Home Food තේ වෙලාවට ගැළපෙන රසවත් ගුණවත් Snacks වර්ග කිහිපයක්

තේ වෙලාවට ගැළපෙන රසවත් ගුණවත් Snacks වර්ග කිහිපයක්

by LADY.LK

මේ ගෙවීගෙන යන්නේ අපි හැම දෙනාටම අසීරු කාලයක් කියන දේ කාටවත් රහසක් නෙවෙයි. ඉතින්, ගෙදරටම කොටුවෙලා ගතකරන මේ ඒකාකාරී ජීවන රටාව මඳකින් හරි වෙනස් කරගන්න කෑම බීම හදන්න බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙනවා. කම්මැලිකමටත් එක්ක නිතර නිතර කෑම බීම හොයන පොඩ්ඩො ඉන්න ගෙවල්වල නම් කොයිතරම් දේවල් හැදුවත් මදි කියලා දන්න නිසාම මේ ලිපියෙන් අපි කියලා දෙන්නේ රසවත් සහ පෝශ්‍යදායි snacks වර්ග කිහිපයක් පහසුවෙන්ම හදාගන්න විදිය ගැනයි.

Potato pattee

අවශ්‍ය නම් සම්පූර්ණ මිශ්‍රනයෙන් එකක් හෝ කුඩා කුඩා ප්‍රමාණවලින් කිහිපයක් හදාගන්නත්, තමන්ට අවශ්‍ය ආකාරයට ලුනු මිරිස් ප්‍රමාණ අඩු වැඩි කිරීමෙන් රසය වෙනස් කරගන්නත් ඔබට පුලුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය:- පොතු ඉවත් කළ අල ගෙඩියක්, garlic paste තේ හැන්දක්, ලොකු ලූණු ගෙඩියක්, බිත්තර එකක්, කෑලි මිරිස් තේ හැන්දක්, ලුණු, ගම්මිරිස්, පාන් පිටි මේස හැන්දක් සහ තෙල්.

සදාගන්නා ආකාරය:- අල ගෙඩිය Grate කරගෙන අයිස් වතුරෙන් සෝදා මිරිකා වතුර ඉවත් කරගන්න. කුඩාවට කපාගත් ළූණු, ගම්මිරිස්, ලුනු, කෑලි මිරිස්, garlic paste, කෑලි මිරිස්, පිටි සහ ගසාගත් බිත්තරය අල සමඟ එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍යනම් පමණක් මොසරැල්ලා චීස් එකතුකර රසය වැඩි කරගන්න පුලුවන්. මේ මිශ්‍රණය තෙල් ගාගත් pan එකක දමා මඳ ගින්නේ, විනාඩි 10- 15ක් පමණ කාලයක්, දෙපැත්ත දමමින් පිසගන්න.

Cream Cracker අග්ගලා

ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් මේ පැණි රසැති අග්ගලා වර්ගය මීට කලින් ඔබ රස බලා නැත්තන් අදම හදලා බලන්න කියලා අපි යෝජනා කරනවා. 

අවශ්‍ය ද්‍රව්‍ය:- cream cracker biscuits 10, ගාගත් පොල්, ලුණු, සීනි

සදාගන්නා ආකාරය:- කැබලි කඩාගත් බිස්කට් ටික blender එකක දමා කුඩු කරගන්න. පොල්, ලුණු, සීනි සහ අවශ්‍ය නම් පමණක් උණුවතුර ස්වල්පයක් එක් කර අග්ගලා සදාගන්න.

Onion rings

කැමති රසයක sauce වර්ගයක් සමඟ රස විඳින්න පුලුවන් මේ snacks වර්ගය වැඩි වෙලාවක් වැය නොකර ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:- ලොකු ළූණු ගෙඩියක්, පාන් පිටි මේස හැඳි 4, බිත්තර එකක්, ලුනු, ගම්මිරිස්, බිස්කට් කුඩු සහ තෙල්.

සදාගන්නා ආකාරය:-  බිත්තර, ලුනු, ගම්මිරිස් සහ පාන්පිටි එක්කර හොඳින් මිශ්‍ර කර batter එක හදාගන්න. ලොකු ළූණු ගෙඩිය රවුම් හැඩයට කපාගෙන රවුම් වෙන් කරගන්න. වෙන්කරගත් රවුම් පාන්පිටි සහ බිත්තර මිශ්‍රනයේ පොඟවාගන්න. ඉන්පසු බිස්කට් කුඩුවල දවටාගත් ළූණු රවුම් ගැඹුරු තෙලේ බැදගන්න.

Yeast roti

මේ රොටී වර්ගය snack එකක් විදියට විතරක් නෙවෙයි රෑ කෑමක් විදියට වුණත් අරගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:- පාන්පිටි කෝප්ප 2, ඊස්ට් තේ හැඳි 1 ½, සීනි තේ හැන්දක්, කිරිපිටි මේස හැන්දක්, ලුනු තේ හැඳි 2, පොල්තෙල් මේස හැන්දක්, බටර් 

සදාගන්නා ආකාරය:- සීනි සහ ඊස්ට් මඳ 2රස්නය ඇති වතුර මේස හැඳි 2-3ක් සමඟ එක් කර, හොඳින් මිශ්‍ර කර පියනකින් වසා විනාඩි 10-15ක් පමණ පිපෙන්නට තියන්න. පාන්පිටි, කිරිපිටි, ලුණු සහ පොල්තෙල් හොඳින් කලවම් කර ඊස්ට් මිශ්‍රනයත් එකතු කර හොඳින් අනාගන්න. මේ මිශ්‍රනය තෙත රෙදි කෑල්ලකින් ( වතුර මිරිකා ඉවත්කළ) වසා විනාඩි 20-30ක් තියන්න. සම්පූර්ණ පිටි මෝලිය කොටස් 4ට කඩා වෙන්කර බෝල සදා තවත් පැය බාගයක් පමණ පිපෙන්නට තියන්න. මේ පිටි බෝලවලින් සාමාන්‍ය රොටි සදාගන්නා ආකරයටම රොටී හදාගන්න. අවශ්‍ය නම් රොටිය පුළුස්සා ගන්න කලින් පිටි බෝලය මැදට මොනවා හරි filling එකක් ( අල බැදුම්, සලාද, මස්/ මාළු/ සැමන් තෙම්පරාදුවක්) දාලා ඒ filing එක එළියට නොයෙන විදියට ප්‍රවේශමෙන් රොටිය පැතලි කරගෙන පුළුස්සාගන්නත් පුලුවන්.

Egg sandwiches

Mayonnaise sauce එකතු කරලා හදන මේ සැන්ඩ්විච් එකට ගෙවල්වල ඉන්න පොඩ්ඩෝ ගොඩක් කැමතිවෙන්න ඉඩ තියෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:- තැම්බූ බිත්තර 2, mayonnaise sauce, දෙහි යුෂ ස්වල්පයක්, ලුණු, ගම්මිරිස් කුඩු, mustard paste, butter, පාන් පෙති

සදාගන්නා ආකාරය:- තම්බාගත් බිත්තර හොඳින් පොඩි කරගන්න. ගම්මිරිස් කුඩු, mayonnaise, ලුනු, දෙහි යුෂ, mustard paste සහ බටර් ගෑරප්පුවක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගෙන බිත්තර සමඟ එකතු කරගෙන පාන්පෙතිවල තවරා sandwiches හදාහන්න. 

Chicken popcorn

අවශ්‍ය ද්‍රව්‍ය:- කටු රහිත කුකුළු මස්  ග්‍රෑම් 500, ලුණු තේ හැන්දක්, ගම්මිරිස්, මිරිස් කුඩු, විනාකිරි තේ හැන්දක්, පාන් පිටි කෝප්පයක්, පාන් කුඩු කෝප්පයක්, බිත්තර 2

සදාගන්නා ආකාරය:- ඉතා කුඩා කැබලිවලට කපාගත් chicken වලට ලුණු, ගම්මිරිස් කුඩු සහ විනාකිරි එකතුකරලා පැය 2ක් පමණ season වෙන්න තියන්න. පාන්පිටි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු හොඳින් මිශ්‍ර කරගන්න. Chicken කැබලි මුලින්ම බිත්තර මිශ්‍රනයේත් ඉන්පසු පාන් පිටි මිශ්‍රනයේත් දවටා අවසානයේ පාන්කුඩු තවරාගන්න. අවසානයට රන්වන් පැහැ වෙනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.

Related Articles