Home LifestyleLove & Relationships හැබෑ කරන්න බැරි නම් බොරු බලාපොරොත්තු දෙන්න එපා..

හැබෑ කරන්න බැරි නම් බොරු බලාපොරොත්තු දෙන්න එපා..

by LADY.LK

හැබැහින් තියා හීනෙකින්වත් හැබෑ කර ගන්න බැරි බලාපොරොත්තු අපි කාගේත්  ජීවිතවල තියෙනවා. යටි හිත ඒ දේ කොච්චර ඉල්ලුවත් මේක නම් කවදාවත් හරියන මඟුලක් නෙමෙයි කියලා සමහර වෙලාවට අපි ඒ දේවල් ගණන් ගන්නෙත් නැතුව ඉන්නවා. මේ වෙලාවට තමයි ඉතිං අපිම අපේ හිත් රිද්ද ගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ.

ඔය අතරේ එහෙම පැත්තකට විසිකරලා දාපු සමහර හීනවලට පණ දෙන්න එන අයත් ඉන්නවා. හැබැයි ඉතිං ඇත්තටම ඒ හීනවලට යන්න උදව් කරන අයට වඩා  බොරු ඇඟෑළුම්කම් පෙන්නලා රිදිච්ච හිත දෙතුන්පාරක් රිද්දන අය තමයි ඔය අතර වැඩිපුරම ඉන්නේ..

ඔබ හිතලා බලන්න ඔබ යන්න ආසාවෙන් ඉන්න රැකියාවක් ගැන. ඔබ ආස කරන ඒ තැනට යන්න ඔබ කොයිතරම් හීන බලවද. ඔය අතර කී දෙනෙක් නම් ඔබේ ජීව දත්ත සටහන ඉල්ලගෙන ඇතිද , ඔබත් කී දෙනෙකුට නම් යවන්නට ඇත්ද? හැබැයි මේ වනතෙක් ඒ කිසිවකින් ඔබට ඇමතුමක් හෝ ලැබී නැතුව ඇති. ඔයාව “මම ඒ ජොබ් එකට දාලා දෙන්නම්.අයියෝ ඒක හරි සිම්පල් වැඩක්. මට ඔයාගේ බයෝ ඩේඩා එක්ක එවන්න” හැමෝම කියන සුපුරුදු බොරුව තමයි මේක.

මේ බොරු බලාපොරොත්තුව ඔබ තුළ ඇති කරපු දාපටන්  ඔබ ඒ මනුස්සයාගේ වන්දි බට්ටයෙක් වෙනවා. මොකද ඔබ හිතන්නේ ඔබට ගොඩ යන්න තියෙන එකම මග මේ මිනිහා විතරයි කියලා.  හැබැයි මේ විදිහට අපිට උදව් කරන්න එන  ගොඩක් මිනිස්සු කරන්නේ උන්ගේ තියෙන ලොකු කම් පෙන්නන්න අපේ හීන ඉත්තෙක් කර ගන්න එක. අපට රස්සාවක් හෙයෙලා දෙන්න , අපේ හීන හැබෑ කරලා දෙන්න ඒ මිනිස්සුන්ට කිසි අමාරුවක් නෑ. ගොඩක් මිනිස්සු කැමතියි පිට මිනිස්සු ඉස්සරහා වීරයෙක් වෙන්න. ඒ වීර කමේ එක ජවනිකාවක් තමයි උන් ඔබ ඉස්සරහත් රඟපාලා තියෙන්නේ.

අපිව තේරුම් ගන්න, අපි වෙනුවෙන් එක විනාඩියක් හරි කැප කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නේ  හරි අඩුවෙන්. ඒ මිනිස්සු කවදාවත් පණ දෙන්න බැරි  හීනවලට හුස්ම අල්ලන්න කියන්නේ නැහැ. පාඩුවේ ඉන්න මනුස්සයෙක්ගේ අතඇරලා දාපු හීනවල දිග පළල කියවලා පොරවල් වෙන්න හදන බොරු කයිවාරු කාරයෝ ඉස්සරහා ඔබ කවදාවත් වන්දිබට්ටයෙක් වෙන්න හදන්න එපා. ඒ වගේම තමයි හැබෑවක් කරන්න බැරි නම් කවදාවත් බොරු බලාපොරොත්තු දෙන්නත් එපා. නැති බැරිකම් ඇති හැටියට  බොදා ගෙන ජීවත් වෙන එක ඊටවඩා දාහෙන් සම්පතයි.

Related Articles