Home Parenting ඩිස්ලෙක්ශියාව

ඩිස්ලෙක්ශියාව

by LADY.LK

ස්ටීවන් ස්පීල්බර්ග්, මොහොමඩ් අලි, රිචර්ඩ් බ්‍රැන්සන්, ඇගතා ක්‍රිස්ටි, ඇල්බර්ට් අයින්ස්ටයින්, පැබ්ලෝ පිකාසෝ, ජෝර්ජ් වොශින්ටන්, ස්ටීව් ජොබ්ස්, ජොනී ඩෙප් සහ නිකොලා ටෙස්ලා වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් පිළි​බඳව ජීවිතයේ එක්වරක් හෝ ඔබ අසා ඇති. විවිධ ක්ෂේත්‍රවලදි තමන්ගේ සුවිශේෂී හැකියාවන් නිසා අමතක කළ නොහැකි චරිත බවට පත්වූ, නමුත් මේ පුද්ගලයින් කුඩා කාලයේදී dyslexia තත්ත්වයෙන් පීඩා විඳි අය වශයෙන් සඳහන් වේ. ඩිස්ලෙක්ශියාවෙන් පීඩා විඳි ලෝකප්‍රකට පුද්ගලයින්ගෙන් ඉතාමත් සුළු නම් ප්‍රමාණයක් පමණයි අපි ඉහතින් දක්වලා තියෙන්​නේ. 

සරළව​ම

dyslexia තත්ත්වය කියලා හඳුන්වන්නේ මොකක්ද? සරලවම, ඇතැම් දරුවන් තුළ දකින්නට ලැබෙන ඉගෙනුම් දුෂ්කරතාවයක් එහෙමත් නැත්තන් “වචන අන්ධතාවයක්” විදියට මෙය හඳුන්වන්න පුලුවන්. පුද්ගලයින් දහදෙනෙක්ගෙන් එක් අයෙක් තුළ දක්නට ලැබෙන මේ තත්ත්වය ඉගෙනුම් ක්‍රියාවලියේදී ඇතිවන භාශාමය ගැටලුවක් මිස රෝගයක් විදියට පෙන්වාදෙන්න නම් බැහැ. 

එවැනි දරුවන් සාමාන්‍යයෙන්

dyslexia තත්ත්වයෙන් පීඩා විඳින දරුවන් තමන්ගේ මොළය ප්‍රායෝගික හැකියාවන් වෙනුවෙන් යොදවන්නට රුචිකත්වය දක්වනවා මිස පොත පතේ වැඩකටයුතු වෙනුවෙන් යොදවන්නට ඇති ඉඩකඩ අඩුයි. වෙනත් ආකාරයකට කිවහොත් උපතින්ම සුවිශේෂී දක්ශතා උරුමකරගෙන එන සුවිශේෂී පුද්ගලයින් විදියට පෙන්වාදෙන්න පුලුවන්.  මේ තත්ත්වට නිශ්චිත හේතුවක් නොමැති අතර ජානමය හේතු නිසා ඇතිවිය හැකි ඩිස්ලෙක්ශියාවේදී පෙන්නුම් කරන පොදු ලක්ෂණ කිහිපයක් පහළින් දැක්වෙනවා.

මූලික ලක්ෂ​ණ

භාෂාව වටහාගැනීමට වැඩි කාලයක් සහ වෙහෙසක් දැරීම, වචන හඳුනාගැනීමේ අපහසුතා, කියවීමේ අපහසුතා, ශබ්ද/ අකුරු/ වචන ආපස්සට කියවීම, වෙනස් ම වචන කියවීම, අකුරු/ ඉලක්කම්වල ස්වරූපය මාරු කර ලිවීම/ මාරු කර කියවීම (ර, b, d, 3, 7, 6, 9, ල, අක්ෂර වින්‍යාසය පිළිබඳ ගැටළු,  දින, ඉලක්කම්, හෝඩියේ පිළිවෙල මතක තබාගැනීමේ දුෂ්කරතා, ලිවීමේ වේගය අඩු බව සහ අපිළිවෙල අත් අකුරු, අකුරු එකිනෙකට වෙනස් වීමෙන් නිර්මාණය වන වචනවල වෙනස් අර්ථ සහිත වන බව වටහාගැනීමට අපහසු වීම, වචන සන්ධි විසන්ධිවීම් වටහාගැනීමට අපහසු වීම, දීර්ඝ වචන උච්ඡාරණය අපහසුවීම වගේ ලක්ෂණ පොදුවේ මේ තත්ත්වයෙන් පීඩා විඳින දරුවෙකුගෙන් දකින්නට පුළුවන්.

ගුරු දෙගුරුන්ගේ ප්‍රතිචාරය

dyslexia ලක්ෂණ සහිත වීම ආශිර්වාදයක් විදියට මිසක් දරුවාගේ ඉදිරි ජීවිතය පසුගාමී කරවන්නක් නොවන බව අවබෝධ කරගනිමින්  ක්‍රියා කිරීම මව්පියන්ගේත් ගුරුවරුන්ගේත් වගකීමක් විදියට පෙන්වා දෙන්න පුලුවන්. මෙවැනි දරුවන් පොත් පත් හා අධ්‍යන කටයුතුවලදි දුර්වල බවක් පෙන්වූවත් සන්නිවේදන කුසලතාවක් සහිත වූවන් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ප්‍රශ්නයකට පිළිතුරක් ලියාගන්නට අපහසු වුණත් මුවින් පිළිතුරු දීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. 

විශාල පින්තූර​ය

යමක් ඒකක වශයෙන් වෙන් වෙන් කර වටහාගැනීමේ හැකියාව නැතත්, ඒ දෙය සමස්තයක් වශයෙන් දැකීමේ හැකියාව මොවුන් සතු වෙනවා. අසීරු සහ සංකීර්ණ දෑ අනෙක් පුද්ගලයින්ට වඩා පහසුවෙන් සහ ඉක්මනින් වටහාගැනීමේ හැකියාව උපතින්ම උරුමවී ඇති අතර කුඩා කුඩා ඒකක සම්බන්ධවී සංකීර්ණ රටා නිර්මාණය වන ආකාරය පහසුවෙන් වටහාගැනීමට හැකි නිසා ගණිතමය සහ විද්‍යාත්මක විෂයයන්වලට දක්ෂතා දක්වන්නට ඉඩ තියෙනවා.

අනාගතයේදී

මෙම දරුවන්ට මනස තුළ පහසුවෙන් ත්‍රිමාන රූප ගොඩනඟා ගැනීමට ඇති හැකියාව නිසා මොවුන් තුළින් පසුකාලීනව දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් බිහිවීමේ හැකියාව තියෙනවා. වචන සහ අකුරු මතක තබාගැනීමට හැකියාව අඩු වුවත් යම් දෙයක් පින්තූරයක ආකාරයට සිහියේ තබා ගැනීමේ හැකියාවත්, ඒ දකින දේ එක එල්ලේ සවිස්තරාත්මකව දැකීමේ හැකියාවත් ඔවුන් සතුවනවා.  

උපායමාර්ගික දක්ෂතාව සහ විශිෂ්ට නිර්මණාත්මක චින්තනය එක්ව පිහිටීමේ හැකියාව නිසා dyslexia තත්ත්වය සහිත දරුවෙක් තුළින් අනාගතයේදී දක්ෂ ව්‍යවසායකයෙකු බිහිවීමට ඉඩ තියෙනවා. එහෙමත් නැත්තන් ලෝකප්‍රකට කලාකරුවෙක්, අති දක්ෂ ක්‍රීඩකයෙක් ,අභියෝග භාරගැනීමට මැළි නොවන ධෛර්වන්තයෙක්, දක්ෂ ලෙස ගැටළු විසඳන්නෙක් සහ කුතුහලයෙන් යුතුව බොහෝ දේ ගැන විමසන බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් වීමට ඉඩ තියෙනවා.  

පන්තිකාමරයේදී දුර්වලයිද?

dyslexia තත්ත්වය සහිත දරුවන් පංති කාමරයේ දි දුර්වල දරුවන් ලෙස සැළකෙන්නේ ඇයි? මොවුන් එක් සීමාවකට කොටු නොවූ සහ කටපාඩම් හැකියාවෙන් තොර දරුවන් වන අතර නිදහස් සහ අන් අයට වඩා වෙනස් සිතිවිලි ඇති දරුවන් වේ. කිසිම දෙයක් මතක නැති, විභාගවලින් අසමත් වන සහ දවල් හීන දකින්නන්ගේ ගණයට දමා ඉගෙනීමට දුර්වලයෙකු වශයෙන් හංවඩු ගසා ඇති දරුවා dyslexia තත්ත්වයක් ඇති දරුවෙකු වීමට ඉඩකඩ ඇති බව වටහාගෙන නිසි පිළියම් යොදන්නේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් මඟහරවා ගන්නට හැකියාව ලැබෙනවා.

සිදුකළ යුත්​තේ

තම දරුවෙක්/ ශිෂ්‍යයෙක් dyslexia තත්ත්වයකින් පසුවන බවට යම් සැකයක් ඇත්නම් ඔබ කළ යුත්තේ කුමක්ද? වහාම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක්ගේ පරික්ෂාවට දරුවා ළක් කිරීම මුලින්ම සිදු කළ යුතු අතර ස්වයං රෝග විනිශ්චය කිසිසේත් අනුමත කළ නොහැකි ය. ඉක්මනින් මේ තත්ත්වය හඳුනාගෙන පිළියමක් යෙදීම ඉක්මන් වන තරමට දරුවා පීඩනයට පත්වීම අවම වෙනවා. ඕනෑම රජයේ ශික්ෂණ රෝහල්කින් මෙන් ම පෞද්ගලික අංශයේ රෝහල්වලින් ද මෙම පහසුකම ලබාගත හැකි වන අතර දරුවා හා ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පැහැදිලිව උපදෙස් සපයනු ලබනවා.

පෙරදී ද කීවාක් මෙන් Dyslexia තත්ත්වය ආශිර්වාදයක් මිස කිසිසේත්ම මෝඩයෙක්, කම්මැලියෙක් ලෙස සළකා දරුවා දඬුවමට ලක් කිරීමට හේතුවක් නොවේ. දරුවාගේ දක්ෂතාවය හඳුනාගෙන දක්ෂ ගුරුවරුන් හරහා ඒ හැකියාවන් දියුණු කිරිමට ක්‍රියා කිරීම, පිරිසක් සමඟ නොව හැකිතරම් තනිව ඉගැන්වීම් කටයුතු කිරීම, ප්‍රගතිය අගයමින් දිරි ගැන්වීම, ඉගැන්වීම් ක්‍රියාවලියෙදී සරල ක්‍රම අනුගමනය කිරීම, ඉවසීමෙන් වැඩි වෙලාවක් ගත කරමින් දරුවාට අවස්ථාව ලබා දීම, ගුරුවරුන් සහ මව්පියන් සහයෝගයෙන් ක්‍රියා කිරීම, වෛද්‍ය උපදෙස් හරියාකාරව පිළිපැදීම වගේම වැඩි අවධනයක් සෙහෙහසක් දරුවාට ලබා දීමද වැදගත් වෙනවා.

Dyslexia තත්ත්වයෙන් පසුවන කුඩා දරුවෙක් පිළිබඳ නිමැවුනු ” Taare zameen par” හින්දි චිත්‍රපටයත් නරඹන්න කියලා අපි අවසානයට මතක් කරනවා.

Related Articles