Home Health & Wellness ඔයාගෙ ප්‍රතිශක්තියට අත්‍යවශ්‍යම Vitamin C ලබාගන්න පුළුවන් විදි

ඔයාගෙ ප්‍රතිශක්තියට අත්‍යවශ්‍යම Vitamin C ලබාගන්න පුළුවන් විදි

by LADY.LK
Vitamin C

විටමින් සී පෙති ලාබ නිසා Vitamin C කියන්නෙත් ලාබ දෙයක් කියල හිතුවනං ඔයා වැරදියි. Vitamin C කියන්නෙ වටින දෙයක්. මූලිකවම විටමින් සී පෙති අරගන්නෙ එක මූලික ලෙඩකට. ඒ තමයි බොහෝදෙනෙකුට ප්‍රශ්නයක් වෙන සෙම් රෝග. හැබැයි සෙම් රෝගවලට විටමින් සී පෙති ලබා දීම අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරන්නට දරණ උත්සාහයක් බව දන්නෙ බොහොම ටික දෙනයි. ඒ වගේම වැඩිහිටි සිරුරකට දිනකට විටමින් සී මිලිග්‍රෑම් 40ක්වත් අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශයයි. අන්න ඒ නිසා අපි Vitamin C අපේ ඇඟට ලබා ගන්න පුළුවන් වෙනත් විදි ගැන මේ කියන්න හදන්නෙ. 

හතර ගුණයක බලේ – බ්ලැක්කරන්ට්

අපි මුලින්ම බ්ලැක්කරන්ට් පළතුර ගැන කියන්නෙ හේතුවක් ඇතුව. බ්ලැක්කරන්ට් තරමක් හොයාගන්න අපහසු වුනත් බ්ලැක්කරන්ට් යෙදූ විදෙස් නිෂ්පාදන නම් වෙළඳපොලෙන් මිලදීගත හැකියි. ඒ වගේම Vitamin C කියපු ගමන්ම අපිට මතක් වෙන පළතුර වෙන දොඩම්වලට වඩා බ්ලැක්කරන්ට්වල හතර ගුණයක් විටමින් සී බහුලයි. අන්න ඒ නිසාම ඔයාගෙ ප්‍රතිශක්තියට වගේම සමේ ගුණදායක බවටත් මූලිකවම වැදගත් වෙන විටමින් සී අපේ සිරුරට බහුලවම ලබාගන්න පුළුවන් දෙයක් විදියට බ්ලැක්කරන්ට් හඳුන්වන්න පුළුවන්.

කවුරුත් දන්න – දොඩම්

​Vitamin C ගැන මතක් කරද්දි කවුරුත් දන්න දොඩම් ගැන නම් අමතක කරන්න බෑ. මොකද දොඩම් කියන්නෙ ස්වභාවිකව විටමින් සී සිරුරට ලබාගන්නට පහසු හැමෝම දන්න මග. ඒ වගේම දොඩම් සහ ස්වභාවික දොඩම් යුෂ ආශ්‍රිත බීම ජාතිත් වෙළඳපොලේ බහුලයි. අන්න ඒ නිසාම හැමෝම දොඩම් වගේම ජමනාරං ඇතුළු අනෙකුත් සිට්රස් ගණයට වැටෙන පළතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළයි. ප්‍රතිඔක්සිකාරකයක් නිසා පිළිකා සෛල විනාශ කරන්නත් දොඩම්වලින් ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙන බව පැවසෙනවා. ඒ නිසා විවිධ රසට හදන්න පුළුවන් බීම වගේම රසට ආහාරයට ගන්නත් පුළුවන් නිසා මේ මාතෘකාවෙදි දොඩම් අමතක කරන්න බෑ.

රතට රතේ – ස්ට්‍රෝබෙරි

Vitamin C බහුල බව තවත් හොඳටම ප්‍රසිද්ධ පළතුරක් වෙන්නෙ බෙරි වර්ග. බෙරි වර්ග අතරේ අපේ රටේ ප්‍රසිද්ධම බෙරි වර්ගය වෙන්නෙ ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි කියන්නෙ පොඩි ළමයි කන්නත් ආසා කරන පළතුරක් නිසා කුඩා දරුවන්ගෙ සිරුරට ලේසියෙන්ම Vitamin C ලබාදෙන්නට ස්ට්‍රෝබෙරි හරහා පුළුවන්. ස්ට්‍රෝබෙරි ග්‍රෑම් සියයක විටමින් සී මිලිග්‍රෑම් 58.8ක් අඩංගු බව පැවසෙන නිසා වගේම ස්ට්‍රෝබෙරි සිරුරට ලබාගන්න එක ප්‍රතිශක්තියට වගේම අපේ සම නිරෝගී කරන්නත් හේතු වෙන නිසා මේ ලැයිස්තුවට ස්ට්‍රෝබෙරි නැතුවම බෑ.

උදේ කෑමට පහසුම විකල්පය – බතල

බතල කියන්නෙ අපි බොහෝදෙනෙකුට උදේ ආහාරයට පහසු විකල්පයක්. බතලවල තියෙන ස්වභාවික රස නිසා වගේම තම්බාගෙන පොල් එක්ක පහසුවෙන් කන්නටත් පුළුවන් නිසා උදේ ආහාරය හරහා පහසුවෙන්ම අපේ දවසේ Vitamin C අවශ්‍යතාවය පුරවන්නට බතලවලට පුළුවන්. අන්න ඒ නිසාම අපි සතියේ දිනවලින් දවස් කීපයක උදෑසන ආහාරයේ විකල්පය විදියට බතල ආහාරයට ගන්න ගමන්ම අපේ සිරුරේ ප්‍රතිශක්තියත් ඉහළ නංවාගන්න අපිට පුළුවන්.

හැමෝම අඩුවෙන් කන කෑමක් – කිවි

කිවි කියන්නෙ හැමෝම අඩුවෙන් කන ප්‍රසිද්ධිය අඩු කෑමක්. හැබැයි අයිස්ක්‍රීම් වගේම බොහෝමයක් අතුරුපස රස කරන්නට කිවි පළතුරෙන් ලොකු උදවුවක් ලැබෙනවා. ඒ වගේම කිවි ග්‍රෑම් සියයක විටමින් සී මිලිග්‍රෑම් 92.7ක් තියෙන නිසා වගේම ප්‍රතිශක්තියට අවශ්‍ය විටමින් සී පමණක් නොව සිරුරට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය පදාර්ථ එකම පළතුරක් අඩංගු නිසා අපි මේ ලැයිස්තුවට ඉහළින්ම කිවි නිර්දේශ කරනවා.

ආහාරයට එක් කරගත යුතුම – බ්‍රොකොලි

බ්‍රොකොලි කියන්නෙ අපි මේ ලැයිස්තුවේ අඩංගු එකම එළවළුව. ඒ වගේම එළවළුවක් විදියට පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන් දෙයක් විදියටත් බ්‍රොකොලි හඳුන්වන්න පුළුවන්. බ්‍රොකොලි ග්‍රෑම් සියයක විටමින් සී මිලිග්‍රෑම් 89.2ක් අඩංගු නිසා වගේම සරළව සලාදයක් විදියට බ්‍රොකොලි ආහාරයට ගන්න පුළුවන් නිසාත් මේ ලැයිස්තුවට බ්‍රොකොලි හරිම වැදගත්. ඒ නිසා ගොඩක් දෙනෙක් මගහරින බ්‍රොකොලි ඔයාගේ ආහාර වේලට එකතු කර නොගෙන ඉන්න එපා.

Related Articles