පොඩ්ඩො අපි හිතනවටත් වඩා ඉක්මනට ලොකු වෙනවා. ඒ ලොකු වෙන පොඩ්ඩො ලොකු ලොකු වැඩ කරන්න හීන දකිනවා. පොඩ්ඩන්ට ඒ හීනවලට යන්න අපි උදව් කරන්න ඕන. ඒ වගේම ඒ පොඩ්ඩො අනතුරක වැටුනොත් බේරගන්නත් අපි ඉන්න ඕන. ඒත් මේ දෙකම එකතු කරන්නෙ කොහොමද? ඒක තමයි ගොඩක් පොඩ්ඩොන්ගෙ අම්මලා තාත්තලාට තියෙන ප්‍රශ්නය. අද අපි මේ සටහන ගේන්නෙ පොඩ්ඩොන්ට පොඩ්ඩන්ගේ වැඩ තනියම කරගෙන ස්වාධීන වෙන්නට ඉඩක් ලබාදෙන ගමන්ම එයාලගෙන් අවධානය බැහැර නොකර අපි එයාලා ගැන හෙවිල්ලෙන් ඉන්නෙ කොහොමද කියන එක ගැනයි. එහෙම නැතුව පොඩ්ඩන්ට තනියම වැඩ කරගන්නට කියලා හිතේ බයෙන් බලන් ඉන්න එක නෙමෙයි. මේ සටහනට අදාළ නිසාම අපි ප්‍රසිද්ධ පොඩි කතාවක් කියලම මේ සටහන පටන් ගන්නම්.
හැම මාසෙකම එයාගෙ ආච්චි අම්මව බලන්න තාත්තයි අම්මයි එක්ක කෝච්චියේ ගමන් කරපු දරුවෙක් හිටියා. ඉතිං දවසක් මේ දරුවා ඇහුවා හැමදාමත් එයාලා පවුලක් විදියට යන නිසාත්, දැන් ඒ පොඩ්ඩා ලොකු නිසාත් එයාට ආච්චි අම්මාව බලන්න තනියම යන්න පුළුවන්ද කියලා. මේ ගැන ඒ පොඩ්ඩාගේ අම්මායි තාත්තායි කතා කරලා එකඟ වුණා. පොඩ්ඩා ආච්චි අම්මාව බලන්න දුම්රියේ යන දවස උදාවුණා. අම්මයි තාත්තායි පොඩ්ඩා ලඟට ඇවිත් පරිස්සම් වෙන හැටි ගැන ගොඩක් දේවල් කියල දුන්නා. ඊටපස්සෙ පොඩ්ඩාව කෝච්චියට නග්ගවලා අම්මයි තාත්තයි ජනේලේ ගාව ඉඳගෙනත් පොඩ්ඩාට කතා කරන්න පටන් ගත්තා. ඉතිං දැන් උපදෙස් ගොඩක් හිතේ තිබුණු නිසා පොඩ්ඩා කිවුවා, දැන් යන්න ඕන විදිය එයා දන්නවා කියලා. ඊටපස්සෙ යන්න හැරෙන්න කලින් පොඩ්ඩාගේ තාත්තා පොඩ්ඩාගේ සාක්කුවට යම් දෙයක් දැම්මා. දාලා කිවුවා මොකක්ම හරි බයක් දැණුනොත් ඒක පොඩ්ඩාට උදවු වෙයි කියලා. ඊට ටිකකට පස්සෙ දුම්රිය ගමන පටන්ගත්තා. පටන් ගද්දි නම් ලොකු අවුලක් නැති වුණාට, වටේම ඉන්න ලොකු මිනිස්සු, තෙරපීම, කෑගැසීම් එක්ක පොඩ්ඩාගේ හිතට බය හිතුනා. මේ අස්සෙ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන මහත්තයාත් ඇවිත් පොඩ්ඩාගෙන් අම්මා තාත්තා කෝ කියල ඇහුවා. පොඩ්ඩාට දුක හිතුනා. ඇස්වලට කඳුළු පිරුණා. බයත් දැණුනා. ඒ මොහොතේ මතක් වුණා තාත්තා සාක්කුවට දාපු දේ. පොඩ්ඩා ඒක අරං බලද්දි ඒකෙ තිබුණෙ කොල කෑල්ලක්. ඒකෙ ලියලා තිබුණා මෙහෙම. “බය වෙන්නෙපා පුතේ. මම ඉන්නවා පිටි පස්සෙ”
ඉතිං ඒ ලස්සන කතාවෙනුත් ආදර්ශයක් අරගෙන අපි පොඩ්ඩෙකුට නිදහසේ ස්වාධීනව හැදෙන්න දෙන්නෙ කොහොමද කියන එක ගැන සටහනට යමු.
පොඩ්ඩාට දැණුම් දෙන්න
පොඩ්ඩාට කෙලින්ම කියන්න ඔයා තවදුරටත් බබෙක් නෙමෙයි කියලා. බබෙක් කියන වචනය ඔය වයසෙ පොඩ්ඩන්ට ගොඩක් තදින් දැනෙන වචනයක්. ඒ නිසාම පොඩ්ඩාට අඟවන්න දැන් පොඩ්ඩා ලොක්කෙක් බව. ඒක පොඩ්ඩාව බය කිරීමක් නෙමෙයි. ධෛර්‍යමත් කිරීමක්. ඒ නිසා ඒ දිරිමත් කිරීමත් එක්ක පොඩ්ඩාට පොඩ්ඩාගේ වැඩ කටයුතුවලින් කොටසක් කරගන්න උනන්දු කරවන්න පුළුවන්.
මොනවද පුළුවන්
පොඩ්ඩාට කරන්නට පුළුවන් කියලා ඔයා හිතන වැඩ ලැයිස්තුවක් හදන්න. ඒ වැඩ ලැයිස්තුව පොඩ්ඩාට පෙන්වන්න. දැන් පොඩ්ඩාගෙන් අහන්න එයාට ඒ අතරෙ තියෙන දේවල්වලින් කරන්න පුළුවන් දේවල්වලට හරියක් දාන්න කියලා. දැන් පොඩ්ඩා දෙන උත්තරත් එක්ක පොඩ්ඩාට තනියම කරන්න වැඩ ලැයිස්තුවක් හදලා දෙන්න. දත් මදින එක, සපත්තු දාගන්න එක, මල් පැළවලට වතුර දාන එක, උදේට ඇහැරුනාම ඇඳ හදන එක, තනියම කෑම කන එක වගේ දේවල් ලැයිස්තුවට ඇතුළු කරන්න.
පීඩනය
මේ දේවල් කරන්න පොඩ්ඩාව පීඩනයට ලක් කරන එක නවත්තන්න. උදේට ඉස්කෝලෙ වැඩ පටන්ගන්න කලින් පිරිසුදු වෙලා, ලස්සනට ඇඳගෙන, කොණ්ඩෙ පීරගෙන ඉන්න පුරුදු කරපු දුවෙකුට වැඩේ පරක්කු වෙද්දි සැර කරන්න එපා. එයාට කොන්ඩය තනිවම පීරාගන්න විනාඩි 10ක් යනවානම් ඔයාට පුළුවන් එයාට මුලින් මුලින් පොඩ්ඩක් උදව් කරන්න, එහෙමත් නැතිනම් එයාව විනාඩි දහයක් කලින් ඇහැරවන්න. මේ විදිය කෙටි ක්‍රමයක් තෝරගෙන පොඩ්ඩාව මහන්සි නොකර ඉන්න.
ලේසි ක්‍රම
පොඩ්ඩාට ලේසිය පහසුව කියන දේ ගැන අදහසක් දෙන්න. හැමදේම ලේසියෙන් කරන්න හුරු වෙන එක වෙලාව ඉතුරු කරන මහන්සිය අඩු කරන දෙයක් බව පොඩ්ඩාට අඟවන්න. කිළුටු වුණු ඇඳුම් එවෙලේම washing machine එකට දැම්මාම, ගොඩක් උස්සගෙන ගිහින් පස්සෙ පුරවන්න තරම් කරදර වෙන්න ඕනෙත් නෑ වගේම දාඩිය, වතුර සහ කුණු දූවිලි නිසා ඇඳුම්වල හැදෙන දුඟද නිවස පුරා පැතිරෙන්නෙත් නෑ කියන එක පොඩ්ඩාට කියා දෙන්න.
හොඳම විදිය
පොඩ්ඩා දෙයක් කරද්දි ඒකෙන් ඔයා කරන තරමටම quality එකක් බළාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා තනියම cereal දාගනිද්දි ඉහිරුණු කිරි, හරියට නොපීරපු කොණ්ඩෙ, බාගෙට ඇඳපු ෂර්ට් වලට පොඩි සමාවක් දෙන්න. ඒවා ඔයා අතින්ම හදන්න. ඒවා හදාග්නන කියලා එයාලට බල නොකර ඉන්න. එයාලා තනියම කරපු වැඩේ වටිනාකමක් දැනෙන්නෙ එතකොටයි.
වැරැද්දත් අගයන්න
පොඩ්ඩා වැරදියට කරපු දේ පවා අගයන්න පුරුදු වෙන්න. උදාහරණයකට පොඩ්ඩා සපත්තු කකුල් දෙක මාරු කරලා දාගෙන නම්, අපෝ ඔයා කකුල් වැරදියට දාලා තියෙන්නෙ කියනවා වෙනුවට… ලස්සනයි පුතේ, ඔයා හරිම හොඳයි. තනියම සපත්තු දාගන්න පුරුදු වුණා නේද කියලා අගයන්න. ඒ වගේම ඒ වැරැද්ද ඔයා අතින්ම හදන්න. මීටපස්සෙ සපත්තුවට දාන්න නිවැරදි කකුල තෝරාගන්න විදිය කියලා දෙන්න.
හදිස්සි වෙන්න එපා
දැන් මේ සටහන කියවලා කෙලින්ම ගිහින් පොඩ්ඩාට වැඩ කරන්නට අණ දෙන්න එපා. පොඩ්ඩාගේ අපහසුතා අඳුනාගන්න. පොඩ්ඩා තරමක් මහන්සි වෙලා ඉස්කෝලෙ වැඩ කරන කාලෙක නම් මේ වැඩ පොඩ්ඩක් කල් දමන්න. පොඩ්ඩා අසනීපයෙන් නම්, පොඩ්ඩා මොකක්හරි දේකට හිතේ දුකෙන් නම් ඒ වගේ වෙලාවක මේ වැඩවලට බල කරන්න එපා. මුලින්ම ඔයාගෙ වැඩවලට උදව් කරගන්න විදියට ලඟට අරගෙන හෙමින් කියලා දෙන්න.