Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 08

පිනි වගේද ආදරේ – Episode 08

by LADY.LK

දිනිති හෙට්ටිආරච්චි ලියයි

කාවිංග අශේනිගෙන් එයාට කියලා ඇඳගන්න ඕන චිත්‍රෙට කැමති විදියෙ ෆොටෝ කීපයක් ඉල්ලුවා. මේ මෙසේජ් එක දැකපු අශේනිගේ මූනට අමුතු හිනාවක් එන විත්තිය එතන ම කෑම කකා හිටපු ෂෙනාලි දැක්කා. ඊටපස්සෙ ෂෙනාලි අහපු ප්‍රශ්නෙන් අශේනි ගැස්සිලා ගියා.

ආ කවුද? කාවිංගට කියලා ඇඳගන්න යන චිත්‍රෙද ඒ මෙසේජ් එක දැම්මෙ?

ෂෙනාලි මේ අහන්නෙ, අශේනි ඔෆිස් එකටම ඇහෙන්න කියපු බොරුව ගැන. අශේනිගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගැන. ඒත් දැන් අශේනිට එහෙම අෆයා එකක් නෑ, කාවිංගට කියලා ඇඳගන්න ඕන එයාවමයි කියලා දන්නෙ කාවිංගයි අශේනියි විතරයි. ඉතිං අශේනි ඔළුව වනලා නිකං හිටියා. එතනින් එහාට අශේනිට සිද්ධ වුණේ ෂෙනාලි අහන ප්‍රශ්නවලට ඇඟ බේරගෙන උත්තර දෙන්න.

ඔයා මට කිවුවෙ නෑනෙ බෝයි කෙනෙක් ඉන්නව කියල…

මට කියන්න වෙලාවක් ආවෙ නෑනෙ

මං ඇහුවෙ?

අනේ මට මතකත් නෑ. මට ලැජ්ජා හිතෙන්නැති ඒ වෙලාවෙ.

ඔයාගෙ පළවෙනි අෆයා එකද?

ඔව්

කොහේ කෙනෙක්ද?

ගමේ කෙනෙක්

හ්ම්ම්ම්… ගොඩක් කල්ද?

මෙහෙ එන්න ටික දවසකට කලින් එයා ඇහුවෙ

ඉතිං

මං තාම මොකුත් කිවුවෙ නෑ

අනේ… ඉතිං මේ තෑගි දෙන්නෙ

එයා මට තෑග්ගක් එවුවා..

මොකද්ද එවුවෙ?

මගේ චිත්‍රයක් ඇඳලා. 

ෂා… ඉතිං ඔයාටත් චිත්‍ර අඳින්න පුළුවන්නෙ.

ඔව් ඉතිං

ඉතිං ඔයාටම එයාව ඇඳලා යවන්න තිබුණනෙ

මට එහෙම ඕන නෑ කියලා හිතුනා.

එතකොටම එතනට චමෝදි ආවා. ෂෙනාලි මූනෙ තිබ්බ සැහැල්ලුව නැති කරගෙන තරහවක් මූණට දාගෙන බිම බලාගෙන කන්න ගත්තා. අශේනිටනං චමෝදි ආපු එකෙන් සහණයක් දැණුනෙ. මේ ප්‍රශ්න ඇසෑමේ වාරය අවසන් වුණු එක ගැන තමයි ඒ සතුට. දෙන්නම ටිකකින් සීට්වලට ගියා. එදා හරිම වැඩ දවසක්. තවමත් අශේනි කාවිංගට ෆොටෝ ටික යැවුවෙ නෑ. කාවිංග තව දෙපාරක්වත් ඉල්ලනකං අශේනි බලාගෙන හිටියා. එදා දවසටම කාවිංග ආයෙත් ෆොටෝ ඉල්ලුවෙත් නෑ. අශේනි හිතුවා කාවිංග බිසී ඇති කියලා. හැරිලා බලද්දි කාවිංග හිටියේ ෂෙනාලි එක්ක කතා කර කර. අශේනිට එතනට යන්න හිතුනත්, කාවිංග ෂෙනාලි ඉස්සරහාදි අහන දේකින් මොනවාහරි එළිවේවි කියලා හිතලා අශේනි ගියේ නෑ. 

එතකොටම කාවිංග සීට් එක ගාවට ගිහින් බෑග් එක අරගෙන කරට දාගත්තා. කාවිංග කොහේහරි යන්න හදන්නෙ වැඩකට වෙන්න ඕන. අශේනි ඔෆිස් එකේ දොරෙන් එළියට ගියා. එහෙම ගියේ කාවිංගව මුණගැහෙන්න හිතාගෙන. එතකොටවත් කාවිංග මතක් වෙලා ආයෙත් ෆොටෝ ටික ඉල්ලයි කියලයි අශේනි හිතුවෙ. එළියේ තියෙන සෝෆා එක ගාවදි අශේනිට කාවිංග මුණගැහුනා. 

කාවිංග

ඔව්… මාව හම්බෙන්නද හිටියෙ?

නෑ මං එළියට ගිහින් දැන් ආවෙ.

මං දැක්කනෙ ඔයා මං එන්න ටිකකට කලින් ඇතුළෙ ඉන්නව

මං එළියට යන්න ගිහින් ඔයාව දැකලා නැවතුනේ

ආ ඒක තමයි මාත් බැලුවෙ මොකෝ කියල?

වෙන මොකකටවත් නෙමෙයි නිකං කතා කරන්න.

ආ මං හිතුවා මොකක්හරි විශේෂයක් ඇති කියල අක්කා

අක්කා?

සොරි අශේනි.

විශේෂයක්ම තියෙන්න ඕනද?

නෑ ඉතිං හදිස්සියෙම නිසයි මං එහෙම ඇහුවෙ.

ඔහොමද ඔයා ක්ලයන්ට්ස්ලට කතා කරන්නෙ

ඔයා මගේ ක්ලයන්ට් නෙමෙයිනෙ.

ඇයි නැත්තෙ මං චිත්‍රයක් අඳින්න ඕඩර් එකක් දුන්නෙ.

ඒක කන්ෆර්ම් කරන්න ෆොටෝ එවුවෙ නෑනෙ

මට අමතක වුණා

මං දෙතුන් වතාවක්ම ඉල්ලපු නිසා මං හිතුවා ඔයා කැමති නැතුව ඇති කියලා මට කියලා ඇඳගන්න

එහෙම නෑ අනේ…

හරි එහෙමනං ෆොටෝ දාලා තියන්න.

ඔයා කොහෙද යන්නෙ?

මං යන්නෙ ගෙදර?

දැම්මම?

අද හිතුවට වඩා කලින් වැඩ ඉවරයි. ඉතිං යනව

අපරාදෙනෙ හාෆ් ඩේ එකක්

ඊට වඩා නින්දක් ගහන එක වටිනවා අක්කා. 

එහෙම කියාගෙනම කාවිංග ගියා. අන්තිමටම කාවිංග අශේනිට කිවුවෙ අක්කා කියලා. අශේනිට කේන්තියි. කාවිංග අක්කා කිවුවටත් කේන්තියි. අශේනි කාවිංග ගැන වැරදියට හිතාගෙන හිටියටත් කේන්තියි. අශේනි හිතුවේ කාවිංග පස්සෙන් ඒවි කියලා. ඒත් කාවිංග හිතුවෙ අශේනිට චිත්‍ර ඇඳගන්න එපා නිසා එයාව මගහරිනවා කියලා. මේ හිතේ දුක නැති කරගන්න අශේනි එයාගෙ ලස්සනම ෆොටෝස් 5ක් කාවිංගට යැවුවා. කාවිංග ඒකට හිනා මූනක් එවලා තිබුණා රිප්ලයි එකක් විදියට. අශේනිට පේන්න බෑ ස්මයිලීස් වලින් උත්තර දෙන අයව. ඒත් අශේනි ඉවසුවා. 

පුටුවෙන් ගිහින් වාඩි වුණාම එක දිගටම වැඩ තිබුණා. අශේනි ඔළුව ඉස්සුවේ දවල්ට කන්න යන්න බලාගෙන. ඒත් කෑම එක එළියට ගනිද්දි කෝල් එකක් ආවා. ඒ කාවිංගගෙ ෆෝන් නම්බර් එක. අශේනි කෑම එක අරං එනකං බලාගෙන ඉන්න ෂෙනාලිව මගහැරලා ගිහින් කෝල් එක ආන්සර් කළා.

හෙලෝ… මගේ ෆොටෝ ලස්සනද?

මැඩම්, මේ මහත්තයව දන්නවද?

කාවිංග නෙමෙයිද?

මැඩම් මම මේ මහත්තයව හොස්පිට්ල් ගෙනියන ගමං. වෙලාවට මං ඒ මහත්තයගෙ ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ෆෝන් එක අන්ලොක් කළා.

කාවිංගට මොනව වෙලාද?


ඊලඟ කොටසට…

Related Articles