Home Food උදෑසන ආහාරට රසවත් ගුණවත් ආහාර වර්ග 5ක්

උදෑසන ආහාරට රසවත් ගුණවත් ආහාර වර්ග 5ක්

by LADY.LK

හොඳ නින්දක් නිදාගෙන උදේට නැගිට්ටට පස්සේ ඕනෑම කෙනෙක් කැමතියි දවසම ප්‍රබෝධමත් වෙන විදියේ රසවත් ආහාර වේලක් අරගන්න. උදේ ආහාර රජෙක් වගේ ගන්න කියලා කතාවක් හැදිලා තියෙන්නෙත් අපි දවසේ මුලින්ම ගන්න ආහාර වේල ඒ තරමටම වැදගත් හන්දයි. රසයෙන් සහ පෝෂණයෙන් යුතු උදේ ආහාර වේලක් කෙටි කාලයක් වැය කරලා ලේසියෙන් ම හදාගන්නත් පුලුවන් නම් එය ඔබට විශාල පහසුවක් වෙන බව දන්න නිසා මේ ලිපියෙන් අපි අරන් එන්නේ උදෑසන ආහාරයට ගන්න පුලුවන් කෑම වර්ග කිහිපයක් සකස් කරගන්නා අකාරය යි.

Oats omelette 

බඩත් හොඳට ම පුරවන හැබැයි කැලරි ප්‍රමාණයෙන් අඩු කෑමක් තමයි ඕට්ස් කියන්නේ. ඕට්ස් කන්න පුලුවන් පළතුරු එක්ක විතරක් නෙවෙයි. මෙන්න මේ විදියට Oats වලින් සැරට රසට omelette හදන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය- Steel cut / Rolled කියන වර්ග දෙකෙන් ඕනෑම වර්ගයක ඕට්ස් මේස හැඳි 4ක්, උණු වතුර, බිත්තර 2, ලුණු, සිහින්ව ලියාගත් පොඩි ප්‍රමාණයේ බී ළූණු ගෙඩි 1, සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 2, ගම්මිරිස් ස්වල්පයක්, කෑලි මිරිස් ස්වල්පයක්

සදාගන්නා ආකාරය- Oats ටික උතුරන වතුරට දාලා විනාඩි 5ක් පොඟවගෙන හොඳින් වතුර ඉවත් කරගන්න. බිත්තර දෙක සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කර හොඳින් ගසාගන්න. එයට ඕට්ස් එකතුකරලා සාමාන්‍ය omelette එකක් හදාගන්න විදියටම පිසගන්න. කැමති නම් විතරක් තක්කාලි සහ චීස් එකතු කරගෙන රසය වැඩි කරගන්න පුලුවන්.

දිය බත්

Gastritis වලට හොඳම බෙහෙතක් තමයි දියබත් කියන්නේ. ඒ වගේම Vitamin B සහ C ඇතුළු ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් අඩංගු දියබත් හදාගන්න එක එතරම් අමාරු දෙයකුත් නෙවෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:- රාත්‍රියේ පිසගෙන ඉතිරි වූ බත්, දෙහි ඇඹුල්, ලුණු, රතු ළූණු, තක්කාලි, උම්බලකඩ, උකු පොල් කිරි, අමු මිරිස් 

සදාගන්නා ආකාරය:- රාත්‍රියට පිසගත් බත් එම භාජනයේම ඉතිරි කර වතුර එකතු කරන්න. ඒ බත්වලට ඉඳුල් මුසු වෙලා හෝ බත අතින් අල්ලලා තියෙන්න බෑ. එහෙම වුණොත් බත් නරක් වෙන්න ඉඩ තියෙනවා. බත්වලට වතුර උරාගෙන වතුර ටික හිඳිලා තියෙන විදිය උදේට දකින්න ලැබේවි. මේ බත්වලට උකු පොල් කිරි, සිහින්ව කපාගත් අමු මිරිස්, ගම්මිරිස් ස්වල්පයක්, ලුණු, දෙහි යුෂ, කැපු තක්කාලි, සිහින්ව ලියාගත් උම්බලකඩ සහ සිහින්ව ලියාගත් රතු ළූනු එක් කර ආහාරයට ගන්න පුළුවන්.

තෙම්පරාදු කරගත් කඩල

පොලුයි ලුණු මිරිසුයි එක්ක කඩල කාලා ඇතිවෙලා වගේ ද? කඩල ටික මේ විදියට තෙම්පරාදු කරගත්තොත් නම් ගෙදර හැමෝම බොහොම කැමැත්තෙන් රස බලන්න ඉඩ තියෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය- තම්බාගත් කඩල, සිහින්ව ලියාගත් බී ලූණු, කැබලි කපාගත් පොල්, සිහින්ව ලියාගත් කැරට්/ බෝංචි/ ගෝවා/ ලීක්ස් හෝ ළූණු කොළ, කෑලි මිරිස්, කපාගත් අමු මිරිස්, කරපිංචා, ලුණු, අබ සහ පොල්තෙල්

සදාගන්නා ආකාරය:- තෙල් රත්කර අබ එකතු කර පිපිරෙන්නට තියා පොල්, බී ලූණු සහ කරපිංචා එක් කරන්න. එයට එළවලු, අමු මිරිස් සහ කෑලි මිරිස් එකතු කර මඳ වෙලාවක් පිසගන්න. ‍අවසානයට කඩල සහ රස අනුව ලුණු එකතු කරගන්න.

Fruit smoothie

අතිරේක ආහාර වේලක් හෝ අතුරුපසක් විදියට අපි කෑමට ගන්න පළතුරු උදෑසන ආහාරයටත් කදිමයි. නිතරම Salad හදලා කන්නේ නැතුව smoothie එකක් විදියටත් හදලා රස බලන්න කියලා අපි යෝජනා කරනවා. මේ fruit smoothie එක තමන්ට කැමති වර්ගවල පළතුරු එකතු කරලා හදාගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:- පැපොල් කැබැල්ලක්, අඹ කැබැල්ලක්, කෙසෙල් ගෙඩියක්, දෙහි යුෂ ස්වල්පයක්, vanilla බිඳුවක්, අයිස් කැට, fresh milk/ තැඹිලි වතුර/ වතුර වර්ගවලින් එකක්. 

සදාගන්නා ආකාරය:- සියලුම ද්‍රව්‍ය blender එකේ දාලා මිශ්‍ර කරගන්න විතරයි තියෙන්නේ. අවශ්‍ය නම් විතරක් ලුණු සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්.

පෝෂණ රොටී

හැමදාම කන රොටිය මේ විදියට වෙනස් කරලා පෝශ්‍යදායි විදියට හදාගත්තොත් උදේ කෑම වේලක් විදියට වුණත් අරගන්න පුළුවන්කම තියෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:- කුරක්කන් පිටි සහ පාන් පිටි සමාන ප්‍රමාණවලින්, ගාගත් පොල්, grate කරගත් කැරට්, කපාගත් ගොටුකොළ, ඉතා කුඩාවට කපාගත් කරපිංචා ස්වල්පයක්, කපාගත් රතු ළූණු, කුඩාවට කපාගත් අමු මිරිස්, ලුණු, බිත්තර 1ක්.

සදාගන්නා ආකාරය:- පිටි දෙවර්ගය අඩුවෙනුත් පොල් සහ කැරට් වැඩි වශයෙනුත් එකතු කරලා හදාගන්නවා නම් මේ රොටිය වඩා රසවත් වෙනවා. සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කරලා අවශ්‍ය නම් විතරක් වතුර ස්වල්පයක් එකතු කරලා අනාගෙන සාමාන්‍ය විදියටම රොටිය හදාගන්න. බටර් හෝ ලුනු මිරිස් එක්ක කෑමට ගන්න පුළුවන්.

Related Articles