Home Health & WellnessPhysical Wellbeing හදවත නතර වෙන්න යනබව කල්තියා දැන ගන්නේ කොහොමද?

හදවත නතර වෙන්න යනබව කල්තියා දැන ගන්නේ කොහොමද?

by LADY.LK

හදවත තුළ සිදුවන්නේ කුමක්ද? හදිසියේ එය නතර වන්නේ කෙසේද? යන්න පිළිබඳව කල්තියා දැනගෙන සිටීම කෙදිනකදි, කාට වුවද ප්‍රයෝජනවත් විය හැකිය.

කාර්යාලයක සේවයේ නියුතු සේවක මඩුල්ලක් එහි විවිධ වූ රාජකාරි බෙදා වෙන්කොට ගනිමින් සේවයේ නියුතුව සිටින්නේ යම් සේද, අපේ ශරීරයේ විවිධ වූ ස්ථානවල ඇති විවිධ අවයවයන්ද විවිධ වූ රාජකාරි බෙදා වෙන්කොට ගෙන නිරන්තර සේවයක යෙදී සිටී. සේවක මඬුල්ලක සියලු දෙනාගේ අවශ්‍යතාවයන් බොහෝ විට සමානය. ඒ සියලු දෙනාම ‍පෝෂණය, නඩත්තුව, ආරක්ෂාව බලා‍පොරොත්තු වන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාවයද සෑම දෙනාටම ‍පොදුය.

එලෙසම අපේ ශරීර අවයවයන්ද විවිධ වූ රාජකාරින්හි නිරත වී සිටියද ඒ සියලු සත්කාර ඒවාද ඒ ආකාරයෙන්ම බලා‍පොරොත්තු වෙති. අපේ ශරීර අවයවයන්ට ඒ සත්කාර සපයා දෙන්නේ ශරීරය පුරා දිවෙන ‍ලේ දහරාව විසිනි. ‍ලේ දහරාවේ එම ගමනාගමනයේදී විවිධ දේ ‍ලේ විසින් සිදු කරනු ලබයි.

බඩේ සිට සෑම තැනකටම ‍පෝෂණය බෙදා හරින්නේද පපුවේ සිට මුළු ශරීරය පුරාම ඔක්සිජන් බෙදා පිටකර හරින්නේද එම ‍ලේ දහරාවයි. විවිධ අවයවයන් පිටකරන අපද්‍රව්‍ය වකුගඩු කරාගෙන යා යුතු අතර ඒ සියල්ල සෑම තැනකටම බෙදා හරින්නේද ‍ලේවල දිය කිරීමෙන් පසුවය.

මේ සියලු කාර්යයන් ඉටු කරන්නට ලීටර් පහක් පමණ වූ ‍ලේ ප්‍රමාණයක් විනාඩියක කාලයක් සඳහා අවශ්‍ය වේ. මෙම ‍ලේ ප්‍රමාණය පරිවහනය කරන්නට අවශ්‍ය කරන තල්ලුව සපයන්නා වන්නේ හදවතයි. නමුත් එය කරාමයක් ඇරි පමණින් එක දිගට ජලය ගලා එන්නාක් මෙන් සිදුවන රුධිරය ගලා ඒමක් නොවේ.

එහි ක්‍රියාපටිපාටිය නළ ළිඳක ක්‍රියාවලියට සම කළ හැකිය. මෙම තල්ලුව සැපයෙන්නේ විටින්විට හදවත ගැස්සෙන රිද්මයානුකූලවයි. මෙම තල්ලුව හේතුවෙන් ප්‍රධාන ධමනි පද්ධතියෙන් පිටතට ‍ලේ පිටත් කර හරිනවාසේම ප්‍රධාන ශිරා පද්ධතියද ශරීරයෙන් ‍ලේ ලබා ගැනීම සිදු කරයි. මෙම ‍ලේ තල්ලුව අඩපණ වුවහොත් පෙර කී ක්‍රියාවලි දෙකම නතර වීම සිදුවේ.

ඉදිරි තල්ලුව දුර්වල වූ විටදී මොළයට ලැබෙන ‍පෝෂණය අඩුවී තත්පර කිහිපයක් තුළදී රෝගියා ක්ලාන්ත වී ඇද වැටෙනු ඇත.

ශිරා පද්ධතිය ‍ලේ භාර ගැනීම ප්‍රතික්ෂේප කළ විටදී කකුල්වලදීම ‍ලේ තදවී කකුල් ඉදිමෙන්නට පටන් ගනී.
හදවත වම් පැත්ත සහ දකුණු පැත්ත ලෙස වෙන්වී ඇත්තේ ඒ මැද ඇති බිත්තියකින්ය. වම් පස කුහරය ‍ලේ පිටකිරීම සිදු කරද්දී දකුණු පැත්තෙන් ‍ලේ භාර ගැනීම සිදු කරයි.

එලෙස දකුණු පැත්තෙන් භාරගත් ‍ලේ ඉන්පසුව යැවෙන්නේ පපුව දෙපැත්තේ ඇති පෙණහලු වෙතටයි. එසේ සිදු කරන්නේ හුස්ම මගින් පපුව තුළට ඇදගත් වතය සමග මිශ්‍රකර ඔක්සිජන් ‍ලේවලට මුසු කිරීම සඳහාය. ‍ලේවලට බබළන රත් පැහැයක් හිමි වන්නේ එලෙස එම ‍ලේ ඔක්සිජන් සමග මිශ්‍ර වූ පසුවය.

ඔක්සිජන් එකතු වූ ‍ලේ ඊළඟට හදවතේ වම් පැත්තට ගමන් කරයි. ඒ එම ‍ලේ ශරීරය පුරා පිටත්කර හැරීමටය. එහෙත් එම ‍ලේවලට හදවතේ වම් පැත්තට ඇතුළු වන්නට අපහසු නම් පෙණහලු කරා පැමිණි ‍ලේ පෙණහලු තුළම තදවෙමින් රැඳී පවතී. එවිට රෝගියාට හුස්ම ගැනීම අපහසුවේ.

මුලින්ම මෙම තත්ත්වය රෝගියා යම් කාර්යයක නියැලී සිටින විටදී පමණක් පැවැතියද ටිකෙන් ටික උත්සන්න වන විටදී විවේකීව සිටින්නටත් අපහසුවේ. එවිට කෙළින් සිටගත් විට යම් පහසුවක් දැනුණද වැතිරී සිටින විට පපුව තව තවත් තද වන්නට පටන් ගනී.

මෙලෙස ශරීරය පුරා ‍පෝෂණය බෙදා හරින හදවතද නඩත්තු නොවී බැරිය. එහෙත් එය සිදු වන්නේ වෙනස්ම ආකාරයකටය. නිතර මුදල් අතපත ගාමින් සියලු දෙනාට පඩි ගෙවන නිලධාරියාටද යම් වැටුපක් අවශ්‍යය. එලෙසම හදවතේ පේෂිවලටත් ‍ලේ සපයන්නට වෙනමම ප්‍රධාන නහර තුනක් ඇති අතර ඒවා හදවත වටේ විහිදී පවතී.

මෙම නහර යම් හෙයකින් තෙල් බැඳී අවහිර වූ විටදී පපුව මැදින් වේදනාවක් ඇතිකරවිය හැකිය. පුටුවක වාඩි වී මෙය කියවන කෙනෙකුට කිසිදු වේදනාවක් හට නොගත්තද ඇවිදින විටදී පපුව මැදින් තද කරන්නාක් බඳු වේදනාවක් ඇති කරවිය හැකිය. මෙම පසුබිම ඔබට සරලව මෙසේ පැහැදිලි කර දිය හැකිය.

අඩු පඩියට අඩුවෙන් වැඩ කර ගත්තද එම අඩු පඩිය තවත් කප්පාදු කර වැඩ ප්‍රමාණයද තවත් වැඩි කළහොත් එය ඔරොත්තු දෙන තත්ත්වයක් වේවිද? හදවතට ‍ලේ සපයන නහර තෙල්වලින් අවහිර වූ විට උද්ගත වන්නේ් එබඳු තත්ත්වයකි.

සමහර රෝගීන්ට විටින්විට හටගන්නා පපුවෙ ගැස්මක් පැවැතිය හැකිය. එම ගැස්ම හටගන්නා ආකාරය දැන් අපි සොයා බලමු.

නළ ළිඳක ක්‍රියාවලියක් ආකාරයට හදවත ක්‍රියාත්මක වන්නේ විටින්විට ගැස්සි ගැස්සී වුවද එය සිදු වන්නේ යම් විධානයකට අනුකූලවය. මෙම විධානය නිකුත් කරන්නේද සියුම් විදුලියක් ආකාරයටයි. එම විදුලිය හදවත පුරා ගමන් කරන්නේ විටින්විට වුවද ඒ තුළ නිශ්චිත පිළිවෙළක් පවතී.

මෙම විදුලි පද්ධතියේ යම් දුර්වලතාවයක් ඇති වුවහොත් පෙර කී ගැස්ම සිදුවන්නේ ඊට හුරුපුරුදු පිළිවෙළට නොවේ. වෙනදා නැති ආකාරයට අපිළිවෙළකට සිදුවන මෙ දෙය පපුවේ ගැස්මක් ආකාරයට රෝගියාට දැනෙන්නට පිළිවන.

මේ ආකාරයට හදවත යම් මොහොතකදි නතර වන්නට පෙරාතුව ඉඟි පහක් මගින් ඔබට ඒ බව කල්තියා දැනුම් දෙන්නට පිළිවන. හදිසියේ හට ගන්නා ක්ලාන්තයක් ආකාරයට පාද ඉදිමීමක් ලෙස, හුස්ම ගැනීමේ අපහසුවක් ආකාරයට, පපුවේ වේදනාවක් ලෙස හෝ පපුවේ අමුතු ගැස්මක් විදිහට හදවතේ බරපතළ රෝගී තත්ත්වයක් ඔබට කියා පාන්නට පිළිවන.

එවැනි තත්ත්වයන් “හිටගෙන ඉඳලා කකුල් ඉදිමිලා” කියා හෝ “අද ගොඩක් මහන්සි වුණා ඒක වෙන්න ඇති” කියා හෝ එය නොසලකා හරින්නට පෙරාතුව මේ ඉඟිය හදවත නතර වන්නට පෙර සිදුකරන අනතුරු ඇඟවීමක් දෝයි සිතීම වඩාත්ම උචිතය.

උත්පලා සුභාෂිනී ජයසේකර

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

 

Related Articles