Home Lifestyle පැරණි අවුරුදු ජන ක්‍රීඩා ගැන දැනගන්න කැමති ද

පැරණි අවුරුදු ජන ක්‍රීඩා ගැන දැනගන්න කැමති ද

by LADY.LK

බත බුලතින්, කැවිලි පෙවිලි වලින්, අලුත් ඇඳුම් පැළදුමින් සහ සතුටු සිනාවලින් ඔප වැටුණු තමන්ගේ අලුත් අවුරුද්ද තව තවත් සුන්දර කරගන්න අපේ පැරැන්නෝ යොදාගත්ත අවුරුදු ජන ක්‍රීඩා කිහිපයක් ගැන තමයි අපි මේ ලිපියෙන් කතා කරන්නේ. හැබැයි ඉතින් වර්තමාන අවුරුදු උළෙලවල් වලදි නම් මේ ජන ක්‍රීඩා දකින්නට අවස්ථාවක් ලැබෙන්නේම නැති තරම්. එහෙනම් අපි මුලින්ම බලමු කොහොමද මේ පැරැණි ජන ක්‍රීඩා වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා.

ජන ක්‍රීඩා වර්ගීකරණය 

කේවළ ක්‍රීඩා, කණ්ඩායම් වශයෙන් තරඟයෙහි යෙදෙන ක්‍රීඩා, කාන්තා ක්‍රීඩා, පිරිමි පාර්ශවයේ ශක්තිය සහ වේගවත් බව මැන බලන ක්‍රීඩා, ජල ක්‍රීඩා, බුද්ධිය මැන බැලෙන ක්‍රීඩා, ගෘහස්ථ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා සහ ආගමික ක්‍රීඩා වශයෙන් මේ පැරණි ජනක්‍රීඩා වර්ග කරන්නට පුළුවන්කම තියෙනවා. කොහොම වුනත් මේ සියල්ලගෙන් ම ඔවුන් මූලිකවම බලාපොරොත්තු වෙලා තියෙන්නේ විනෝදාස්වාදය සහ එකිනෙකා අතර සාමූහිකත්වය වැඩි දියුණු කරගැනීමට අවස්ථාවක් උදා කරගැනීමයි. 

පංච කෙළිය

කණ්ඩායමක් වශයෙන් හෝ, දෙදෙනෙකුට තනි තනිව ක්‍රීඩා කළ හැකි ගෘහස්ථ ක්‍රීඩාවකි. පංච දැමීමේදි ඉත්තෝ විදියට යොදාගන්නේ කුඩා බෙල්ලන් කිහිපයක්. බෙල්ලන් උඩ දමා බිමට වැටීමේදී ලැබෙන අගයන් (උඩුකුරුව වැටෙන බෙල්ලන් ගණන) අනුව පංච ලෑල්ලේ ඉදිරියට යෑම සිදුවෙනවා. මුලින්ම අවසානය කරා ළඟාවෙන ක්‍රීඩකයා හෝ කණ්ඩායම තමයි ජයග්‍රහනය ලබා ගන්නේ. 

ඔළිඳ කෙළිය   

“ඔළිඳ තිබ්බේ කොයි කොයි දේසේ” යනුවෙන් ගැයෙන මේ ජන ගීය ඔබ බොහෝ දුරට අසා ඇති. වළවල් 14ක් සහිත ඔළිඳ පුවරුවක් සහ ඔළිඳ ඇට 56ක් භාවිතා කෙරෙමින් සිදු කෙරෙන තරමක් සංකීර්ණ නීති රීති සහිත ක්‍රීඩාවක් විදියට තමයි ඔළිඳ කෙළිය හඳුවන්න පුළුවන්කම තියෙන්නේ. කොහොම වුණත් අවසානයට වැඩිපුරම ඔළිඳ ඇට අයිති කෙනා තතමයි ජයග්‍රහණය කරන්නේ.

කජු ක්‍රීඩාව 

කජු ඇට 6ක් උඩ දමා බිම වැටුණු පසු ඒ කජු ඇට අතරින් ඇඟිල්ල ගෙනියමින් ඉරක් අඳිනවා. එකම කජු ඇටයක හෝ නොගෑවී ඉර අඳින්න හැකි වුනොත් අදාළ ක්‍රීඩකයාට ඒවා නැවතත් අයිති වෙනවා. සුපුරුදු පරිදි වැඩිපුරම කජු අයිති ක්‍රීඩකයා තමයි ජයග්‍රහණය කරන්නේ.

චක්ගුඩු පැනීම 

එළිමහන් කණ්ඩායම් ක්‍රීඩාවක් වන මෙය කබඩි ක්‍රීඩාවට තරමක් සමාන තරඟ නීති රීති අඩංගු ක්‍රීඩාවක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එක් පිලක ක්‍රීඩකයෙක් ගුඩු ගුඩු කියමින් අනෙක් පිල පැත්තට ගිහින් ඒ පිලේ ක්‍රීඩකයෙක්ව ස්පර්ශ කිරීමට/ පහර දීමට උත්සහ කරනවා. එක් අයෙකුට හෝ පහර දී නැවතත් තමන්ගේ පිලට ගියගොත් ඔහුගේ පිලට ලකුණු එකතු වෙනවා. පහර කෑ ක්‍රීඩකයා තරගයෙන් ඉවත් වෙනවා. පහර දී නැවතත් තමන්ගේ පිලට යෑමට පෙර අනෙක් ක්‍රීඩකයින්ට හසු වුවහොත් ඔහුට තරඟයෙන් ඉවත් වීමට සිදුවෙනවා.

ජල්ලි ගැසීම/ බුහු කෙළිය

උණු අළු සඟවා පදම් කරගන්නා ජම්බෝල ගෙඩියක් යොදාගනිමින් සිදු කරන කණ්ඩායම් ක්‍රීඩාවකි. උඩු පිල සහ යටි පිල වශයෙන් කණ්ඩායම් දෙක නම් කරනු ලබයි. උඩු පිලේ අය විසි කරන බෝලය අල්ලාගැනීමට හැකි වූ යටි පිලේ ක්‍රීඩකයා බෝලය රැගෙන, උඩු පිල බෝලය විසි කළ මුල් ස්ථානයට (පිල් කණුව) දිව යනවා. බෝලය විසි කල පිලේ අයත් උත්සහ කරන්නේ බෝලය නැවතත් අල්ලා ගැනීමට උත්සහ කරන අතරතුරේ ම තමන්ගේ පිල් කණුවත් රැක ගැනීමටයි. බෝලය ඔවුන්ටම අල්ලා ගැනීමට හැකි වුවහොත් තරගයේ ඉදිරියට යෑමට අවස්ථාව ලැබෙනවා. 

මේවර කෙළිය  

කාන්තාවන් අතර ප්‍රචලිත ක්‍රීඩාවකි. එක් අයෙකුට අයත් වළල්ලක් අනෙක් කාන්තාවන් අතරින් කෙනෙක් සඟවා ගනු ලබයි. වළල්ල නැති වූ කාන්තාව තමන්ගේ වළල්ල දුටුවාද යනුවෙන් අනෙක් කාන්තාවන්ගෙන් ප්‍රශ්න කරන්නේ කවියක් මඟින්. පිළිතුරු ලැබෙන්නේත් කවියක් මඟින්මයි. අවසානයට වළල්ල සොයාගන්නා තෙක් ම මේ ක්‍රියාවලිය සිදුවෙනවා.

එළුවන් කෑම

කුඩා දරුවන් විසින් සිදු කරන ක්‍රීඩාවකි. කුඩා දරුවන් පිරිසක් එකිනෙකාගේ අත් අල්ලාගෙන රවුමක් ආකාරයට සිටිනවා. තවත් දරුවන් දෙදෙනෙක් එළුවෙක් සහ කොටියෙක් වශයෙන් පෙනී සිටිනවා. රවුම තුළට සහ පිටතට දුවන කොටියා එළුවාව අල්ලා ගැනිමට වෙහෙසෙනවා. කොටියාගෙන් බේරීම සඳහා එළුවාට සහයෝගය ලබා දෙන්නේ වට රවුමේ සිටින අනෙක් දරුවන්. මේ ක්‍රීඩාවේ විනෝදාත්මක බව වැඩි දියුණු කරගැනීම සඳහා ඔවුන් විසින් ජන ගී කිහිපයකුත් ගායනා කරනු ලබනවා.

පොර පොල් ගැසීම

පන්තිනි මෑණියන් වෙනුවෙන් සිදු කරන ආගමික ක්‍රීඩාවක් විදියට තමයි පොර පොල් ගැසීම හඳුන්වනු ලබන්නේ. මේ නිසා ක්‍රීඩාව ඇරඹීමට පෙර වගේම, ක්‍රීඩා කිරීමේදීත්, ක්‍රීඩාව අවසන් වීමෙන් පසුවත් බොහොම ගෞරවයෙන් පේවී ක්‍රියා කිරීමට තරඟකරුවන් සැළකිලිමත් වූ බව තමයි සඳහන් වෙන්නේ. මේ ක්‍රීඩාවේදීත් පිල් දෙක හඳුන්වන්නේ උඩු පිල සහ යටි පිල විදියටයි. කණ්ඩායම් දෙක වෙන් වන්නේ පිටියේ මැදින් අඳිනු ලැබූ ඉරකින්. ඉදිරියෙන් ම සිටින යටි පිලේ නායකයා අනෙක් පිලට පොලයකින් දමා ගසනවා. උඩු පිලේ සාමාජිකයින් තමන් අත තියෙන පොලයකින් එයට ප්‍රති පහාර එල්ල කරනවා. සාමාන්‍යෙන් මේ ක්‍රීඩාව සඳහා යොදා ගන්නේ ශක්තිමත් කටුව සහිත පොල් ගෙඩි. මේ ආකාරයට කණ්ඩායම් දෙක විසින් පොල්වලින් ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී මුලින්ම තමන්ගේ පොල් ගෙඩි ප්‍රමාණය අවසන් වන කණ්ඩායම ජයග්‍රහණය කරනු ලබනවා.

Related Articles