Autism කියන වචනය මේ වෙනකොට බොහෝ දෙනෙක්ට නුහුරු නුපුරුදු වචනයක් නොවුනත් මේ සම්බන්ධව ප්‍රමාණවත් තරම් දැනීමක් සමාජය සතුව තියෙනවාද කියන කාරණය නම් ගැටළුවක්. මේ නිසා අපි හිතුවා Autism ගැන දැනුවත් විය යුතුයි කියලා හිතෙන අතවශ්‍ය කරුණු කිහිපයක් ගැන කතා කළොත් හොඳයි කියලා. ඉතින් එහෙනම්, 2022 අප්‍රේල් 2 වන දිනට යෙදී ඇති World Autism Awareness Day වෙනුවෙන් lady.lk අපි අරන් එන ලිපිය තමයි මේ.
Autism කියන්නේ මොකක් ද
1943 දි, Leo Kanner කියන යුක්රේනියානු- ඇමෙරිකානු ජාතික වෛද්‍යවරයා විසින් තමයි autism ගැන මුලින්ම සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කරනු ලැබුවේ. සෙමින් මනස වැඩෙන දරුවන් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් තමන් සිදු කළ අධ්‍යනයක් ඇසුරින් ඔහු සොයාගෙන තියෙනවා මේ දරුවන් කිහිප දෙනා තුළම සමාන සහ යම් සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන විත්තිය. ඒ අනුව ඔහු මෙය හඳුන්වනවා, මොළයේ ස්නායු වර්ධනයේ ඇති ගැටළුකාරී තත්ත්වයක් නිසා හටගන්නා සමාජ සබඳතා, සන්නිවේදන කුසලතා සහ හැසිරීම් රටාවෙ ඇති යම් පසුබැස්මක් විදියට. හැබැයි, හොඳින් මතක තියාගන්න, මේක කිසිසේත්ම මානසික රෝගයක් නම් නෙවෙයි.
ඇයි මේ වගේ තත්ත්වයක් ඇත්වෙන්නේ
Autism තත්ත්වයට දරුවෙක් පත් වෙන්නේ ඇයි කියලා හරියටම හේතුවක් කියන්න නම් අපහසුයි. හැබැයි පහතින් දක්වා තියෙන හේතු යම් තරමකට බලපාන්න පුළුවන් කියලා වෛද්‍යවරු සඳහන් කරලා තියෙනවා.
පවුලේ autistic සාමාජිකයෙක් සිටීම, ජානමය බලපෑම්, මව්පියන් වයසින් වැඩි පුද්ගලයින් වීම, අඩු උපත් බර, metabolic imbalances, ගැබිනි සමයේදී මවට ඇතිවන යම් යම් රෝග තත්ත්ව සහ ලබාගන්නා ඖෂධ, ගැබිනි සමයේදී මව විශ සහිත පාරිසරික තත්ත්වයන්ට මුහුණ පෑම වගේ කරුණු මේ අතර වනවා. ඊට අමතරව දරුවා කුඩා වියේදී වැඩි වශයෙන් digital screen වෙත නැඹුරු වීම, වැඩිහිටියන්ගේ අවධානය හිඟවීම සහ දරුවා හුදෙකලා වීමත් මීට බලපාන්න පුළුවන් කියලයි වෛද්‍යවරුන්ගේ අදහස වෙන්නේ.
හඳුනාගන්න පුළුවන් කොයි කාලෙ ද
සාමාන්යෙන් දරුවා ඉපදී පළමු වසර තුන තුළ autism ලක්ෂණ පෙන්වන්න පටන් ගත්තත් මව්පියන්ගේ නොදැනුවත් බව නිසා රෝගය හඳුනා ගැනීම කල් යන්න ඉඩ තියෙනවා. දරුවාගේ සෞඛ්‍ය කාර්ය සටහනේ (clinic card) ඇති කරුණු හොඳින් කියවා අවබෝධ කරගෙන දරුවාගේ milestones එහි සටහන් කිරීම සහ නියමිත දිනට වෛද්‍යවරයාට/ midwife ට පෙන්වා උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වන්නේ මේ හේතුව නිසයි. හැකිතාක් කලින් autism තත්ත්වය හඳුනා ගැනීමත්, ප්‍රතිකාර වෙත යොමු වීමත් තුළින් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් බවත් අමතක කරන්න එපා.
ලක්ෂණ මොනවා ද
දරුවා පෙන්වන යම් යම් අසාමාන්‍ය තත්ත්වයන් නිරීක්ෂණය කරලා දරුවාගේ ගැටළුව කුමක්ද කියලා නිවැරදිවම තීරණය කිරීමේ සහ ප්‍රතිකාර නියම කිරීමේ හැකියාව තියෙන්නේ සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයෙක්ට පමණයි. ඉතින් දරුවා තුළින් කිසියම් අසාමාන්‍ය ලක්ෂණයක් දුටු වහාම ඔබ සිදු කළ යුත්තේ අනවශ්‍ය විදියට කලබල නොවී, කල් නොහැර එවැනි වෛද්‍යවරයෙක් වෙතට දරුවාව යොමු කිරීමයි. සාමාන්යෙන් autistic දරුවෙක් තුළ පහත සඳහන් ලක්ෂණවලින් කිහිපයක් හෝ සියල්ලම දිස්වන්නට ඉඩ තියෙන බවයි සඳහන් වෙන්නේ.
සීමිත පරාසයක් තුළ, එකම දේ නැවත නැවතත් සිදුකිරීම (Repetitive behaviour).
තම චර්යා රටාව (Same routine) වෙනස් කිරීමට ඇති දැඩි අකමැත්ත.
සීමිත ක්‍රියා කිහිපයක්, සීමිත සෙල්ලම් බඩු හෝ ද්‍රව්‍යන් කිහිපයක් කෙරෙහි ඇති අසාමාන්‍ය කැමැත්ත (Obsessions)
පරිසර සංවේදන වලට අසීමිත ඇල්මක් දැක්වීම හෝ අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීම. (Sensory issues, hyposensitivity or hypersensitivity to sensory stimulations)
උදාහරණ විදියට එකම ආකාරයේ ආහාරවලට පමණක් ප්‍රිය කිරීම, එකම cartoon වැඩ සටහන පමණක් දිගින් දිගටම නැරඹීම, එකම වාක්‍ය ඛණ්ඩය නොනවත්වා පැවසීම, අධි ක්‍රියාකාරී බව හෝ අසාමාන්‍ය අළස බව, කථන ප්‍රමාදය, කැරකෙන fan හෝ toy car එකක රෝද දිහා නොනවත්වා බලා සිටීම, තමන්ගේ නමට ප්‍රතිචාර නොදැක්වීම, eye contacts නොමැති වීම, පිරිස වැඩි තැනක සිටීමට ඇති දැඩි අකමැත්ත, light bulb switch එක නොනවත්වා on off කිරීමෙන් සතුටු වීම වගේ ක්‍රියාකාරකම් පෙන්වන්න පුළුවන්. හැබැයි අමතක කරන්නෙපා, දරුවාට autism ද, නැත්තන් මෙය අතිශය සාමාන්‍ය හැසිරීමක් ද කියලා තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්ට ම පමණයි.
සතුටු වෙන්න හේතුත් තියෙනවා
Autism තත්ත්වය සහිත දරුවන් යම් දෙයකට උනන්දු නම් එය ඉතාමත් කැපවීමෙන් සිදු කරන්නට යොමු වෙන බව කියැවෙනවා. මෙවැනි දරුවෙක් ගණිතය, සංගීතය හෝ එවැනි යම් විෂයයක් කෙරෙහි උනන්දු නම් එහි අති දක්ෂයෙක් වීමට වැඩි ඉඩ කඩක් ඇති බව දැනගැනීම autistic දරුවන්ගේ මව්පියන්ට නව බලාපොරොත්තුවක් ඇතිකරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දරුවාට අනිවාර්ය ප්‍රතිකාර සිදුකරන අතරතුරේම ඒ ගැන අවධානය යොමු කිරීමත් ඔහුගේ අනාගත සාර්ථකත්වය සඳහා වැදගත් වෙයි කියලා කියන්න අපි කැමතියි. පහතින් සඳහන් වන web page එකෙන් ඔබට එවැනි ලෝකප්‍රකට දක්ෂයින් ගැන වැඩිදුර විස්තර දැනගන්නට හැකියාව ලැබේවි.
පිළියම් මොනවාද
මේ සඳහා නිශ්චිතම ප්‍රතිකාරයක් නැතත්, දරුවාගේ තත්ත්වයට ගැළපෙන ආකාරයේ ප්‍රතිකාර ලබාදීම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත ම සිදුකළ යුතු ක්‍රමානුකුල කටයුත්තක් වනවා. ඒ අතරට කථන හා භාෂා චිකිත්සාව, අධ්‍යාපන චිකිත්සාව, චර්යාමය ප්‍රතිකාර, වෘත්තීය චිකිත්සාව, සංවේදන චිකිත්සාව සහ දරුවාගේ කුසලතා පදනම් කරගත් චිකිත්සක ක්‍රම අයත් වෙනවා. මෙහිදී මව්පියන්ගේ ඉවසීම, කැපවීම, දරුවාට පීඩනයක් එල්ල නොකිරීම, සෑම විටම සෙහෙහසත් අවධානයත් ලබා දීම සහ දරුවා හුදෙකලා නොකිරීම හරහා මේ ප්‍රතිකාර වඩාත් සාර්ථක කරගන්නට අවස්ථාව උදාවෙනවා.
ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ස්ථාන
ඕනෑම රජයේ රෝහලකින් ඔබට මේ ගැන වැඩි විස්තර ලබාගන්නට හැකියාව ඇති අතර ප්‍රතිකාර සඳහා වන ස්ථාන අතරින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, රාගම වෛද්‍ය පීඨය, කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය වගේ ස්ථාන මූලිකත්වය ගන්නවා.
Autism ගැන කතා කෙරෙන movies කිහිපයක් ගැන මේ ලිපියෙන් දැනගන්න පුළුවන්