Home Health & WellnessPhysical Wellbeing පියයුරු පිළිකා අවදානම අවම කරගන්නේ කෙසේද?

පියයුරු පිළිකා අවදානම අවම කරගන්නේ කෙසේද?

by LADY.LK

ලොව පුරා කාන්තාවන්ට බහුලව ම වැළඳෙන පිළිකා වර්ගයක් වන පියයුරු පිළිකා පිළි​බඳව දැනුවත් වීමේ දිනය ඔක්තෝබර් මස විසි එක් වෙනිදාට යෙදී තියෙනවා. ඒ වෙනුවෙන් ලියැවෙන ලිපි පෙළක දෙවැන්නයි මේ. 

පියයුරු පිළිකා පිළිබඳ ස්වයං පරීක්ෂාව සිටගෙන, නිදාගන්නා ඉරියව්වෙන් හෝ ස්නානය කරන අවස්ථාවල දී සිදුකිරීමේ හැකියාව තියෙනවා. සැහැල්ලු ලෙස අත එහා මෙහා ගෙනයමින්, මධ්‍යම ප්‍රමාණයේ තෙරපුමක් යොදමින් සහ ගැඹුරු තෙරපුමක් යොදමින් ලෙස තුන් ආකාරයකින් සිදුකරන මේ පරීක්ෂාවේ දී පියයුරේ ඉහළ සිට පහළටත්, තන පුඩුවෙන් පටන් ගෙන පියයුර වටේට දක්ෂිණාවර්තවත් (clockwise), තන පුඩුවෙන් පටන්ගෙන ඉවතටත් වශයෙන් සම්පූර්ණයෙන් පරීක්ෂා කළයුතු වෙනවා. මෙම පරීක්ෂාවේදී පියයුරේ වේදනාවක්, යම් ඝන බවක්, ගැටිත්තක් (වේගයෙන් වර්ධනය වන සහ එහා මෙහා චලනය නොවන), කිහිල්ල යට කුද්දටි ඉදිමීමක් හෝ තන පුඩුව වටා මිරිකීමේදී අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවීමක්  ගැන ඉඟියක් ලැබුණහොත් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා.

ඊට අමතරව, වයස අවුරුදු 40ට වැඩි නම් මාසික ස්වයං පරීක්ෂාවට අමතරව වාර්ෂික mammography screen test එකක් කිරීම සම්බන්ධවත් අවධානය යොමු කළ යුතු වෙනවා. 

රෝග විනිශ්චය සඳහා සායනික පරීක්ෂාව, Mammography test, Ultrasound Scan, MRI test, Biopsy test වශයෙන් පරීක්ෂණ වර්ග කිහිපයක් තියෙනවා. පවුලේ වෛද්‍යවරයා, රජයේ රෝහලක බාහිර රෝගී අංශය, ප්‍රදේශයේ සුවනාරි සායනය, ප්‍රදේශයේ සුව දිවි මධ්‍යස්ථානය, පෞද්ගලික රෝහලක් හෝ අංක 516 ඇල්විටිගල මාවත නාරාහේන්පිට ලිපිනයේ පිහිටා ඇති පිළිකා කලින් හඳුනාගැනීමේ ජාතික සායනය සම්බන්ධ කරගැනීමෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරගත හැකි වෙනවා.

මේ කරුණු වලට අමතරව, පියයුරු පිළිකාවකින් වැළකී සිටීම සඳහා අනුගමනය කළහැකි ක්‍රියාමාර්ග තියෙනවාද? පියයුරු පිළිකා අවධානමක් ඇත්නම්, සම්පූර්ණයෙන්ම වැළකී සිටීම ගැන පූර්ණ විශ්වාසයක් නැතත් අවධානම අඩු කරගැනීම සඳහා ගත හැකි යම් යම් ක්‍රියාමාර්ග තියෙනවා. 

ක්‍රියාශීලී වීම සහ නියමිත ශරීර බරක් පවත්වාගැනීම නිරෝගිබව කෙරෙහි ඍජුවම බලපානවා. අවම වශයෙන් දිනකට පැය භාගයක් ව්‍යායාම කිරීම, ඇවිදීම, සෙමින් දිවීම, නර්තනය හෝ අවම වශයෙන් කය වෙහෙසා නිවසේ වැඩ කටයුතු කිරීම හෝ සිදුකළ යුතු වෙනවා. ව්‍යායාමවල නිරත වීම සහ නියමිත බරක් පවත්වාගැනීම, පියයුරු පිළිකා ඇතුලු බොහෝ රෝගවලින් ඔබව රැකගන්නවාට අමතරව හැඩැති සහ පැහැපත් සිරුරකුත් ලබාගැනීමට ඉවහල් වනවා. විශේෂයෙන්ම ආර්තවහරණයෙන් පසු සිරුරේ බර නියමිත මට්ටමක තබා ගැනීම පිළිබඳව ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු නිසා සෞඛ්‍යට හිතකර ආහාර රටාවක් පවත්වා ගැනීමත්, ව්‍යායාම කිරීමත් අතරතුරේ මාස්පතා ශරීරයේ බර පරීක්ෂා කර බැලීමටත් අමතක කරන්න එපා.

කාර්‍ය්බහුල ජීවන රටාව නිසා හෝ කුමන හෝ හේතුවක් නිසා යහපත් ආහාර පුරුදුවලින් ඔබ ඈත්වී සිටිනවා නම් හැකි ඉක්මනින් ආහාර රටාව වෙනස් කිරීමට අවධානය ලබාදිය යුතු වෙනවා. විශේෂයෙන්ම එළවලු, පළතුරු, ධාන්‍ය, පලා සහ nuts වර්ග, සහ හිතකර තෙල්(Olive Oil, Avocado Oil) වර්ග මෙහිදී වඩා සුදුසු වන අතර රතු මස් වෙනුවට මාලු ආහාරයට ගැනීමට හුරු වීමත් ඵලදායක බව පැවසෙනවා. නිතර ක්ෂණික ආහාර, තෙල්, පිටි, සීනි, රසකාරක, වර්ණකාරක යෙදූ ආහාර පාන ගැනීම සිදුකරනවා නම් එය අවම කිරීමත්, වෙළඳපොළෙන් මිලට ගන්නා පළිබෝධනාශක යෙදූ එළවලු පළතුරු හොඳින් පිරිසිදු කර ආහාරයට ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.

පාලනයකින් තොර මධ්‍යසාර/ දුම්වැටි භාවිතය රෝග ගණනාවකට හේතුවක් වන බව ඔබ දැනටමත් දන්නවා ඇති. අධික මධ්‍යසාර භාවිතය, පියයුරු පිළිකා සඳහා මූලිකම හේතුවක් බවට කරුණු හෙළිදරව් වී තියෙනවා. දුම් පානය කිරීම, අවම වශයෙන් පියයුරු පිළිකා ඇතුලු තවත් පිළිකා වර්ග 15ට පමණ බලපාන බවටත් සඳහන් වෙනවා. ඔබට පියයුරු පිළිකාවෙන් වැළකීමට අවශ්‍ය නම් මධ්‍යසාරවලට හුරුනොවී සිටීම හෝ පාලනයකින් තොරව ලබාගැනීමෙන් වැළකී සිටීමට සිදුවෙනවා. 

පවුලේ රෝග ඉතිහාසය පිළි​බඳව දැනුවත් වීම අතිශයින් ම වැදගත් කරුණක් විදියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඔබේ මව, සොයුරියක් හෝ ලේ ඤාතියෙක් පියයුරු පිළකාවකින් පීඩා විඳ ඇත්නම් ඉහතින් සඳහන් කරන ලද ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පියයුරු පරික්ෂාව සිදු කිරීමට උනන්දු විය යුතු වෙනවා. 

ගර්භනි වීම සහ මව්කිරි ලබාදීම මඟින් පියයුරු පිළිකා අවධානම අවම වන බව පර්‍යේෂණ මඟින් හෙළිවී තියෙනවා. මව්කිරි ලබාදෙනවා නම් වසරකට වඩා වැඩි කාලයක් ලබා දීම සහ අවුරුදු 30ට පෙර පළමු දරුවා ලැබීම වඩා සුදුසු බවත් කියවෙනවා. මෙය අතිශයින්ම පෞද්ගලික තීරණයක් මත සිදුවිය යුත්තක් වන නිසාත් සංවේදි කාරණයක් නිසාත් ඔබේ රුචිය අනුව මේ කරුණට අවධානය ලබාදෙන මෙන් මතක් කර සිටිනවා.

උපත්පාලන පෙති සහ කරල් භාවිතයෙන් වැළකීම සහ ඒ වෙනුවට වෙනත් උපත්පාලන ක්‍රමවලට යෑම වඩා සුදුසු වන්නේ පෙති සහ කරල් මඟින් හෝර්මෝන නිපදවීම සහ දීර්ඝකාලීනව එය සෞඛ්‍යයට අහිතකර වන බැවිනි. විශේෂයෙන්ම ඔබ වයස අවුරුදු 35ට වඩා වැඩි කාන්තාවක් නම් මෙමඟින් පිළිකා අවධානමක් ඇතිවන බව පැවසෙන නමුත්, උපත්පාලන පෙති මඟින් පිළිකා ඇතිවීමේ අවධනම සුළු බවත් පෙති ගැනීම නතර කළවිට ඒ අවධානම ද නැතිවන බවත් කියැවෙනවා. කෙසේ වෙතත් මේ කාරණය ගැන ඔබගේ වෛද්‍යවරයා මඟින් වැඩිදුර උපදෙස් ලබාගැනීම වඩා සුදුසු වෙනවා.

Related Articles