Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 11

පිනි වගේද ආදරේ – Episode 11

by LADY.LK

දිනිති හෙට්ටිආරච්චි ලියයි

දැන් මේ කතාවෙ වෙලා තියෙන්නෙ එක බොරුවක් වහන් බොරු සීයක් කියන්න වුණා වගේ වැඩක්. ගෙදර ඇතුළෙ ඉඳන් ආපු කාවිංගගෙ නංගි අහපු දෙයින් අශේනිත්, ෂෙනාලිත්, කාවිංගත් පුදුම වුණා.

අක්කාටද අර අයියව හොස්පිට්ල් ගෙනිච්ච අංකල් මුලින්ම කෝල් කරා කිවුවෙ?

ඒ වෙලාවෙ සිද්ධ වෙච්ච අවුල වහගන්න කාවිංග කියපු බොරුව නිසා අශේනිත්, ෂෙනාලිත්, කාවිංග ගෙ නංගිත් පුදුම වුණා.

නෑ ඒ කෝල් එක දීලා තිබුණෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට..

කාවිංග ගෙ මේ උත්තරෙන් මේ කතාව කණපිට හැරෙන්න පුළුවන්. කාවිංග ගෙ නංගි මේ තාක් සිද්ධ වෙච්ච හැම දෙයක්ම තමන්ට කියපු තමන්ගෙ අයියා, එයාටත් හොරෙන් කෙල්ලෙකුට ආදරේ කරනවා කියලා දැනගත්තම ඇති වෙන කුතුහලය එතන තිබුණා. මෙච්චර දවසක් හොරෙන් හොරෙන් ඔෆිස් එකේ මල්ලි කෙනෙකුට හිතෙන් බැඳුනු ෂෙනාලිගෙ ආදර හීන මාලිගා එතනම කඩාගෙන වැටුණා. කාවිංග මේ කතාව කිවුවෙ තමුන්ව බේරගන්න කියලා ෂෙනාලි දන්නවා වුණත්, මේ කතාව බොරුවක් වගේම ඇත්තක් වෙන්නත් පුළුවන් නේද කියලා ෂෙනාලි කලබල වුණා. ඒ නිසා කාවිංග ගෙ උත්තරෙන් පස්සෙ ගෑනු ළමයි තුන්දෙනාම කට උත්තර නැතුව බලාගෙන හිටියෙ.

මුලින්ම ​මේ නිහඬ බව බින්දෙ කාවිංග​ ගෙ නංගි.

අයියා කිවුවෙ ඒ අංකල් කෝල් කරේ ඔෆිස් එකේ ගෑනු ළමයෙකුට කියලනෙ

ඒ මං බොරුවක් කිවුවෙ

ඇයි?

එතන අම්මා හිටියනෙ

ඉතිං

අම්ම ඉස්සරහ කියන්න බෑනෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා

ඇයි අයියා මට මේ ගැන නොකිවුවෙ?

මං ඔයාට කියන්න හිටියෙ චූටි…

කවද්ද?

ළඟදිම…

ඇයි ළඟදිම කියන්න හිටියෙ, කල් ගිහින් කියන්න තිබ්බනෙ…

ඉතිං මට එයාව ළඟදිනෙ හම්බුණේ…

අයියගෙයි නංගිගෙයි ආරවුල නං ටික ටික ෂේප් වෙන තරනට ආවට, ෂෙනාලිගෙ හිත පිච්චි පිච්චි තිබුණෙ. කාවිංගගෙ නංගි ගේ ඇතුළට ගියා. අම්මට අයියගෙ යාළුවො ආපු බව කියලා කෝල් එකක් ගන්නයි, අයියගෙ යාළුවො දෙන්නට තේකක් හදන්න රත් වෙන්න තියපු උණුවතුර කේතලේ සද්දෙ ඇහුණු නිසායි. ඒ වෙලාවෙ ෂෙනාලි මොකුත් නොවුණු විදියට එයාගෙ හිතේ දුකත් හිර කරගෙනම කතාව පටන්ගත්තා.

කාවිංග අපිට කියලා නෑනෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියලා

එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් ම නෙමෙයි අක්කා…

එහෙමනං?

එයා මගෙ ක්‍රෂ් එකක්…

ආ…

කවුද දැන් ඔය ක්‍රෂ් එක?

අක්කට නම කිවුවට එයාව දන්නෑ…

ආ…

එයත් ඔයාට කැමතිද?

දන්නෑ ඒකනං…

කොහොමද එයාව හම්බුණේ?

ෆේස්බුක් එකේ…

ආ නම කියන්න මට.. මං විස්තර හොයලා කියන්නං

අපෝ අපෝ දැම්ම ප්‍රසිද්ධ කරන්න බෑ අක්කෙ

මං කාටවත් කියන්නෑ අනේ..

අනේ අක්කෙ… මං තාම එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නෑ

ආ… ඒ කියන්නෙ මේ නිකං කැමැත්තක්

ඔව් අක්කා

මං ඒත් මේ බය වුණා…

අක්කා ඇයි බය වෙන්නෙ.

නෑ ඉතිං, හොඳට වැඩ කරගෙන ඉන්න අය එතපාරට ඔහොම දේවල් නිසා අවුල් යනවනෙ.

මං එහෙම අවුල් වෙන්නෑ අක්කා…

ඒ කතාව එතනින් ඉවර වුණේ කාවිංගගෙ අම්මා ආපු නිසා. කට්ටියම කතා කර කර ඉඳලා රෑ වෙන නිසා එතනින් ආවා. එන ගමන අතරතුරදිත් ෂෙනාලි කතා කරේ කාවිංගගෙ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන. අශේනි ඒවට මොකුත් නොකියා හූමිටි තිබ්බා.

කවුද දන්නෑ අර කෙල්ල?

හ්ම්ම්ම්…

ඔෆිස් එකේ කෙල්ලෙක් වෙන්න බෑ.

හ්ම්ම්ම්…

මොකද කාවිංග කවදාවත් ඔෆිස් එකේ කෙල්ලෙක් කරේ එල්ලගන්නෑ.

හ්ම්ම්ම්…

ෂුවර් එකට චිත්‍රයක් අඳින්න ආපු ඕඩර් එකක් වෙන්න ඕන.

ඇයි ඒකම හිතුවෙ.

කාවිංගට කෙල්ලෙක් හම්බෙනවනං හම්බෙන්නෙ එතනින්නෙ…

ඇයි එයා ඔයා ගමං බිමං යන්නෙ.

කාවිංග එහෙම ආවට ගියාට කෙල්ලෙක් එක්ක කතා කරන්නෑ.

හ්ම්ම්ම්…

චිත්‍රෙ අඳින්න වුණාම දෙන්නා ටිකක් කතා කරනවනෙ. ඒ අතරෙ තමයි ඕක වෙන්න ඇත්තෙ

හ්ම්ම්ම්…

ෂෙනාලිත් එයා කියාගෙන ගිය කතාව නැවැත්තුවෙ, අශේනි වැඩිය මොකුත් උත්තර නොදෙන නිසා. එතකොටම අශේනිට වට්ස්ඇප් මෙසේජ් එකක් ආවා. ඒ කාවිංග.

බය වෙන්නෙපා.

මොකටද?

මම ගර්ල්ෆ්‍රෙන්ඩ් කිවුවෙ ඔයාට නෙමෙයි.

එහෙමනං…

බොරුවක් කිවුවෙ ඒ වෙලාවෙ ඔයාව බේරගන්න

අශේනි එතනින් එහාට උත්තරයක් යැවුවෙ නෑ. එයාට සතුටු වෙනවද? දුක් වෙනවද? කියලා හිතාගන්න බැරුව හිටියෙ.

ඊලඟ කොටසට…

Related Articles