Home EducationMotivation සමහරු කියන කතා නිසා ඔයා ආසා දේ නොකර ඉන්න කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් කියවන්න

සමහරු කියන කතා නිසා ඔයා ආසා දේ නොකර ඉන්න කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් කියවන්න

by LADY.LK
Unhappy Life

ඔයා සාමාන්‍යයෙන් සමාජයේ සම්මත වෙලා තියෙන, හැමෝම කතා වෙන විදියට නොඉන්න කෙනෙක් නං ඔයාටත් මේ ප්‍රශ්නය දරුණුවටම දැනෙනවා ඇති. ඒ තමයි අනිත් අය වට වෙලා ඔයාවත් සමාජයේ අනිත් අය විදියටම හැඩගස්වන්න කරන උත්සාහය. මේක සමහරවිට හිත් බිඳීම් ඇති කරවන, අපිව අධෛර්‍යමත් කරවන දෙයක්. ඒ නිසාම අපි මේ විදියෙ අධෛර්‍යමත් කිරීම් අපේ ජීවිතෙන් මගහරින්නට උවමනායි. අපි මේ ලියන්නෙ ඒ විදිය කතා බහට හිත අවනත වෙන එක වළක්වාගන්න ඔයාලට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනයි.

ඇයි ගනං ගන්නෙ?

ඇත්තටම ඇයි අපිව පහළට අදින අයව ගනන් ගන්නෙ? කොහොමත් සාමාන්‍යයෙන් පවතින ක්‍රමයට වඩා වෙනස් වුණු ගමන් වටපිටාවේ මිනිස්සුන්ට අපි මහා වැරැද්දක් කරා වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා තමයි බොහෝ දෙනා අනිකාගෙ ඇඳුම පවා තමන්ට ඕන විදියට හරිගස්සන්න උත්සාහ කරන්නෙ. ඉතිං තවත් අයගෙ විනිශ්චයට හසු වෙයි කියා හෝ අපි මේ දේ නොපිළිගත්තොත් අනිත් අයගේ හිත් රිදෙයි කියලා අපේ ආශාවන් මගහැරගන්න එක අපි අපේ කෙටි ජීවිතයට කරන ලොකු නරකක්. ඒ නිසා යමක් අපිට හොඳද නරකද කියන දේ තීරණය කරලා, වැරදි මතවලට හිස නොනමා ඉන්න පුරුදු නොවෙන තාක්කල් අපිට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න වෙන්නෙ නෑ. 

මේ මොහොතේ පවතින්න

මේ මොහොතේ ඔයාගෙ හිතට සතුටුම දේ මොකද්ද? ජීවිතේ ඉස්සරහ යම් මොහොතක මේ දේ ආයෙත් කරන්න ඔයාට අවස්ථාවක් නොලැබෙන්නට පුළුවන්. සමහරවිට මේ දේ නිසා ඔයාගෙ ජීවිතේට හොඳක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා අනාගතය වෙනුවෙන් වටින පාඩමක් ඉගෙනගත්තා වෙන්නට පුළුවන්. ඇත්තටම ඔයාට ඔයා ගැන උපදෙස් දෙන අය ඔයාගෙ හිත ඇතුළෙ ඇති කරන අනියත බයවල් බොහෝමයක් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි වගේම ඕනම කෙනෙකුට ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන් විදියෙ දේවල්. ඒ නිසා ඒ දේවල් ප්‍රශ්නයක් කරගන්න එපා.

එයාලට අපිව වැඩක් නෑ

අපේ ජීවිතවලට බලෙන් ඇවිත්, අපේ ජීවිත එයාලට ඕන විදියට හැඩගස්වන්න හදන හුඟක් දෙනෙක් අපි වෙනුවෙන් ඉඳීවි කියලා ඔයා හිතනවද? දැන් කසාද බඳින්න, දැන් ළමයි හදන්න, ඇඟ සම්පූර්ණයෙන් වැහෙන්න ඇඳුම් අඳින්න, දැන් රස්සාවෙන් අස්වෙන්න, ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න කියලා ඔයාට කියන අය ඔයාට දැනෙන අපහසුවකදී හෝ ඔයා මුහුණ දෙන අමාරු තත්ත්වයකදී උදවුවට එනවද? අඩුම තරමේ ඔවුන් කියන දේ කරලා ඔයාට වැරදුණු දවසක ඒ අය ඉඳීවිද? අනික අපිට හැමෝවම සතුටු කරන්න බැහැ. ඒ වගේම හැමෝම අපිව සතුටු කරන්නෙත් නැහැ. ඒ නිසා අනුන්ගේ හිත් රිදෙයි කියලා ඔයාගේ ජීවිතයට රිද්දගන්න එපා.

තමන්ව විශ්වාස කරන්න

මේ සටහනේ වැදගත්ම පොයින්ට් එක වෙන්නෙ මේක. ඇත්තටම අපිට අපිව විශ්වාස නම් කොයි කවුරු මොන දේ කිවුවත් ඒකෙන් අපේ ජීවිතයට බළපෑමක් කරන්න ලැබෙන්නෙ නෑ. ඒ ඇයි? අපිට අපිව විශ්වාසයි. ඔයා කරන දේ ගැන සහ ඒකෙන් සිද්ධ වෙන දේ ගැන, තමුන් සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙන කෙනෙකුට වැරදෙන්න තියෙන ඉඩ අඩුයි වගේම වැරදුනත් ආයෙ නැගිටින්න තියෙන හැකියාවත් වැඩියි. අන්න ඒ නිසා තමුන් ගැන විශ්වාසය වැඩි කරගන්න එක මේ ප්‍රශ්නයට හොඳම සාර්ථකම විසඳුම විදියට අපි දකිනවා.

අත දෙන මිනිස්සු

මේ ප්‍රශ්නයට අපිව ශක්තිමත් කරගන්න පුළුවන් තවත් හොඳ විදියක් වන්නේ තමුන් විදියට ජීවත් වෙන වගේම තමුන්ට අත දෙන මිත්‍රයන් ආශ්‍රය කිරීම. එහෙම අය ඔයාව මග දාලා යන්නෙ නෑ වගේම ඔයා මනසින් වැටුනොත් ඒ අය ඔයාව ශක්තිමත් කරාවි. මොකද ඒ අය ඔයාගේ හීනයේ වටිනාකම දන්නවා. සහ ඒ නිතරම අපිව වෙනස් කරන්නට උත්සාහ කරන මිනිස්සු අතරේ ඒ අය අපි කරන දේට උදවු කරනවා. මෙහෙම අය හොයාගන්න අමාරු වුනත් හොයාගන්න බැරි නෑ. 

Related Articles