Home LifestyleLove & Relationships ආදරය අහිමි වීමේ වේදනාවෙන් මිදෙන්න ප්‍රත්‍යක්‍ෂ පිළියම්

ආදරය අහිමි වීමේ වේදනාවෙන් මිදෙන්න ප්‍රත්‍යක්‍ෂ පිළියම්

by LADY.LK

යොවුන් වයසේදී ආදරය සම්බන්ධ සිතුවිලි ඇති වීම අතිශය සාමාන්‍ය දෙයක් වන අතර එය නීරෝගී බවේද ලක්‍ෂණයක්.
නමුත් හැම ආදර සම්බන්ධතාවක්ම විවාහයකින් කෙළවර වන්නේ නෑ. ඒ වගේම අප තව කෙනෙකුට ආදරය කළාට ඒ තැනැත්තා / තැනැත්තිය අපට ආදරය නොකර වෙනත් සම්බන්ධතාවකට යොමු වන අවස්ථාත් තිබෙනවා. මේ මොන දේකින් වුණත් අන්තිමට ඇති වන්නේ විශාල විරහ වේදනාවක්. සමහරුන්ට එවැනි වෙන්වීමකට මුහුණ දෙන්න සිදුවුණාම තදින් විරහ වේදනාව දැනෙනවා.
විරහ වේදනාව එක් එක් පුද්ගලයාගේ ස්වභාවයට අනුව අඩුවැඩි වශයෙන් දැනුණත්, තමන් ආදරය කරන කෙනා තමන්ට අහිමි වන බව දැනුනාම ඇතිවන වේදනාව සුළුකොට තකන්න කාටවත් බෑ. ඒකට හේතුව ආදරය කියන්නේ ප්‍රබල චිත්තවේගයක් වීම නිසයි. වයසින් මෝරා ගිය, ජීවිතේ අත්දැකීම් ඇති අයට වඩා, අත්දැකීම් අඩු ළාබාල තරුණ තරුණියන්ට විරහ වේදනාවකට මුහුණ දුන් පසු එය දැඩිව දැනෙන්නත් පුලුවන්. ඒ වගේම ප්‍රථම ප්‍රේමයෙන් සමුගන්න වුණාමත් ඕනෑම කෙනෙකුට දැඩි විරහ වේදනාවක් ඇති වෙනවා.
ප්‍රේම සම්බන්ධතාවක් බිඳී යාම ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මත සිදුවෙන්න පුළුවන්.

  1. බාහිර බලපෑම්
    දෙමාපියන්ගේ විරුද්ධතාව, ආර්ථික හා සමාජ බලපෑම් මත විවාහ වීමට හැකි පසුබිමක් නොතිබීම, මෙලෙස ඇති වන බාහිර බලපෑම් ලෙස දැක්විය හැකියි. මේ අනුව දෙදෙනා තුළම වෙන් වීමේ එකඟතාවයක් ඇති වී වෙන්වීම සිදුවන්නත් පුළුවන්. එසේ එකඟතාවයක් ඇති වුවත් වෙන කළ හැකි දෙයක් නැතිකමට වෙන්වන නිසා දෙදෙනාටම මෙහිදී තදබල විරහ වේදනාවක් දැනෙනවා. සිත සුවපත් කරගන්නට සෑහෙන කාලයක් ගත විය හැකියි.
  2. එක් අයකු ඒකපාර්ශ්වීයව ගන්නා තීරණයක් මත සම්බන්ධය නතර කිරීම
    මෙහිදී සමුගන්නේ පෙම්වතා යැයි සිතමු. එවිට පෙම්වතියට තදබල විරහ වේදනාවක් දැනෙනවා. එය ඉහත සඳහන් කළ අවස්ථාවට වඩා වැඩි වේදනාවක් ලෙස දක්වන්න පුළුවන්. “ඇත්තටම එයා මට ආදරය කළාද” කියන හැඟීමක් ඒ සමග ඇති වී ලොකු කණගාටුවක්ද දැනෙනවා. එපමණක් නොවෙයි. මේ ආකාරයට තමාව හැරයාමෙන් ඔහු තමාට මදිපුංචිකමක් කළා කියන හැඟීමත් එක්ක ලොකු ලැජ්ජාවකුත් ඇති වෙනවා. මේකෙම තව පැත්තක් තිබෙනවා. පෙම්වතා තමාව හැර ගියේ තමාගේ වරදක් නිසා කියලා හිතට ඒත්තු ගියොත් විශාල පසුතැවිල්ලක් සමග ලොකු මානසික කඩා වැටීමකුත් ඇති විය හැකියි. අප මෙහිදී පෙම්වතිය වශයෙන් දැක්වූවත් මේ ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණේ පෙම්වතාට නම් ඔහුගේ තත්ත්වයත් මෙබඳුම විය හැකි බව සඳහන් කරන්න ඕනෙ.
    මේ කුමන ආකාරයකට තමන්ගේ සම්බන්ධතාව බිඳ වැටුණත් හිත හදාගන්න එක ඒ තරමට පහසු නෑ. මේ නිසා හිත හදාගන්න නොයෙකුත් විකල්ප ක්‍රම සොයනවා. තරුණයන් මෙහිදී බොහෝ විට මත්පැන්වල පිහිට සෙවිය හැකියි.
    ඒකපාර්ශ්වීය තීරණයක් ගෙන පෙම්වතා තමාව අමතක කළේ නම් පෙම්වතිය තුළ ඔහු කෙරෙහි තදබල ඊර්ෂ්‍යාවක් සහ කෝපයක් ඇති වීමට ඉඩ තිබෙනවා . එවිට ඔහුගෙන් පලිගැනීමේ චේතනාව ඇතිවී වෙනත් තරුණයන්ගේ ඇසුරට පත්වන්න පුළුවන්. මෙකී කරුණු දෙක තුළින්ම ඔවුන්ට සිදුවන කිසිදු යහපතක් නෑ. සිදුවන්නේ තව තවත් අමාරුවේ වැටීම පමණයි. ඒ වගේම නොසිතූ විරූ ප්‍රශ්නවලට, විශේෂයෙන් තරුණියන් ලක්වීමට ලොකු අවදානමක් තිබෙනවා.

විරහ වේදනාව අඩු කරගන්නේ කොහොමද?

සම්බන්ධතාව බිඳ වැටීමට හේතුව සොයා බැලීම මෙහි මූලික පියවරයි.
නිදසුන් වශයෙන් දැක්වුවොත් තමාගේ පෙම්වතා / පෙම්වතිය හරිහැටි තේරුම් ගැනීමට අපහසු වීම මත සමහරු එම සම්බන්ධතාව නතර කර දමනවා.
ඒ වගේම දෙදෙනාගෙන් කෙනෙකු අවංකභාවයෙන් තොරවූ විටත් අනෙක් පුද්ගලයා සම්බන්ධතාව නතර කර මගහැර යාම සිදුවෙනවා.
විරහ වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ “මොකක්ද සිද්ධ වුණදේ?” කියලා හරියටම නිශ්චය කරගැනීම අපහසු වූ විටයි. එනිසා තමන්ට තනිව මෙය නිරාකරණය කරගැනීම අපහසු නම් එවැනි ප්‍රශ්නයක් තේරුම් ගත හැකි කෙනෙකුට එය පැහැදිලි කරදීමෙන් කිසියම් සහනයක් ලබාගත හැකි වේවි.
මොන හේතුවක් නිසා වෙන් වුණත් ආදරය කළ කාලයේ මතකයන් නැවත නැවත සිහිපත් වනවිට වේදනාව අලුත් වෙමින් දැනෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් එකවරම නොසිතූ ලෙස වෙන් වෙලා ගියාම මේ කම්පනය වැඩියි. ඉන්පසු ආදරය කළ කාලයට සම්බන්ධ විවිධ සිද්ධි මැවී මැවී පෙනෙන්න පුළුවන් . ඒ වගේම දෙදෙනා මුණ ගැසුණු තැන්, ද්‍රව්‍යමය වශයෙන් ලැබුණු තෑගි බෝග ආදිය නැවත නැවත දකින විට හිත පුපුරු ගසන තරමේ වේදනාවක් දැනිය හැකියි. ඒ ද්‍රව්‍යමය දේවල් තමන්ට නොපෙනෙන තැනක සඟවා තැබීම වඩාත් සුදුසුයි. සමහරු තමන්ගේ ජංගම දුරකථනයට ලැබුණු කෙටි පණිවුඩ එහි තැන්පත් කර තබාගන්නවා. මේවා නැවත නැවත දැකීමෙන් සිදුවන්නේද වේදනාව අලුත් වීමයි. වේදනාව අලුත් වීමට බලපාන හැම දෙයක්ම ඈත් කර තැබීම මෙහිදී කළ යුතුම දෙයක්. මේවා දකින වාරයක් පාසා සිදු වන්නේ වේදනාව අලුත් වීමයි,
මෙසේ විරහ වේදනාවක් තව කෙනෙකුට කියන විට එය අසා හිඳින පුද්ගලයා සතුවත් ලොකු වගකීමත් තිබෙනවා.
මුලින්ම කළ යුත්තේ එම තරුණයාට / තරුණියට තමන්ගේ වේදනාවට සම්බන්ධ සියලුම දේවල් කියන්නට ඉඩ හැරීමයි. එහි මැද්දට පැනීම නොකළ යුතුයි. එසේ එකදිගට කියාගෙන යාම තුළින් ඒ තැනැත්තාගේ / තැනැත්තියගේ වේදනාව අඩු වී සිත සැහැල්ලු වෙනවා. එය වේදනාව අඩුකරන එක ක්‍රමයක්.

සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවක් බිඳ වැටුණාම ලොකු වේදනාවක් ඇති වන්නේ එය පිළිගැනීමට අපේ හිත සූදානම් නැති නිසයි. මෙහිදී සිතුවිලි සහ සැබෑව අතර සිත මංමුලා වෙනවා. බොහෝ විට මෙවැනි පරාජිත පෙම්වතුන් පෙම්වතියන් තමාව මෝහන නිද්‍රාවට පත්කොට තමන්ගේ පැරණි ආදරය පිළිබඳව සිත තුළ ඇති හැඟීම් සහ මතකයන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් මෙය කෙසේවත් සාර්ථක ක්‍රමයක්වත්, සුදුසු ක්‍රමයක්වත් නොවෙයි. අපට අමතක කළ යුතු දෙයක් බලෙන් අමතක කරවන්න උත්සාහ කළොත් සිදුවන්නේ එය යළි යළිත් සිහිපත් වීමයි. එමගින් ඒ සිද්ධිය පිළිබඳ මතකය මනසේ තව තවත් ස්ථාවර තත්ත්වයට පත්වෙනවා. එවිට එය අමතක කළ නොහැකි වෙනවා.
එනිසා යමක් අමතක කරවන්න සිතට බල නොකොට ඒ ගැන සිහිපත් වනවිට වෙන දෙයක් මතකයට නගා ගැනීම සුදුසුයි. අමතක කළ යුතු යමක් අමතක කරවන්නත්, වේදනාව අඩු කරවන්නත් කාලයට වඩා ප්‍රත්‍යක්‍ෂ වෙනත් ඖෂධයක් නෑ.
ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටීම කියන්නේ දුකක් වුවත්, විරහ වේදනාව අපේ සිතට යම් තරමකට හරි දැනෙන්නත් ඕනේ. විරහ වේදනාවට අපේ යටි සිත එක්තරා ප්‍රමාණයකට කැමතියි. අප විරහ ගීත අහන්න ප්‍රිය කරන්නේ ශෝකාන්තයක් සහිත ටෙලිනාට්‍ය, නවකතා ආදිය නැරඹීමට, කියවීමට ප්‍රිය කරන්නේ විරහව සම්බන්ධයෙන් ස්වභාවයෙන් අප තුළ යම් කැමැත්තක් පවතින නිසයි. මේක අපටත් නොදැනීම අපේ යටි සිතේ පවතින ස්වභාවයක්. මේ තත්ත්වය නිසා විරහ වේදනාව මට විතරක් නොවෙයි අනිත් අයටත් අත්විය හැකි දෙයක් කියන හැඟීම අප තුළ ඇති වෙනවා. එය තමන්ට විතරක් වෙන දෙයක් කියලා හැඟුණොත් ඒ වේදනාව දරන්න ගොඩක් අපහසුයි.
කොහොම වුණත් විරහ වේදනාවකදී හැඬීම පාලනය කරගන්නෙ නැතිව ඇති තරම් හැඬීම හොඳ මනෝ විරේකයක්. හැඬීම තුළින් වේදනාව අඩුවෙනවා. ඒ වගේම තරුණයෙක් නම් විශ්වාසවන්ත මිතුරෙකුටත්, තරුණියක් නම් එවැනි මිතුරියකටත් මේ පිළිබඳව කීම තුළින්ද වේදනාව අඩුකරගත හැකියි. බලාපොරොත්තු මොනතරම් කඩ වුණත් ආයාසයෙන් හරි හිනාවෙන්න. විශේෂයෙන් විනෝදාත්මක දේවල් කියවීම සහ නැරඹීම තුළින් ඔබට ආයාසයෙන් තොරවම සිනාසෙන්න හැකිවේවි. මේ සිනාව තුළ වේදනාව අඩුකිරීමේ පුදුම බලයක් තිබෙනවා.
මේ ක්‍රම මගින් මාස තුන හතරක් යන විට ඔබේ වේදනාව ඉබේම අඩුවී යා යුතුයි. මාස හයක් විතර මේ විදියටම කාලය ගතවීමට ඉඩ දෙන්න. ඒත් ඔබේ වේදනාව අඩුවන බවක් පෙනෙන්නේ නැත්නම්, එක දිගටම වේදනාව පවතිනවා නම් ඔබට මනෝ චිකිත්සකවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු හමුවීමට සිදුවෙනවා. හේතුව , ඔබට මානසික අවපීඩන තත්ත්වය (depression )මතුවී තිබිය හැකි නිසයි. නැත්නම් මේ තත්ත්වය දිගටම පැවතීම නිසා ජීවිතය නැතිකර ගැනීම වැනි අවාසනාවන්ත දෙයකට ඔබ යොමු වීමට බැරිකමක් නෑ. එය බලවත් අපරාධයක්.
අද ඔබේ සම්බන්ධය බිඳී ගියත් ඒක එහෙම වුණු එක කොයිතරම් හොඳද කියලා ඔබටම හිතෙන දවසක් අනාගතයේ උදාවෙනවා. “කොයි දේ වෙන්නෙත් හොඳට” කියලා ඔබ අහලා ඇතිනේ? ඒ නිසා අපරාදෙනේ ඔබ අද ඔබේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරන්නේ.
අහිමි වූ ආදරය ගැන වගේම ,අතීතය ගැනත් හිතෙන එක නතර කළ හැකි හොඳම ක්‍රමය තමයි ඔබ මේ මොහොත තුළ ජීවත් වීම. බුදු දහමේ මෙය සතිමත් බව ලෙස හඳුන්වනවා. එනම් මියගිය අතීතයත් , නූපන් අනාගතයත් ගැන නොසිතා මේ මොහොතේ ඔබ කරමින් සිටින ක්‍රියාව ගැන පමණක් අවධානය යොමු කරන්න. එලෙස අතීතයට හිතට දිව යන්නට තිබෙන මාර්ග අහුරා දමන්න. අමතක කරන්න එපා මේක භාවනාවක් .

වේයන්ගොඩ ,සිත්විල උපදේශන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ
ආචාර්ය සුරංග අමරකෝන්

ඉන්දු පෙරේරා

Related Articles