දිනිති හෙට්ටිආරච්චි ලියයි
කාවිංග හැමෝටම හොරෙන් එවපු කෑම එක කාලා ඉවර වෙලා අශේනි කෙලින්ම ගියේ කාවිංගගෙ මේසෙ ගාවට. එහෙම ගිහින් කාවිංග ගෙන් අහපු ප්‍රශ්නෙට කාවිංග හෙල්ලිලා ගියා.
ඔයා කොහොමද හරියටම දන්නෙ මම කන්න කැමතිම දේවල්.
ඒ ප්‍රශ්නෙට උත්තරේ විදියට කාවිංග කියපු දේට අශේනිත් හෙල්ලිලා ගියා.
මේ මම කන්න කැමතිම දේ…
අශේනිට එතනින් එහා කියාගන්න දෙයක් නැති වුණා. මේක නිකමට හිතුවොත් ආසා කරන දෙයක් ඉස්සරහා අසරණ වුණා වගේ අවස්ථාවක්. අශේනි හිතුවා ඊළඟ දෙබස විදියට කාවිංග ගෙන් සමාව ඉල්ලන්න.
සොරි එදා වෙච්ච දේට.
මොන වෙච්ච දේටද?
අර රෑ කෝල් එක කට් කරපු එකට
ආ… ඇයි ඉතිං එහෙම කරේ ඔයා
මට ලැජ්ජා හිතුනනෙ…
ඒ මොකෝ?
ඔයා මං ගෙදර යනකං බලං හිටපු නිසා
ඉතිං ඒක වැරදිද?
නෑ ඒක හරිම ෂෝක්
එහෙමනං කෝල් එක කට් කරේ
කවුරුත් මට එහෙම කරලා නෑ කාවිංග
කොහොමද?
මං ගෙදර යනකං බලං ඉඳලා
ආ…
ඉතිං හරිනං එහෙම වුණාම ඔයා සතුටු වෙන්නනෙ ඕනෙ
සතුටට තමයි අනේ මට ලැජ්ජා හිතුනෙ
කාවිංග තරමක් වෙලා නිශ්ශබ්දව හිටියා. අශේනිගෙ හිතට සතුටුයි, කියන්න තියෙන දේ කිවුවට. දැන් වටපිටාවෙ අයත් වැඩිය කාවිංගයි අශේනියි කතා කරන දිහා බලන්නෙ නෑ. මොකද දෙන්න දැන් යාළුවො කියලා ගොඩක් අය දන්නවා. ඉස්සර නං දෙන්නා කතා කර කර ඉද්දි චමෝදියි, ෂෙනාලියි ඒ දිහාවට ඇහැ ගහගෙන හිටියෙ. මුලින්ම මෙතන නිහඬ බව බින්දෙ කාවිංග.
මං බයේ හිටියෙ
ඇයි?
මං හිතුවා ඔයා තරහා වුණාද කියලා
ඒ මොකටද?
මං එදා ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියල බලාගන්න හැදුවනෙ
ඉතිං?
මං හිතුවා ඒකට ඔයා මාත් එක්ක තරහා වුණාද කියලත්.
ආ නෑ නෑ… ඒකට තරහා නෑ
හ්ම්ම්ම්….
හ්ම්ම්ම්…
ඉතිං ඇයි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තෙ
හේතු ගොඩක් තියෙනව කාවිංග
ඒ මොනවද? මෙතන කියන්න බෑනෙ. වැඩත් තියෙනවා.
අපි ලන්ච්වලට එළියට යමුද?
එළියට යන්න නං පුළුවන්. ඒත්…
ඇයි ඒත්
මං උදේ කෑම එක කෑවෙ නෑ. ඊටපස්සෙ ඔයා එකක් එවුවා.
ඉතිං
දැන් මගේ ළඟ කෑම දෙකක් තියෙනවා. ඒ දෙකට මොකද කරන්නෙ
අපි එහෙමනං ඒ දෙක අරගෙන ගිහින් පාක් එකේ තියාගෙන කමු
හා මාත් කැමතියි එහෙම.
දවල් ඔෆිස් එකේ හැමෝටම බොරු කියලා කාවිංගයි අශේනියි එළියට පැනගත්තා. හැමෝම වගේ වැඩවල හිරවෙලා හිටපු නිසා දෙන්නටම ඒ වැඩේ ලොකුවට අමාරු වුණේ නෑ. දෙන්නත් එක්ක පාක් එකට ගිහින් හෙවණ තියෙන තැනක් කෑම කන්න තෝරගත්තා.
ඔයාට නියම රසට උයන්න පුළුවන්නෙ
ඔයාට තරං බෑ
මගෙ කෑම එච්චරටම රසයිද?
ඔව් අනේ…
හරි දැන් කියන්න අර කතාව
මොන කතාවද?
ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති එකට තියෙනව කියපු හේතු
හේතු නං ගොඩක් තියෙනවා ඔක්කොම කියන්නං ටක් ගාලා
හා.
ගොඩක් අය නිදහසක් දෙන්නෙ නෑ.
හ්ම්ම් ඒකනං අවුලක් තමයි
අනිත් එක තමයි එයාලා හිතනවා එයාලා කියන එකම කරන්න ඕන කියලා
හ්ම්ම්ම්
ඊට වඩා අවුල් ගොඩක් අය හොයලා බලන්නෙ නෑ
හ්ම්ම්ම්… ආ මං ඒක කරා.
ඔව් ඔයාට ඒකට තියෙනව පොයින්ට් එකක්
දැන් මට පොයින්ට්ස් දෙනවද?
ඔව් දැනටම දීලා තියෙන්නෙ
කොච්චර පොයින්ට්ස් තියෙනවද මට
ඒක කියන්නෑ
නපුරුයිනෙ හරිම
මං නපුරු නෑ කාවිංග
නපුරු නැත්තං කෙනෙකුගෙ හිතට සතුටක් දීලා ආයෙ ගන්නෙ නෑ
මොකද්ද මං දීපු සතුට?
ඇයි කිවුවෙ මට පොයින්ට්ස් දුන්නා කියලා
ඉතිං
ඉතිං ඒකට මට සතුටු හිතුනා. හිතුණු ගමන්ම සතුට ආයෙත් ගත්තා
අශේනිට ඒ කතාවට කකා හිටපු බත් කට උගුරේ හිර වුණා. ඇස් දෙකෙන් කඳුළු පැන්නෙ බත් කට හිර වෙච්ච නිසාද? සතුටටද? කියලා හිතාගන්න බෑ. ඒ කතාව එතනින් ඉවර වුණේ අශේනිගෙ පිට අතගාලා වතුර පොවලා ඉවර කරන්න තරමක් වෙලා ගිය නිසායි. දෙන්නත් එක්ක කෑම කාලා, කතා කර කර ඉඳලා එතනින් නැගිටින්න කලින් අශේනි කාවිංග දිහා ටිකක් වෙලා බලං හිටියා.
මොකද ගිලින්න වගේ බලං ඉන්නෙ
අපෝ ඔව් ගිලින්නම කෙනානෙ
මාව කොහේ ගිලින්නද? බත් කටත් හිර වුණානෙ
ඒ බත් කට නෙමෙයි හිර වුණේ?
එහෙමනං?
මගෙ හිත…
අශේනි නැගිටලා යන්න ගියා. කාවිංගටත් දෙපාරක් හිතන්න වුණෙ නෑ. කාවිංගත් නැගිටලා අශේනි පස්සෙන් ගියා. දෙන්නම පාරෙ තිබුණු ටුක් එකකට අත දාලා ඔෆිස් එක ගාවට යන්න නැග්ගා.
ඊලඟ කොටසට…