Home EducationToday's World ඔන්ලයින් ෂොපින් / Online Shopping කරද්දි අනිවාර්යෙන්ම මේ ගැන හිතන්න

ඔන්ලයින් ෂොපින් / Online Shopping කරද්දි අනිවාර්යෙන්ම මේ ගැන හිතන්න

by LADY.LK

පහුගිය කාලෙ Covid 19 ව්‍යසනයත් එක්ක බොහෝදෙනෙක් විකල්පවලට අපේ ජීවීතේ ගොඩක් පුරුදු මාරු කරගත්තා. ඒ අතරින් මූලිකම දෙයක් වුනේ ෂොපින්. කඩවල් ගානෙ, ලොකු ෂොපින් මෝල් ගානෙ වින්ඩෝ ෂොපින් කර කර ගියපු අතීතය වෙනුවට වෙබ් ස්ටෝ එකෙන් වෙබ් ස්ටෝ එකට මාරු වෙවී ආසා දේවල් දිහා බල බල ගියපු අපි ෂොපින් කරන්න පහසු වගේම කාලයත් ඉතුරු කරන ක්‍රමයක් ජීවිතයට ලං කරගත්තා කිවුවොත් නිවැරදියි. හැබැයි මේ හොඳ පුරුද්ද අපිට නරකකට හිටින්නත් පුළුවන්. ඒ ඇයි කියල කියන්නයි අපේ මේ සටහන උදවු වෙන්නෙ.

මෙෂර්මන්ට්

ඇත්තටම ඔන්ලයින් ෂොපින් කරද්දි හිතන්න ඕන කරන ප්‍රධානම​ දේ වෙන්නෙ මේ මිළදීගන්නා දේ අපේ අවශ්‍යතාවයේ මෙෂර්මන්ට් එකට අනුකූල වෙයිද කියන එක. සාමාන්‍යයෙන් මෙෂර්මන්ට් කිවුවම මතක් වෙන්නෙ නිමි ඇඳුම් වුනත් මේ කතාව ඇඳුම් විතරක් නැතුව අපි මිලදීගන්නා බීම එකකටත් අදාළයි. උදාහරණයකට ඔයා අන්තර්ජාලයෙන් ගෙන්වා ගන්න ඇඳුමක සයිස් එක වෙනස් වෙන්න පුළුවන් වගේම අන්තර්ජාලය හරහා ගෙන්වා ගන්න පළතුරු යුෂ වීදුරුවක සීනි අධික වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසාම දුටු පමණින් නොරුවටී හොඳට හොයලා බලලා වගේම තමන්ගේ අවශ්‍යතාවයේ මෙෂර්මන්ට් එක හරියට පවසලා අදාළ දේ මිළදීගන්න එක නිරපරාදේ සල්ලි වියදං නොකරන්නට උත්සාහ කරන ඔයා අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්.

හොරු

ඔවු හොරු ඉන්න පුළුවන්. ඒ කොහොමද? බෑග් එකක මිළට බෑග් දෙකක් එවන්නං කියලා, එකක් විතරක් එවන හොරෙක්. එවන්නං කියල මුදල් අයකරගත්තු දෙයක් එවන්නෙම නැතුව ඉන්න හොරෙක් ඇතුළු විවිධ හොරුවර්ග අන්තර්ජාලයේ ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කරන්න තියෙන හිතට පහසුම ක්‍රමය වෙන්නෙ Cash On Delivery ක්‍රමවේදය. ඒ වුනත් බොහෝදෙනෙක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියෙන් මාසය ගොඩ දාගන්න නිසාම මේ කතාව ටිකක් සංකීර්ණය අන්න ඒ නිසායි අපේ සටහනේ ඊලඟට කියන උප මාතෘකා දෙක අතිශය වැදගත් වෙන්නෙ.

රිවීවු

හැම තිස්සෙම රිවීවු සහ රේටිං බැලීමෙන් අපිට අලෙවි කරන භාණ්ඩය සහ අලෙවි කරන පුද්ගලයා ගැන විශ්වාසය වැඩි කරගන්නවා වගේම අපි මිළදීගන්න භාණ්ඩය ගැන යූටියුබ් වගේ තැනකින් විස්තර හොයන එක අන්තර්ජාලයෙන් භාන්ඩ ගෙන්වා ගන්නා අයට අතිශය වැදගත්. ඒ වගේම තමුන් වුනත් අන්තර්ජාලයෙන් මිලදීගන්නා ඕනම දේකට හොඳ හෝ නරක පැවසූ රිවීවු එකක් වගේම රේටිං එක් කිරීමත් අපෙන් පස්සෙ ඒ ගණුදෙණුව කරන කෙනෙකුට වැදගත් වේවි. රිවීවු නැති තාත්කල් හොරුන්ට පහසුවෙන් ඔන්ලයින් ෂොපින් අවකාශයේ ගැවසෙන්න පුළුවන් වෙනවා.

සන්නිවේදන

සන්නිවේදනය කියන්නෙ ඔන්ලයින් ෂොපින්වලදි අත්‍යවශ්‍යම දෙයක්. අන්තර්ජාලය හරහා විදේශයක් සමග වුනත් අපි මිළදීගන්න දේ අලෙවි කරන කෙනා සමග මෙසේජ් හරහා හෝ සන්නිවේදනය කරන්නට අපිට ඉඩ සපයලා තියෙනවා. අන්න ඒ නිසාම ඒ අත්‍යවශ්‍ය සන්නිවේදනය නොකර ඉන්නෙපා. එතනදී අපි මුලින් කියපු අපේ මෙෂර්මන්ට් එක පැහැදිලි කිරීමත්, ඒ අදාළ භාණ්ඩය ගැන අපේ හිතට තියෙන කුඩා ප්‍රශ්න පවා මිළදීගන්නට පෙර නිරවුල් කරගැනීමත් සිද්ධ කරගන්න පුළුවන්.

රූපය

ඔන්න මේ ලැයිස්තුවෙ වැදගත්ම අංගය. ඒ තමයි අපි අන්තර්ජාලය හරහා දෙයක් මිළදී ගනිද්දි යොදාගන්න අපේ එකම සෙන්ස් එක. ඒ තමයි දැකීම. අපිට අල්ලල බලන්න, ඉඹල බලන්න වගේම හොල්ලලා බලන්න බැරි නිසා අපි දකින රූපය ගැන අපිට සියයට සියයක් හිතට විශ්වාසයක් තියෙන්න උවමනායි. අන්න ඒ නිසා නිශ්චිත රූපයක් නැති දෙයක් මිළදීගන්න එක ඔයාට පාඩුවක් වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි. ඒ වගේම ඔයා මිළදීගන්න දේ වුනත් එකවරක් දැකීමෙන් සෑහීමකට පත්වෙන්නට එපා. උදාහරණයකට ඔයා දකින ඇඳුම ඇඳගෙන ඔන්ලයින් ස්ටෝ එකේ ඉන්න මොඩ්ල්ට තියෙන්නෙ ඔයාගේ සිරුරේ හැඩයද? ඒ වගේම ඔයාගෙ තිරය හරහා පෙනෙන පාට ඔයාගෙ හිත කැමතිම පාටද? කියන දේවල් අනිවාර්යෙන්ම හිතන්න. රූපය ගැන හිතට අස්වැසිල්ලක් නැත්තං කවදාවත් ඒ ඔන්ලයින් ගණුදෙණුව සිද්ධ කරන්න එපා කියලයි අපි නං කියන්නෙ.

Related Articles