ADHD එහෙමත් නැත්තන් Attention Deficit Hyperactivity Disorder කියන්නේ යම්කිසි නොහඳුනාගත් හා නිශ්චිත නොවන හේතුවක් නිසා මේ වෙනකොට වැඩිවෙමින් පවතින තත්ත්වයක් විදියට කරුණු හෙළිදරව් වී තියෙනවා. ඔබ මවක් හෝ දරුවන් සමඟ ක්‍රියාකරන ගුරුවරියක්නම් අවධාන ඌණතා සහිත අධික්‍රියාකාරි බව ගැන දැනුවත්ව සිටීමෙන් අවම වශයෙන් එක් දරුවෙකුගේ හෝ ජීවිතය අඳුරු වීම වළක්වා ගැනීමට හේතුවක් වෙනවා නොඅනුමානයි. ඉතින්, ඔක්තෝබර් මාසයේදී යෙදෙන ADHD පිළිබඳව දැනුවත් වීමේ දිනය වෙනුවෙන් ලියැවෙන මේ සටහන ඒ සඳහා ඔබට බෙහෙවින්ම වැදගත් වෙයි කියලා අපි හිතනවා.
දරුවන් තුළ ඇතිවන ADHD වශයෙන් හඳුවන්නේ කුමක්ද? මෙය ජානමය හේතු නිසා හටගන්නා වගේම පසුකාලීනව සිදුවන බාහිර බලපෑම් නිසා වර්ධනය විය හැකි මානසික සංවර්ධනයේ යම් අසාමාන්‍යතාවයක් විදියට හඳුන්වන්න පුලුවන්. පෙරපාසල් වියේදී මෙහි ලක්ෂණ කැපී පෙනෙන්නට පටන්ගන්නා අතර අතර ADHD තත්ත්වයක් වශයෙන් හඳුනාගන්නට නම් දීර්ඝකාලීනව ලක්ෂණ පෙන්විය යුතු වෙනවා. ඒ වගේම පිරිමි දරුවන් තුළ මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවටත් කරුණු හෙළි වී තියෙනවා.
ADHD තත්ත්වයකදි දකින්නට ලැබෙන පොදු ලක්ෂණ මොනවාද?
අධික ලෙස ක්‍රියාකාරී වීම, බාධාකාරී, ඝෝෂාකාරී සහ නොසන්සුන් ලෙස පසුවීම. පාසල, නිවස, වෙනත් බාහිර ස්ථාන යනාදී ඕනෑම ස්ථානයකදි අවස්ථාව නොසලකා අනවශ්‍ය ලෙස ක්‍රියාකාරී වන අතර පාලනය කිරීම අපහසු වේ. මෙය සම වයස් අනෙකුත් දරුවන්ගේ හැසිරීමෙන් වෙනස්ව කැපී පෙනෙන හැසිරීමක් වේ.
අවධානය දීමට හෝ අවධානය රඳවා තබාගැනීම අපහසු වීම නිසා එක දිගට කිසිම ක්‍රියාවක නිරතවෙන්න අපහසුවෙනවා වගේම ඉතා ඉක්මනින් අවධානය විවිධ දේවලට හුවමාරු වෙනවා. නිශ්චිත ඉරියව්වක් විනාඩි කිහිපයක් හෝ එකදිගට පවත්වාගැනීම නොහැකි අතර බාහිර පුද්ගලයින්ට ඉතා පහසුවෙන් මොවුන්ගේ අවධානය වෙනස්කිරීමට හැකියාව ලැබෙනවා. උපදෙස්වලට හෝ පැහැදිලි කිරීම්වලට අවධානය යොමු නොකර ඉතා ඉක්මනින් ඒ දේ සිදු කිරීමට යොමුවෙනවා හරියාකාරව ඒ කටයුත්ත සම්පුර්ණ කරගැනීමට නොහැකි වනවා.
අවධානය මදකම නිසා නිතර අමතක වීම දක්නට ලැබෙනවා. තමන්ගේ පොත් පැන්සල්, home works යනාදිය පමණක් නොව ලිවීමට/ ඇඳීමට පටන් ගත් දේ පවා මදවේලාවක් යද්දි අමතක වන අතර අකුරු සහ ඉලක්කම් සම්පූර්ණ ඒවා වේ. මේ දරුවන් දක්ෂයින් වුවත් මේ කාරණය නිසා අධ්‍යාපන කටයුතුවලදී පසුබෑමට ළක් වනවා.
ආවේගශීලියි. නොරුස්සනාසුලුයි. කළහකාරීයි. නිරන්තරයෙන් අවධානම් සහගත ක්‍රියාකාරකම් වලට පෙළඹේ. එම ක්‍රියාවේ ඇති අවධානම් සහගත බව ගැන නොවැටහෙයි හෝ නොසළකා හරියි. සිටගෙන සිටීමේදි හා අසුන්ගෙන සිටීමේදි, අතපය, ඇඟිලි සොලවමින්, වේගයෙන් චලනය කරමින් දුවන්නට, දඟලන්නට උත්සහ කරන බවක් පෙන්වනවා. නින්දෙන් පවා නොසන්සුන් නිසා සැපදායක නින්දක් ලබාගැනීමට පවා අපහසු වෙනවා. දුක තරහා වැනි හැඟීම් පාලනය කරගැනීමට සහ අනෙක් දරුවන් සමඟින් සහයෝගයෙන් ක්‍රියා කිරීමටත් නොහැකි බවක් පෙන්වනවා.
නොඉවසිලිමත්කම හා තමන්ගේ වාරය එනතෙක් රැඳී සිටීමට නොහැකි වීමත් මෙහි එක් ලක්ෂණයක් වෙනවා. මෙය පාසලින් හා පෙරපාසලින් දරුවෙකු හුරුවිය යුතු මූලික කුසලතාවයක් වුවත් අධික්‍රියාකාරි බවෙන් පෙළෙන දරුවන් තුළ මේ ලක්ෂණය දක්නට නොලැබෙනවා.
ඉහතින් සඳහන් කෙරුණු ලක්ෂණ ඕනෑම කුඩා දරුවෙකු තුළ අඩුවැඩි වශයෙන් තිබිය හැකි දඟකාරකම් වලින් ඔබ්බට ගිය තත්ත්වයක් නිසා හැම දඟකාර පොඩ්ඩෙක්ම අධික්‍රියාකාරි බවෙන් පෙළෙනවා යැයි කීමට හෝ, “අනේ පොඩි එවුන් ඔහොමයි/ ලොකු වුණාම හරියයි” කියලා නොසළකා හැරිය හැකි තත්ත්වයක් නෙවෙයි. දරුවා පරීක්ශා කර බලා එය තීරණය කළ යුත්තේ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් විසින් ම පමණයි.
මෙයට ප්‍රතිකාර තියෙනවාද? අනිවාර්යයෙන් ම ඔව්. මෙය ඖෂධ වගේ ම, මනෝ චිකිත්සාව හරහා ද පාලනය කිරීමට හැකි තත්ත්වයක්.
දරුවාට වෙනුවෙන් ලබාදෙන සෞඛ්‍ය කාර්‍ය සාධක සටහන එහෙමත් නැත්තන් Clinic card එක කියලා අපි හඳුන්වන සටහන හොඳින් කියවා ඒ ඒ වයසට අදාළ ක්‍රියාකාරකම් දරුවාගෙන් සිදු වෙනවාදැයි මුල සිටම නිරීක්ෂණය කරන්න. දරුවා තුළින් යම් අසාමාන්‍ය බවක් පෙනෙනවා නම් මඳක් හෝ ප්‍රමාද නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් පමණක් ම උපදෙස් ලබාගන්න. ඒ විතරක් නෙවෙයි, ගුරුවරයා සහ මව්පියන් නිසි පරිදි ඒ වෛද්‍ය උපදෙස් පිළිපැදීමද අත්‍යවශ්‍ය වෙනවා.
ප්‍රතිකාර ඇතැම් විට වසර ගණනක් ගතවෙන දීර්ඝකාලීන ඒවා විය හැකියි. ADHD තත්ත්වයෙන් පසුවන දරුවන් සමඟ ඉතාමත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා. ඔවුන්ට කාලය, සෙනෙහස සහ අවධානය ලබාදෙමින් කාරුණිකව ක්‍රියා කිරීම වැඩිහිටියන්ගේ වගකීම වනවා. පැසසීම, ආත්ම විශ්වාසය වැඩිකිරීමට උත්සහ කිරීම, කෙටි උපදෙස් මඟින් මෙහෙයවීම, දක්ෂතා හඳුනාගෙන වර්ධනය කරගැනීමට මඟ පෙන්වීම දරුවාගේ දියුණුවට හේතුවන අතර අනෙක් දරුවන් හා සංසන්දනය කිරීම, දඬුවම් කිරීම, කොන් කිරීම හෝ නොසළකා හැරීමෙන් දරුවාගේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට ඉඩ තියෙනවා.
අසාමාන්‍ය ආකාරයට දඟ කරන දරුවෙක්ව ඔබ කොතැනකදී හෝ දුටුවහොත්, ඒ දරුවාට හෝ මව්පියන්ට සිතින් හෝ දොස් තැබීමට/ විනිශ්චය කිරීමට පෙර සිහිකරගන්න….ඒ දරුවා ප්‍රතිකාර අවශ්‍ය දරුවෙකු විය හැකියි…ඒ මව්පියන් ඒ පිළිබඳව නොදැනුවත් වනවා විය හැකියි.
සුපිරි පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස්, Maroon 5 සංගීත කණ්ඩායමේ ඇඩම් ලෙවීන්, පැරිස් හිල්ටන්, එමා වොට්සන්, වෝල්ට් ඩිස්නි වැනි ලෝකප්‍රකට පුද්ගලයින් ADHD තත්වයෙන් පසු වූවන්ගෙන් සුළුතරයක් වන අතර ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්, ලියනාර්ඩෝ ඩා වින්චි වැන්නන් පවා මෙයින් පීඩා විඳි බවට යම් යම් කරුණු හෙළි වී තියෙනවා. ADHD තත්වයෙන් පසුවෙන දරුවෙක් තුළින් රටට ලෝකයට වැඩදායක සාර්ථක පුද්ගලයෙක් බිහිකර ගැනීමට හැකි බවට මේවා කදිම උදාහරණ බවට අපි විශ්වාස කරනවා.