සිංහල සහ හින්දු ජනයා තමන්ගේ අලුත් අවුරුදු උදාව යෙදෙන මාසය විදියට සළකන්නේ නොබෝ දිනකින් එළඹෙන බක් මාසයයි. ඉතින් මේ තරමට ම වැදගත් උත්සවයක් ගැන, විශේෂයෙන් ම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන විස්තර ටිකක් දැනගෙන හිටියට පාඩුවක් නෑනේ. එහෙනම් lady.lk අපිත් එක්ක එකතුවෙලා සූර්ය මංගල්‍යය ගැන තොරතුරු ටිකක් හොයලා බලමු ද?
අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් මාසයේ ද
ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල විදියට ජීවත් වුණු අපේ පැරැන්නන් ස්වභාව ධර්මයටත්, දෙවියන් බුදුන්ට හා සමානවම ආදර ගෞරවයක් දැක්වූවා. කරදරයකින් බාධාවකින් තොරව ඔවුන්ගේ ජීවිකාව රැකගන්නට නම් ස්වභාව ධර්මයේ පිහිට අත්‍යවශ්‍ය ම වීම මීට මූලිකවම හේතු වුනා. කන්නයක් පුරාවට වෙහෙස වෙලා උපයා ගත්ත අස්වැන්නේ ප්‍රීතියත්, එයටම ඔබින සුන්දර කාලගුණික තත්ත්වයත් නිසා වසරේ සශ්‍රීකම කාල වකවානුව විදියට ඔවුන් සැළකුවේ බක් මාසයයි. ඉතින් දුකක් කරදරයක් නැති, අටකොටු පිරී ගිය මේ සුන්දර මාසය උත්සවශ්‍රීයෙන් සමරන්නට ඔවුන් පෙළඹීම අරුමයක් නෙවෙයිනේ නේද?
නව සඳ බැලීම
උදාවූ නව වසර දුකක් කරදරයක් නැති වාසනාවෙන් පිරුණු සුබ වසරක් වේවා කියන ප්‍රාර්ථනය හිතේ තියාගෙන සිදු කරන නව සඳ බැලීම තමයි අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය විදියට සැළකෙන්නේ. ඒ වගේම තමයි, පරණ අවුරුද්දත්, නව වසරත් සඳහා දෙවරක් නව සඳ බැලීම සිදුවූ බවටත් කරුණු සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් 3 වැනි ඉරිදා දිනයේත්, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 5 වැනි බ්‍රහස්පතින්දා දිනයේත් නව සඳ බලනු මැනවි කියලා තමයි මේ වසරේ නැකැත් සීට්ටුවේ සඳහන් වෙලා තියෙන්නේ.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
සුපිරිසිදු බවට මුල් තැන දෙමින් සහ කායික මානසික සුවය ප්‍රාර්ථනා කරමින් උදාවන නව වසර පිළිගැනීම වෙනුවෙන් ස්නානය කිරීම ඊළඟ චාරිත්‍රය වනවා. මේ වසරේ නැකැත් සීට්ටුවට අනුව, අපේ‍්‍රල් මස 12 වැනි බ්‍රහස්පතින්දා දිනයේදී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි කියලා තමයි සඳහන් වෙන්නේ.
අලූත් අවුරුදු උදාව
2022 වසරේ අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08. 41 තත්පර 17 ට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදා වන බව සඳහන් වෙනවා. ජ්‍යොතිෂයට අනුව සූර්යයා රාශි 12 හරහා ගමන් කිරීම තමයි සම්පූර්ණ වසරක් ගතවීම විදියට හඳුන්වන්නේ. රාශි 12න් ආරම්භක රාශිය මේශ වන අතර අවසාන රාශිය මීන රාශිය වනවා. ඉතින් සූර්යයා රාශි 12 ම ගමන් කරලා මීන රාශියේ සිට නැවතත් මේශ රාශියට ගමන් කිරීම තමයි මෙහිදී අලුත් අවුරුදු උදාව විදියට සළකනු ලබන්නේ.
නොනගතය
ඉතින් සූර්ය්යාට මේ විදියට රාශි දෙක අතර හුවමාරු වීමට යම් කාල සීමාවක් ගතවෙනවානේ. නව වසරට හෝ ගෙවුණු වසරට අයත් නැති මේ කාල සීමාව හඳුන්වන්නේ සූර්ය සංක්ර්රාන්තිය විදියටයි. ඒ වගේම තමයි, මේ කාලය නොනගතය, එහෙමත් නැත්නම් පුණ්‍ය කාලය විදියටත් හඳුන්වනවා. සාමාන්යෙන් බෞද්ධයින් නොනගතය අතරතුර පුණ්‍ය කටයුතුවල යෙදීම තමයි සිදු කරන්නේ. අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග (උදෑසන) 02.17 තත්පර 17 සිට එදින අපර භාග (සවස) 03.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 02.17 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි කියලා නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා. ඉන් පසුව එළඹෙන පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වා (අවුරුදු උදාවෙන් පසුව) කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ක්‍රම ඉටු කිරීම ද මැනවි කියලත් සඳහන් වෙනවා.
ලිප ගිනි මෙළවීම
අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි කියලා තමයි මෙවර නැකැත් සීට්ටුවේ සඳහන් වෙන්නේ. ඕනෑම නිවසක ජීවනාලිය විදියට සැළකෙන්නේ මුළුතැන්ගෙයනේ. මේ නිසා අලුත් අවුරුද්දේ පිසෙන මුල්ම කිරිබත සුබ නැකතකට අනුව උත්සවාකාරයෙන් පිසීමට අපේ පැරැන්නෝ නිතරම උත්සහ දැරුවා. අලුත් ලිපක් බැඳලා, අලුත් මැටි මුට්ටියක කිරි උතුරවලා, නව වසර කිරියෙන් පැණියෙන් උතුරන්න කියලා ප්‍රාර්ථනා කරමින් වසරේ සිදුකරන මුල්ම ලිප ගිනි දැල්වීමේ සිරිත අදටත් රැකිලා තියෙන්නේ මේ නිසාමයි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි කියලා මෙවර නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා. අදාළ සුබ නැකතේදී, තමන්ගේ අනාගත අභිවෘද්ධියට හේතුවන යම් වැදගත් කාර්යයක් සිදු කිරීම වැඩ ඇල්ලීම නමින් හැඳින්වෙනවා. අධ්‍යාපනික කටයුතු, ගෙදරදොරේ වැඩ කටයුතු හෝ තමන්ගේ රැකියාවට අදාළ කාර්යායන් තමයි බොහෝ දුරට මේ කාලය ඇතුළත සිදු කෙරෙන්නේ. ඉන් පසුව තමන් කැමති පුද්ගලයින් සමඟත්, නිවසට පිරිසිදු ජලය සපයන ලිඳ සමඟත් ගනුදෙනු කිරීමට පැරැන්නන් හුරුවෙලා සිටියා. ලිඳට තඹ කාසියක්, අඟුරු කැටයක්, පිරිසිදු මල් කිහිපයක් දමා කෘතගුණ දක්වා වතුර කළයක් පුරවා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා. අවසානයට වැඩිහිටියන්ට බුලත් දී වැඳීම, වැඩිහිටියන් විසින් තෑගි බෝග ලබා දීම, කිරිබත් රසකැවිලි කැවීම, සියලු දෙනා එක්ව ආහාර ගැනීම සහ අසල් වැසියන් වෙත කැවිළි පිඟන් යැවීම සිදු කෙරෙනවා.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 වෙනි ඉරිදා දින උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි කියලා 2022 නැකැත් සීට්ටුවේ සඳහන් වෙලා තියෙනවා ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සම්පත් ප්‍රාර්ථනා කරමින් හිසෙහි ආලේප කරන හිසතෙල් සහ නානු සකස් කෙරෙන්නේ ගමේ විහාරස්ථානයේදියි. හිසතෙල් ගෑමෙන් පසු නානු ගා ස්නානය කිරීමෙන් මේ චාරිත්‍රය සම්පූර්ණ කෙරෙනවා.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
සියලුම අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරලා, දින කිහිපයක් විවේකී සුවයෙන් ගතකලාට පස්සේ අවසානයේ සුපුරුදු පරිදි රැකියා සඳහා පිටත්වෙන්නට තියෙන්නේ අප්‍රේල් මස 18 වන සඳුදා දිනයේදියි. උදේ 06.51 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් වීම මැනවි කියලා තමයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙලා තියෙන්නේ.