නිතර දෙවේලේ හදන බැදුම් වලට අමතරව බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් බැදුම ගැන අපි කියලා දෙනවා මේකට කියන්නේ රටකජු ලූනු බැදුම කියලා ඉතින් හදාගන්න ආකාරය ගැන වගේම අවශ්‍ය ද්‍රව්‍යත් අපි පහතින් සඳහන් කරනවා.
රටකජු ලූණු බැදුමත් මාස තුන හතරක් තියාගන්න පුලුවන් බැදුමක්. රැකියාවට යන ගෘහණියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
උදේට නැගිටින්න වෙලාගිය දවසට පොල් සම්බෝලයක් හදලා මේ බැදුමෙන් ටිකක් දාලා බත් මුල බදින්න පුලුවන් . ගෙදර ඉන්න දවසට පපඩමක් බැදලා කුඩු කරලා මේ බැදුමෙන් ටිකක් දාලා කලවම් කරලා වෙනස් විදිහට කන්න ගන්නත් පුලුවනි .
අවශ්‍ය දේවල් : –
බී ලූනු 250g රටකජු 1 cup උම්බලකඩ 100g කරපිංචා 1 cup කඩල පරිප්පු 4 tbs මිරිස් කුඩු 2 tsp සීනි 2 tsp දෙහි බෑවක යුෂ රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය : –
බී ලූනු තරමක් ලොකූවට කපන්න . කපා ගත් ලූනු ටිෂූ එකක් මත අතුරා තියන්න තෙත ගතිය නැතිවෙනකම් . කරපිංචා සෝදා සුරාගෙන කිචන් ටවල් එකක් මත හෝ ටිෂූ එකක් මත අතුරා තියන්න වෙලෙනකම්.
රටකජු පොතුහැර සුද්ද කරන්න .
උම්බලකඩ තරමක් පොඩි කෑලි වලට කුඩු කරන්න .
තෙල් තාච්චිය ලිපෙන් තියා අඩුගින්දරේ රත් කරන්න .
රත් වූ තෙලේ බී ලූනු බදින්න . මුලින්ම විනාඩි 3 බැද පසුව නැවත පාරක් රන්වන් පාටට බැද ගන්න .
රටකජු ටික හා කඩල පරිප්පු වෙන වෙනම බැද ගන්න . ගොඩක් බදින්න එපා කරවෙයි. යන්තමට බැදුන විට ගන්න . රස්නෙට තවත් බැදෙනවා.
උම්බලකඩ ටිකත් යන්තමට බැද ගෙන ලූනු හා රටකජු එකටම දාන්න .
අන්තිමට කරපිංචා ටිකත් තෙලට දාලා ඒ සැනින්ම ගන්න .
දැන් මේ සියල්ලම එකම කඩදාසියක ඔතා විනාඩි 15 පමණ තියන්න .
තාච්චියේ තෙල් චූට්ටක් තියා අනිත් තෙල් අයින් කර ඒ තෙල් ටික නැවත අඩූ ගින්දරේ රත් කරන්න .
දැන් ඒකට මිරිස් කුඩු දාන්න . ලුණුත් දාන්න . කලවම් කර සීනි දාන්න . නැවත කලවම් කරන්න .
දෙහි ඉස්ම ටික දාන්න .කලවම් කර අපි බැදගත් සියලුම දේ දාලා ඔක්කොම හොඳට මික්ස් වෙන්න කලවම් කරන්න . මේ ටික කරන විට අත ඉක්මන් කරලා ඉක්මනට … ඉක්මනට කරන්න ඕනෙ . නැතිනම් මිරිස් මිශ්‍රණය පිච්චිලා කලුවෙලා යනවා .
නිවුන පසු බෝතලයකට දාගන්න . මේ බැදුම මාස තුන හතරක් තියාගන්න පුලුවනි .