Home #BossladyWork Life රැකියාව අතරමැද එන කම්මැලිකමෙන් මිදෙන්න ක්‍රම

රැකියාව අතරමැද එන කම්මැලිකමෙන් මිදෙන්න ක්‍රම

by LADY.LK

රැකියාව කරන අතරේ, අපි හැමෝටම සිද්ධ වෙන්න පුළුවන් රැකියාවට බලපෑමක් කරන දෙයක් තමයි කම්මැලිකම. ඒක ඕනම කෙනෙකුට ඕනම මොහොතක දැනෙන්න පුළුවන් දෙයක්. ඒවගේම ඒකෙන් අපේ වැඩ මගහැරෙන්නට වගේම, ඒ හරහා තවත් ගොඩක් අලකලංචි සිද්ධ වෙන්න පුළුවන්. මේ කතාව කියන්න අන්න ඒ විදියට කම්මැලි නොවෙන්න ඔෆිස් එකේදි කරන්න පුළුවන් වැඩ කිහිපයක්. මේ වැඩ කිහිපය ඒ තරම් ලොකු වැඩ නොවුනත් අපිත් නොදැණුවත්වම මනසට හොඳ තල්ලුවක් මේ දේවල්වලින් ලැබේවි.

Fresh මේසයක්

මේ කියන්නෙ අපි වැඩ කරන මේසෙ ගැන. හැමදාම ආවම ඊයෙ දාලා ගිය තැනින් කොල පුරවගෙන වැඩ පටන්ගන්නෙ නැතුව පොඩ්ඩක් මේසෙ අස් කරගන්න. උපරිම මිනිත්තු 5ක් ගත වේවි. මේ වැඩේ සරළවම දූවිලි ටිකක් පිහදාලා, අවශ්‍ය කරන බඩු භාණ්ඩ අවශ්‍ය තැන්වල තියලා, බෝතලේට වතුර එකක් පුරවලා, පරණ ස්ටිකී නෝට්ස් අයින් කරලා, අලුත් ටාස්ක් සෙට් කරගෙන වැඩ පටන්ගන්න එක. ඒ වගේම මේසය ගාවින් ආසසම සුවඳ තියෙන එයා ෆ්‍රෙෂ්නර් එකක් එල්ලගන්න එකත් ඔයා අවට ෆ්‍රෙෂ් වෙන්න හොඳ හේතුවක් වේවි. ඒ වගේම වැඩ කරන්න කළින් එළියෙ ඉඳන් දාඩිය දාගෙන ආපු වෙහෙස නිවෙන්න මූන පොඩ්ඩක් හෝදාගෙන හෝ වෙට් ටිෂූ එකකින් මුහුණ පිහදාගෙන Fresh විදියට දවසෙ වැඩ ටිකට සෙට් වෙන්න පුළුවන්.

හැකිතරම් අඩු වෙලාවක්

පුළුවන් තරම් අඩු වෙලාවක් වැඩ කරන්න ප්ලෑන් කරන එකෙන් වැඩවලට හොඳක් සිද්ධ වෙනවා. උදාහරණයකට ඔයා දවසකට පැය අටක් වැඩ කළ යුතු කෙනෙක් නම් ඔයා ඒ වැඩ පැය 6න් ඉවර කරන්න ප්ලෑන් කරන්න. මේ ක්‍රමය හැම රැකියාවටම හරි නොයන්නත් පුළුවන්. හැබැයි මේ ක්‍රමය නිසා අපි දවසේ වැඩ ඉක්මනින් ඉවර කරන්න වැඩ කරනවා. ඒ නිසා අපේ කාර්යක්ෂම බව උපරිමයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම අපි නිතරම අපිට ලැබෙන පැය දෙකක වැඩිපුර විවේකය ගැන හිතනවා. ඒ නිසාත් අපේ මනසට වාසියක් ලැබෙනවා. මේ ක්‍රමය අපි නිකරුණේ ගත කරන කාලය නැති කරන්න කදිමයි.

පොඩි කොටස් අතර කෙටි විවේකයක්

රැකියාවේ ඔයාට කරන්න තියෙන වැඩ කඩන්න පැය බාගයේ කොටස්වලට. මේ පැය බාගය ඇතුළෙ ඔයා අවසන් කරන්නෙ මොන වැඩ කොටසද කියන දේ ගැන හදාගන්න ප්ලෑන් එකක්. මිනිත්තු විසිපහක් වැඩ කරලා. එයින් මිනිත්තු පහක කෙටි විවේකයක් ගන්න. මේ විදියට ඔයාගෙ වැඩ කොටස් විදියට අවසන් කරන ගමන් ඔයා අවසන් කරපු කොටස්වලට පොඩි ටික් එකක් දාන්න. දැනට ඉවර වෙලා තියෙන වවැඩ දැකීමත් ඔයාගෙ හිතට සහනයක් වේවි. ඒ වගේම මේ කෙටි විවේකය ඔයාගෙ මනසට උපරිම සැහැල්ලුවක් දෙන දෙයක් කරන්න. තරමක වෙලාවක් ඇස් පියාගෙන සිටීමත් ඇතැම් වෙලාවකට සැහැල්ලුවක්. හැබැයි මේ විවේකයට පෙර වැඩ කරන කාලයේ කිසිම බාහිර සාධකයකට ඔයාගෙ මනසට ඇතුළු වෙන්න දෙන්න එපා. කාර්යාලයේ සගයෙක් වුනත් ඔයාට බාධා නොකරන බවට වග බලාගන්න.

ෆෝකස් පිට

අපි කළින් කියපු කාරණේට මේ කාරණේ සම්බන්ධයි. අපි වැඩ කරන වෙලාවට අපේ ෆෝකස් එක බිඳෙන ප්‍රධානම දෙයක් තමයි බාහිරින් එල්ල වෙන බලපෑම්. මචං පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් එමුද?, මචං අර ෆිල්ම් එක බැලුවද?, මේ අද කිරි ​ටොෆි වගයක් හම්බුනා, කමුද? වගේ බාධක ගොඩක් මුලින්ම එල්ල නොවෙන්න සිද්ධ කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා වැඩේට ෆෝකස් පිට ඉන්නෙ කියලා අන් අයට අඟවන එක. ඒක කරන්න පුළුවන් සරළ නෝටිස් එකකින්. ඔයා ඔයාගෙ පුටුවේ අනිත් අයට පෙනෙන පැත්තේ හෝ ඔයාගෙ මේසයේ අලවාගන්න පොඩි නෝටිස් එකක්. ඔයාට කරදර කරන්න එපා. ඔයා වැඩක ඉන්නෙ කියල. එහෙම වුනාම ඔයාට කිරි ටොෆි කන්න බල කරන එකක් නෑ.

බුදිමත

අපි මේ කියන්නෙ නිදිමත ගැන නෙමෙයි. බුදිමත ගැන. බුදිමත එන්නේ දවල් ආහාරය බුදින්න ගිහින් වැඩිපුරත් එක්ක කාලා ආවම. ඒක අවම කරන්න කියලයි මේ ඉල්ලන්නෙ. ගොඩක් වෙලාවට අපි කරන්න පුටුවක වාඩි වෙලා දවසම වැඩ කරන එක. අපිට රස්සාව කරන ගමන් ට්‍රෙඩ්මිල් එකක දුවන්න බැරි නිසා අපි සිද්ධ කරන්න ඕන ශරීරය තරබාරු වෙන එක අවම කරගන්න අපිට කරන්න පුළුවන් අනිත් එකම දේ කරන එක. ඒ තමයි කෑම පාලනය. අපේ මේ කම්මැලිවෙන කතාවටත් කෑම පාලනයෙන් උදවුවක් තියෙනවා. ඒ දවල්ට ​ගොඩක් කාලා ආවම දැනෙන නිදිමත මගහැරෙන එක. නැත්තං ඉතිං ඔය නිදිමත දැණුනා කියන්නෙ හවස පැය දෙකක්ම ඉවරයි කියන එක තමයි.

වැදගත් බ්‍රේක්

ඔයාලා ඔය වැඩ කරන අතරේ ගන්න කෙටි විවේකය තියෙනවානෙ. අන්න ඒ විවේකය වැදගත් කරගන්න එක තමයි අපි මේ කියන්නෙ. මේ වැඩේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විවේකයට කරන වල්පල් කතා බහ හෝ සින්දු අහන එක වෙනුවට රැකියාවට අදාළ දෙයක් ගැන හොයන්න පොඩි වෙලාවක් තියාගන්න. මේකට අපි රෙකමන්ඩ් කරන හොඳම දේ තමයි ​පොඩ්කාස්ට්. ඔයා කරන රැකියාවට අදාළ ඕනතරම් පොඩ්කාස්ට් මේ වෙද්දි තියෙනවා. ඒ අදහස් ගැන සිද්ධ වෙන කතාබහ අහන එක ඔයාගෙ මනසට සැහැල්ලුව සහ දැණුම කියන දෙකම ලබා දෙනවා.

Related Articles