසා ගමනක් යද්දි ඇඳුම ගැන හිතනවා වගේම අත්බෑගයත් ඒකට සරිලන්න තෝරාගන්න තීරණය කරන්න.

භාවිතයට පහසුව

ඇත්තටම අපිට ජීවිතේ ඕනම දේක මුල්ම අවධානය යොමු විය යුතු දේ තමයි පහසුව කියන්නෙ. පහසුව කියන දේට ඉඩ ඇහිරෙනවානම් විලාසිතාව කොයිතරම් උසස් වුනත් වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා ඔයාට පහසුවෙන් යමක් හොයාගන්න පුළුවන් විදියෙ, අත්බෑගයේ සිප් නිතරම ඇඳුමේ නොපැටලෙන විදියෙ, තියුණු අගි​ස් නොමැති අත්බෑගයක් ඔයාගේ තෝරාගැනීම විය යුතුමයි. එහෙම නොවෙනවානම් ඔයාට ලස්සන අත්බෑගයක් තියාගෙන අපහසුවෙන් තමයි ජීවත් වෙන්නට සිද්ධ වෙන්නෙ.

කල් පැවැත්ම

අත්බෑගයකට කල් පැවැත්ම කියන දේ අතිශය වැදගත්. මොකද අත්බෑගය නිතර පාවිච්චි වෙන දෙයක්. පිටතට නිර්වරණය වෙන දෙයක්. පොදු ප්‍රවාහන සේවයේ, කාර්යාල ඇතුළෙ ගැටෙන දෙයක්. නිතරම ඇරෙන වැහෙන, බඩු අස් කරන, පුරවන, වැස්සට හසුවෙන දෙයක්. ඒ නිසා අත්බෑගයේ ගුණාත්මක බව එහෙමත් නැත්තං කොලිටි එක ඉහළ වෙන තරමට එය කල්පවතින ප්‍රමාණයත් වැඩි වෙනවා. 

අමතර කතාවක්අමතර කතාවට කතන්දර බොහොමයක් අදාළයි. දැනටත් ලෝ ප්‍රකට සන්නාමවල අත්බෑග ලාංකීය කාන්තා පාර්​ශවය අතරෙ ප්‍රසිද්ධයි. මෙහෙම ප්‍රසිද්ධ නිසාම බොහෝ අවර ගණයේ නිෂ්පාදන අදාළ සන්නාම සමගින් වෙලඳපොලේ දකින්නට හැකියි. මෙයින් සිද්ධ වෙන්නේ විශාල මුදලක් වියදම් කරලා කල් නොපවතින අත්බෑගයකට ඔබ රැවටීමක්. ඒ වගේම අත්බෑගයකට මුදල් යොදවද්දි ඔබේ අවශ්‍යතාවයත් එක්ක එහි ප්‍රමුඛත්වය හිතලා බලන්න. උදාහරණයකට කාර්යාලයට ගෙනයන්නට ගන්නා අත්බෑගයක් වැඩි මිළක් යෙදවූවත් කමක් නැති ආකාරයේ දෙයක්. හේතුව වෙන්නෙ ඔබ එය නිතර පාවිච්චි කරන අවස්ථාවක්. නමුත් කලාතුරකින් යෙදෙන දුර ගමනකට සරිලන අත්බෑගයක් මිලටගනිද්දි එයට විකල්ප පාවිච්චි කිරීම හෝ වැඩි මුදලක් ආයෝජනය නොකිරීම නුවණට හුරුයි.

Related Articles