Home Health & WellnessPhysical Wellbeing වතුර බීලා විතරක් මදියි. මේ ගැනත් දැනගන්න

වතුර බීලා විතරක් මදියි. මේ ගැනත් දැනගන්න

by LADY.LK

අපි කොයිතරම් වතුරද? වචන වැරදුනා කියලද හිතුවෙ? නෑ මම ඇත්තටමයි ඇහුවෙ. අපි කොයිතරම් වතුරද? ජීවවිද්‍යාත්මක දත්ත වලට අනුව මිනිසා සියයට 60ක් පමණ ජලයෙන් හැදිලා තියෙන බව කියැවෙනවා. මොළය සහ හදවත සියයට 73ක්, පෙනහළු සියයට 83ක්, සම සියයට 64ක්, වකුගඩු සියයට 79ක් ජලයෙන් සෑදී ඇති බව පැවසෙනවා. එපමනක් නොව අපි කවුරුත් විශ්වාස නොකරන අපගේ ඇටකටු පවා සියයට 31ක් ජලයෙන් සැකසී ඇති බවයි කියන්නේ. නමුත් මේ සටහනෙන් ඔබට කියන්නේ අපි තුළ කොයිතරම් ජලය තියෙනවාද කියන එක නෙමෙයි. මේ සටහන ඔබත් මාත් දිනපතා පානය කරන ජලය ගැන සටහනක්. වතුර බොන එක අපේ ඇඟට ගුණදායක බව අපි හැමෝම දන්නවා. ඒත් ඒ කොහොමද? සහ ජලය ගැන වෙනස් කතා කිහිපයක් තමයි මේ සටහනට එක් වෙන්නේ.

අපිට නැතුව බැරි දේවල්වලින් ජලයට අයිති වෙන්නෙ දෙවැනි තැන. අංක එකට අපේ සිරුරට අත්‍යවශ්‍යම දේ වෙන්නෙ ඔක්සිජන්. අපිට ඔක්සිජන් නැතුව සුළු මොහොතකට වඩා දිවි ගෙවන්න අපහසු වුණත්, අපට ජලය නොමැතිව දින කිහිපයක් ගත කරන්නට පුළුවන්. ඒ කොහොමද? ඒ අපි මුලින් කියපු අපේ සිරුර තුළ අඩංගු විශාල ජල ප්‍රමාණය නිසායි. කොහොම වුණත් අපිට ආහාර නොමැතිව සති ගණනක් ජීවත් විය හැකි බවයි පැවසෙන්නේ. 

ජලය අපේ සිරුරට වැදගත් වෙන්නේ ඇයි?

අපේ සිරුරේ සෑම සෛලයකම ජලය අඩංගු වෙනවා. ඒ වගේම ජලය නිසා අපේ සිරුරේ ශක්ති සංසරණය සිද්ධ වෙනවා. ඒ පෝෂ්‍ය පදාර්ථ, ඔක්සිජන්, සහ අපද්‍රව්‍ය නිසි ලෙස සංසරණය කිරීම ජලය නිසා සිදු වෙනවා. ඒ වගේම තවත් සුවිශේෂ කරුණක් වන්නේ ජලය අපගේ සිරුර සිහිල් කරවීමයි. සාමාන්‍යයෙන් සමකය ආශ්‍රිතව ජීවත් වන අපට එය වැඩිපුර දැනෙනවා. සිරුරේ උෂ්ණත්වය පාලනය කරමින් ජලය අපගේ සිරුර සිහිල්ව තබනවා. ඒ වගේම ජලය නිසා අප​ගේ සිරුරේ සන්ධි අතර ඝර්ෂණය අවම කරනවා. මේ නිසාම අපගේ පටක ඇතුළු අභ්‍යන්තරික ශරීර කොටස් ඉරීමට හෝ ආබාධවලට ලක්වීමට ඇති ඉඩ වැළකෙනවා. ඒ වගේම කම්පනයක් වුවත් දරාගන්නට හැකි ලෙසින් ජලය නිසා අපගේ අභයන්තරික අවයවයන්ට ශක්තිය ලැබී තිබෙනවා.

එපමනක්ද?

නෑ එපමනක් නොවෙයි. අපේ රුධිරයත් සියයට 90ක්ම පිරී ඇත්තේ ජලයෙන්. ජලය ලිහිසිකාරකයක් විදියට අපේ සිරුර තුළ ක්‍රියා කරනවා. ඇටකටු සන්ධි ලෙසින් ක්‍රියාකරද්දි නැමීම් සහ දිගහැරීම් වලදී හානි නොවන්නට එය උපකාරී වෙනවා. ඒ වගේම අපගේ ආහාර ජීර්ණ පද්ධතිය පණ ගන්වන්නටත් ජලය ඉවහල් වෙනවා. නාසය, උගුර සහ ඇසේ ක්‍රියාකාරීත්වයටත් ඛේඨය මෙන්ම අවශ්‍ය තෙතමනය පවත්වා ගන්නටත් එය උපයෝගී වෙනවා. ඒ සියල්ලටම සිරුරේ බර නිවැරදිව වඩා සමබරව පවත්වා ගන්නටත් ජලය එක ලෙසින්ම උපකාරී වෙනවා. 

ජල​ය පිටවීම

දිනකට කොපමණ ජලය අපගේ සිරුරෙන් පිටවෙනවාද කියා ඔබ දන්නවාද? එය සාමාන්‍යයෙන් ජල කෝප්ප 8 – 12 අතර ප්‍රමාණයක් බවයි කියැවෙන්නේ. දාජිය ලෙසින්, මූත්‍රා ලෙසින්, සේම සම සහ පෙනහළු හරහා වාෂ්ප ලෙසින්ද ජලය ඉවත් වෙනවා. ඔබ ක්‍රියාශීලී පුද්ගලයෙකු නම්, ව්‍යායාම කරනවා නම්, ක්‍රීඩාවක නියැලෙනවානම්, උෂ්ණාධික පරිසරයක කල් ගත කරනවානම්, තන්තුමය ආහාර අධික ලෙස ලබා ගන්නවා නම්, කැෆේන් හෝ ඇල්කොහොල් අඩංගු පානයන් වැඩිපුර සිරුරට ලබා ගන්නවා නම් ඔබේ සිරුරෙන් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා ජලය ඉවත් වීමක් සිදු වෙනවා. ඒ නිසාම ඔබ මේ තත්ත්වයන්ට යටත් නම් සිරුර නිරෝගීව පවත්වා ගැනීමට වැඩිපුර ජලය පානය කිරීම යෝග්‍යයි.

නියමිත ප්‍රමාණය

ඔබේ සිරුරට ලබාගත යුතු වතුර ප්‍රමාණය සැමට එක ප්‍රමාණයක් වන්නේ නෑ. සාමාන්‍යයක් ලෙසින් නොයෙක් තැන්වල නොයෙක් අගයන් සඳහන් වුණත් එය ඔබේ සිරුරේ බර අනුව වෙනස් වෙනවා. එය සලකන්නේ, මිනිස් සිරුරේ බරෙන් 1/30ක කොටසක් ලෙස ජලය දිනකට පානය කළ යුතු බවයි. එම ප්‍රසිද්ධ වෛද්‍ය නිර්දේශය අනුව ඔබ කිලෝග්‍රෑම් 60ක අයෙකු නම් ඔබ ලීටර් 2ක් ජලය පානය කළ යුතුයි. එය ඔබ ඔබේ සිරුරේ බර අනුව විසඳාගත යුතු දෙයක්. ඔබ කිලෝග්‍රෑම් 90ක් බරයි නම් එය ලීටර් 3ක් දක්වා ඉහළ යනවා.

ජලයේ කැලරි ප්‍රමාණය සටහන් වන්නේ බින්දුවක් ලෙසයි. ජලය පානය කිරීම ඔබට තරමක් මගහැරෙන දෙයක් නම් හෝ ඔබට එයට ආසාවක් නැතිනම් ලෙමන් පෙත්තක් හෝ දෙහි පෙත්තක් යෙදූ ජලය පානය කිරීම වෙනස් රසවත් බවක් එක් කරාවි. ඒ වගේම බොහෝ අය පිපිඤ්ඤා පෙති යෙදූ ජලයද සිසිල් කර පානය කරනවා. පිපිඤ්ඤා, පැනි කොමඩු, තක්කාලි, ලෙටූස්, ග්‍රේප්ස්, බෙල්පපර්, සහ ​දොඩම් වැනි එළවළු සහ පළතුරුවල වැඩි වශයෙන් ජලය අඩංගු බවයි පැවසෙන්නේ. ඒ නිසා එවැනි එළවළු පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම මගින් ජලය පානය කිරීමේ අවශ්‍යතාවයත් සපිරෙනවා. එසේම අයිස් කැට සහ පළතුරු බ්ලෙන්ඩ් කිරීමෙන් ජලයද පිරි, රසවත්, සීනි අවම, සිරුරට සිසිල් පානයන් පහසුවෙන් සකසා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. 

අවසාන සටහන

ඔබට පිපාසය දැනෙන තුරු සිටින්න එපා. හැකි තරම් පිපාසය නොදැනෙන ලෙස පුරුද්දකට ජලය පානය කරන්න. හැකි සෑම තැනකටම වතුර බෝතලයක් ගෙන යන්න. මෝටර් රථයේ, කාර්යාල මේසයේ, නිදන ඇඳ අසල, බෑගයේ, වතුර බෝතලයක් තබාගන්න.

Related Articles