ඔබ අහල ඇති මේ මියුරු ගීතය. රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද රචනය කල, රෝහණ වීරසිංහ මහතා විසින් තනුවද, සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් නිමැවුනු මේ ගීතය ඇත්තටම ගෑණු ළමයින්ට වටිනා කියන දෙයක් කියන ගීතයක්. ගැහැණු දරුවො බොහෝවිට වැඩියෙන් ආදරේ තාත්තටනේ. තාත්තලත් දුවලට වැඩියෙන් ආදරේ බව අපි දන්නව.
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ඉපදුනු දවසේ ඉදලා තමන්ට පුලුවන් උපරිමයටත් වඩා උපරිමයෙන් දුවෙක්ව හදල වඩලා, ඒ දුව ගැන හිතේ හිර වෙලා තියෙන ආදරය – සෙනෙහස ගැනයි මේ ගීයෙන් කියවෙන්නෙ. මේ ගීය අහන දුවලා මේ ගැන හොඳින් හිතන්න. දුප්පත් තාත්ත කෙනෙක් සහ දුවෙක් ඉන්නවා. අම්මා නැති වෙලා. ඉතින් පොඩි කාලෙ ඉදලම කවන එක, ඔළුව පීරන එකේ ඉදන්ම කරන්නෙ තාත්ත. ලොකු වෙන දුව දවසක තරුණයෙක් එක්ක ගියාම තාත්තට දැනෙන හැඟෙන වේදනාත්මක සිතිවිලි ධාරාව තමයි මේ ගීතයෙන් දිග හැරෙන්නෙ.
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
පිටතින් පේන දේට රැවටිලා, දිලිසෙනව කියල හිතන ලාබ – බාල දේකට රැවටිලා දරුවන් අතින් වැරදි සිද්ධ වෙනව. ඒත් දෙමාපියන්ට තමන්ගෙ දරුවව, වරදක් නිසා අයින් කරන්න බැහැ. ඒක තමයි දෙමාපියන්ගෙ තියෙන සෙනෙහස. ලෝකයේ වෙන කිසිම කෙනෙක් ඔබට නොදෙන, ඔබේ දෙමාපියන් විතරක්ම ඔබට දෙන සෙනෙහස ඒකයි.
මේ තාත්ත කියනවා දුවේ, කලිනුත් ගෑණු දරුවො එක එක දේවල් වලට රැවටිලා නගරයේ අය එක්ක ගියා. නමුත් එයාල රැවටුනා. ඒනිසා තමයි මට මේ තරම් දුකක් තියෙන්නෙ කියල. අම්මගෙ තාත්තගේ ආදරේට වඩා වෙනත් දෙයක් ගැන විශ්වාස කරලා වැරදුනු නිසා.
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ
ජිවිතේ වැරදුනා කියල තාත්තගෙ ආදරේ සෙනෙහස අඩු වෙන්නෙ නෑ. එනිසා වැරදුනාට කමක් නෑ දුවේ. ගෙදර ආයෙ එන්න ඔයා මගේ දරුව කියන කාරණේ.
අද සමහරවිට සමහර දුවලට අමතක වේගෙන යන හෝ අමතක වෙච්ච කාරණාවක් වෙන්න පුලුවන්. නමුත් ගැහැණු ළමයි තේරුම් ගන්න, දෙමාපියන් ඇරුනාම අනිත් හැමකෙනාම ඔයා ලගට එන්නෙ ඔයාලගෙ තියෙන වටිනාකම් වලට. එහෙම නැතිව ඉන්නෙ දෙමාපියන් විතරයි. ඒක හරියට තේරුම් අරගෙන හොඳින් ජිවිතය ගෙනියන්න.