Home Health & WellnessPhysical Wellbeing අඩු වයසින් දැන් ගැහැනු ළමයින් වැඩිවියට පත් වෙන්න හේතූ

අඩු වයසින් දැන් ගැහැනු ළමයින් වැඩිවියට පත් වෙන්න හේතූ

by LADY.LK

ඉස්සර කාලේට වඩා ගොඩක් අඩු වයසින් දැන් ගැහැනු ළමයින් වැඩිවියට පත් වෙනවා.”
මේ කතාව අපට නිතර  ඇසෙන දෙයක්. බොහෝ දෙනෙක් කියන්නේ බ්‍රොයිලර්ස් කුකුල් මස් නිතර ආහාරයට ගන්නා නිසා මෙසේ සිදු වෙන බවයි. එයට හේතුව ලෙස ප‍්‍රචලිත වී ඇත්තේ මේ කුකුළන් සදහා එන්නත් කරන හෝමෝන අධික ලෙස ශරීර ගත වීම නිසා කුඩා දැරියන්ගේ හෝමෝන ක‍්‍රියාකාරිත්වය ද වැඩි වී අඩු වයසින් වැඩිවියට පත් වන බවයි. ඊට අමතරව අද පවතින කෘත‍්‍රිම ආහාරත් මේ සදහා සෑහෙන බලපෑමක් සිදුකෙරෙන බව ඇතැමුන් කියනවා. 
 
නමුත් ඇත්තටම මේ අහන්නට ලැබෙන දේවල් ඇත්තද? මේවාට බලපාන වෙන දේවල් තියෙනවාද? කාන්තාවක, ගෘහණියක, මවක ලෙස මෙවැනි කරුණු ගැන නිවැරදි අවබෝධයක් තිබීම ඉතා වැදගත්. ඒ නිසා මේ තොරතුරු ඔබට ප‍්‍රයෝජනවත් වනවා නොඅනුමානයි.
 
නියමිත කාලයට පෙර සිරුරෙන් හොමෝන නිදහස් වීම අඩු වයසින් වැඩිවයට පත් වීම කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබනවා. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ අන්තරාසර්ග ක‍්‍රියාකාරිත්වයට බාධා කරනු ලබන රසායනිකයන් මේ කෙරෙහි හේතු වන බවයි. ඒ වගේම විශේෂඥයන් පවසන තවත් එක් දෙයක් වන්නේ අඩු වයසින් වැඩිවියට පත්වීම පරිවෘත්තීය ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් යම් අනතුරුදායක බවක් ද ඇති කළ හැකි බවයි. 
 
අඩු වයසින් ඔසප්වීම පටන් ගන්නා දැරියන් තරුණ වියේ දී විශාදයට ලක්වීමටත්, වැඩිහිටි වියෙහි දී පියයුරු පිළිකාවලට අවදානමක් ඇති ගොදුරුවන්නටත් හැකි බව විශේෂඥයන් පවසනවා. 
 
කැෆේන් සහ ඇතැම් ආහාර රස කරන්නට සීනි වෙනුවට යොදා ගන්නා ඇස්පාර්ටේම් නම් රසකාරකය අඩු වයසින් වැඩිවයට පත්වීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. American Journal of Clinical Nutritionහි පළ වූ පර්යේෂණ වාර්තාවකින් කියැවෙන්නේ  කැෆේන් සහිත පාන වර්ග අධික ලෙස පරිභෝජනය කුඩා දැරියන්ට හිතකර නොවන බවයි.
 
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික හෘද, පෙණහලූ සහ රුධිර ආයතනය දැරියන් 1,998ක් වසර 10 ක් තිස්සේ නිරීක්ෂණයකට ලක් කරමින් පර්යේෂණයක් සිදු කළා. මෙයින් අඩක් කොකේසියානු දැරියන් වූ අතර ඉතිරි අඩ ඇමරිකානු දැරියන් වුණා.
 
අධ්‍යයනයේ අරමුණ වූයේ කැෆේන් සහිත සහ කැෆේන් රහිත සීනි, එ් වාගේම කෘත‍්‍රිම ලෙස රස ගැන් වූ සෝඩා සහ අඩු වයසින් වැඩිවියට පත්වීම අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීමයි. එ් වගේම කැෆේන්, සුක්‍රෝස්, පෘක්ටෝස් සහ ඇස්පාර්ටේම් යන ඒවා අඩු වයසින් වැඩිවයට පත්වීම කෙරෙහි බලපෑම් කරනවාද යන්න සොයා බැලීමත් මෙහි අරමුණුවලින් එකක් වුණා.
 
මේ අධ්‍යයනයෙන් හෙළිවුණේ කැෆේන් සහ ඇස්පාර්ටේම් සහිත කෘත‍්‍රිම ලෙස රසගැන් වූ පාන වර්ග පරිභෝජනයත් අඩු වයසින් වැඩිවියට පත්වීමත් අතර ප‍්‍රබල සම්බන්ධයක් තිබෙන බවයි. මේ දැරියන් කොකේසියානුවන් ද එසේත් නැත්නම්  ඇමරිකානුවන් ද යන වෙනස මේ සදහා බල නොපෑ බවත් මෙහි දී පැහැදිලි වුණා. එයින් ඔප්පු වන්නේ ලොව  ඕනෑම දැරියකට මෙය අදාළ බවයි. 
 
Journal of Human Reproduction යන සගරාව විසින් කරන ලද අධ්‍යයනයකින් සොයා ගනු ලැබුවේ සීනිවලින් රස ගැන්වූ පාන වර්ග පරිභෝජනය සහ අඩු වයසින් වැඩිවයට පත්වීම අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙන බවයි. The Growing up Today Study නමින් සිදු කළ තවත් අධ්‍යයනයක් සදහා 1996 – 2001 වසරත් අතර උපන් වයස අවුරුදු 9 – 14 අතර දැරියන් තෝරා ගනු ලැබුවා. එහිදී සොයා ගනු ලැබුයේ කාබනේට් නොකරන ලද පලතුරු බීම, සීනිවලින් රස ගැන් වූ සෝඩා සහ අයිස් තේ පානය කළ දැරියන් එසේ නොවන දැරියන්ට වඩා ඉක්මනින් වැඩිවියට පත් වූ බවයි. 
 
Medical Hypotheses යන වෛද්‍ය සගරාව විසින් සිදුකරන ලද තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ අධික ලෙස ලූණු සහිත ආහාර ගැනීම ද අඩු වයසින් වැඩිවියට පත්වීම කෙරෙහි බලපෑමක් කරනා බවයි. අධික ලෙස ලූණු ගැනීම නිසා න්‍යුරෝකිනින් බී නම් හෝමෝනයක් ක‍්‍රියාත්මක වන අතර එය ප‍්‍රජනන පද්ධතිය කෙරෙහි බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම අධික ලූණු නිසා පරිවෘත්තීය ක‍්‍රියාවන්ගේ වෙනස්කම් ඇති වන අතර එය ද ප‍්‍රජනන පද්ධතිය කෙරෙහි බලපෑමක් ඇති කෙරෙනවා. 
 
අඩු වයසින් වැඩිවියට පත්වීමේ අතුරු ප‍්‍රතිඵල කලින් තැනක සදහන් කළා සේ අඩු වයසින් වැඩිවයට පත්වන දැරියන් යොවුන් වියේදී විශාදයටත්, වැඩිහිටි වියේ දී පියයුරු පිළිකාවලටත් ලක් වීමේ අනතුරක් තිබෙනවා. පියයුරු පිළිකා ඇතිවන්නට බොහෝ සෙයින් බලපෑම් කරන්නේ ඊස්ට‍්‍රජන් හෝමෝනයයි. එය සිරුරේ තිබෙන කාලය වැඩිවත්ම පියයුරු පිළිකා ඇතිවීමේ හැකියාව ද වැඩි වෙනවා. මේ නිසා අඩුවයසින් වැඩිවයට පත්වෙද්දී එය සිරුරේ ක‍්‍රියාකාරීව තිබෙන කාලය වැඩි වන අතර පියයුරු පිළිකා ඇතිවන්නේ මේ නිසයි. 
 
මේ අහිතකර දෑවලින් ඔබේ දියණියන්ව ඈත් කොට තබන්න කැෆේන්, ඇස්පාර්ටේම්, සීනිවලින් රස ගැන්වූ පාන වර්ග, අධික ලූණු මේ අහිතකර දෑ ලෙස සදහන් කළ හැකියි. ඒ වගේම රසායනික ද්‍රව්‍ය අඩංගු කරන ලද සහ ජානමය වශයෙන් වෙනස් කළ ආහාර වර්ග ද හිතකර නැහැ.හෝමෝන සහ ප‍්‍රති ජීවක අඩංගු කරන ලද මස් වර්ග ආදිය ද මේ ආහාර වර්ගවලට ඇතුළත්. බ්‍රොයිලර්ස් කුකුළු මස් ද මේ නිසා එතරම් හිතකර නොවන බව සදහන් කළ හැකියි. 
 
මේ නිසා ඔබ ආහාර මිල දී ගැනීමේ දී මේවා ගැන සැලකිලිමත්වීම වැදගත්. හැකිතාක් ස්වභාවික ආහාර ගැනීම පවුලේ සියල්ලන්ගේම සෞඛ්‍යයට වඩාත් හිතකර වෙනවා.

උපුටා ගැනීමකි 

Related Articles