Home EducationMotivation කටුක ළමා වියක් ගෙවා පසුව සාර්ථකත්වයට පත් වූ පුද්ගලයින්

කටුක ළමා වියක් ගෙවා පසුව සාර්ථකත්වයට පත් වූ පුද්ගලයින්

by ladylk

ලොව පුරා වෙසෙන බොහෝ පිරිසකගේ ආදර ගෞරවය හිමි කරගන්නට අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ හැම කෙනෙක්ටම ලැබෙන වාසනාවක් නම් නෙවෙයි. තමන්ගේ හැකියාව සහ නොපසුබට උත්සහය නිසා ම ජනප්‍රියත්වයත්, ධනවත් බවත් හිමි කරගත් මේ අයගෙන් බොහෝ දෙනෙක් උපතින් ම සැපවත් ජීවිතයක් උරුම කරගන්නට තරම් වාසනාවන්තයින් වෙලා නම් නැහැ. ඉතින් lady.lk අපි මේ ලිපියෙන් කතා කරන්නේ කටුක ළමා වියක් ගතකර පසුකාලීනව ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් කිහිප දෙනෙක් සම්බන්ධවයි. බලන්න, මේ අයගේ ජීවිත කතාවලින් ඔබටත් ගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා.

Jim Carrey

මේ වන විට චිත්‍රපට 42 කට, tv series 17 කට සහ documentaries 16 කට සහභාගීත්වය ලබා දී ඇති jim Carrey උපත ලබා ඇත්තේ කැනේඩියානු ජාතිකයෙකු විදියටයි. සහෝදර සහෝදරියන් තිදෙනෙක් සමඟ හැදී වැඩුණු මොහුට පවුලේ අගහිඟකම් නිසාම ඉගෙනීම අතහැර රැකියාවක නිරත වන්නට සිදුවෙන්නේ වයස අවුරුදු 15 දියි. ජීවත් වන්නට නිවසක් නොතිබීම නිසා තමන්ගේ පවුලට van රථයක් තුළ ජීවත් වන්නට පවා සිදුවුණු බවත් ඔහු පසුව හෙළිකර තියෙනවා. කොහොම වුණත්, නළුවෙක්, නිෂ්පාදකවරයෙක්, රචකයෙක් සහ comedian කෙනෙක් වශයෙන් ක්‍රියාකරමින් ඩොලර් බිලියන 2.5ක දළ වත්කමක් උපයාගන්නට සමත්වූ ඔහුට ලොව පුරා රසිකයින් බොහෝ පිරිසකගේ ආදරය දිනා ගන්නටත් හැකියාව ලැබි තියෙනවා. 

Oprah Winfrey

මිසිසිපි ආශ්‍රිත දුෂ්කර ගමක පිහිටි තම ආච්චි අම්මාගේ ගොවිපළේ තමන්ගේ කටුක ළමා විය ගතකළ ඇය ඉන් පසුව ස්ථීර වාසයක් නොමැතිව ස්ථාන කිහිපයකම ජීවත්ව ඇති බව පැවසෙනවා. ලිංගික අඩන්තේට්ටම්, අඟහිඟකම් සහ නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දී පසුකාලීනව තමන්ගේ අධ්‍යාපනය අතරමඟ නවතා දමා මාධ්‍යවේදිනියක් විදියට සේවය කරන්නට යොමුවන Oprah මේ වන විට ධනවත්ම self-made කාන්තාවන් අතර ඉහළම තැනක වැජඹෙන්නට සමත්ව සිටිනවා. ව්‍යවසායිකාවක් හා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියට ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති ඇයගේ දළ වත්කම ඩොලර් බිලියන 2.6ක් වශයෙන් සඳහන් වෙනවා.

Howard Schultz

වසර ගණනාවක් මුළුල්ලේම ලෝක ප්‍රසිද්ධ starbucks ආයතනයේ CEO තනතුර දැරූ Howard Schultzගේ දළ වත්කම ඩොලර් බිලියන 4.3ක් පමණ වන බව කියැවෙනවා. සාර්ථක පුද්ගලයෙකු බවට පත්වීම සඳහා තමන්ට උත්තේජනයක් වූයේ, තමන්ගේම දෙමව්පියන් ජීවත් වීම ගෙනගිය අරගලය සහ ඔවුන්ගේ දිළිඳුකම බවත්, ඔහුගේ පවුලෙන් උපාධියක් හිමි කරගන්නට තරම් අධ්‍යාපනයක් ලත් පළමු තැනැත්තා තමන් වූ බවත් ඔහු පසුව සඳහන් කර තියෙනවා.

Stephen King

Horror ගණයට අයත් නවකතා ලියා පළකිරීම  මඟින් ඉමහත් ප්‍රසිද්ධියක් අත් පත් කරගෙන සිටින මෙම වියපත් ලේඛකයාගේ දළ වත්කම මේ වනවිට ඩොලර් මිලියන 500ක් පමණ වනවා. ඒ වගේම තමයි “King of horror” වශයෙන් විරුදාවලියකුත් හිමි කරගෙන සිටින ඔහුගේ පොත් පිටපත් මිලියන 350ක් පමණ විකිණි තිබීම සුවිශේෂී කරුණක් විදියට පෙන්වන්න පුළුවන්. කොහොම වුණත් ඔහු කුඩා කාලයේදීම මව්පියන් එකිනෙකාගෙන් වෙන් වීමත්, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම නිසාත් ඔහුගේ ළමාවියත් එතරම් සතුටුදායක එකක් නම් නොවූ බවටයි සඳහන් වෙන්නේ.

Charlize Theron

අගහිඟකම් සහ අඬ දබර වලින් පිරුණු පවුලක උපත ලැබූ මේ සුරූපි නිළිය කුඩා කාලයේදි දැඩි ලෙස කායිකව හා මානසිකව පීඩනයට පත්වූ තැනැත්තියක් ව සිටි බව පැවසෙනවා. ඇය ලැබූ නරකම අත්දැකීම වශයෙන් හඳුන්වා ඇත්තේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඇයගේම මව විසින් ඇගේ පියාව ඝාතනයට ලක් කිරීමයි. ලොව පුරා කෝටි සංඛ්‍යාත රසික පිරිසකගේ ආදරයට පත්වූ සහ ප්‍රධාන පෙළේ සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ ඇයගේ දළ වත්කම ඩොලර් බිලියන 160ක් පමණ වනවා.

Celine Dion

සුප්‍රකට Titanic චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කළ ඇයගේ දළ වත්කම ඩොලර් මිලියන 800ක් වශයෙන් සඳහන් වෙනවා. සහෝදර සහෝදරියන් 13 දෙනෙක්ගේ බාලම සොයුරිය වශයෙන් උපත ලැබූ ඇයගේ ළමා විය අගහිඟකම්වලින් ගහණ එකක්ව පැවතුණු අතර පසුකාලීනව එම තත්ත්වයෙන් ඔවුන් මිදුනේ Celin ගෙන් ලද සහය නිසා බවත් කියැවෙනවා.

Jan Koum

උපතින් යුක්‍රේන ජාතිකයෙක් වන මොහු වයස අවුරුදු 16 දි ඇමෙරිකාවට සංක්‍රමණය වී තියෙනවා. ජීවත් වීමට තරම් ආදායමක් සොයාගැනීම සඳහා කඩ සාප්පුවල බිම පිරිසිදු කිරීම පවා සිදුකළ Koum තමන්ගේම උත්සහයෙන් පරිඝනක විද්‍යාව හැදෑරූ පුද්ගලයෙක් වශයෙන් සඳහන් වෙනවා. පසුව 2009 වර්ෂයේදී WhatsApp නිර්මාණය සඳහා දායකත්වය ලබා දුන් මොහුගේ දළ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 12ක් පමණ වන බව කියැවෙනවා.

Related Articles