Home FoodNutrition බොම්බිලි කමු.. යම් යම්!

බොම්බිලි කමු.. යම් යම්!

by LADY.LK

ලංකාවේ බොහෝ දෙනෙකුට “බොම්බිලි” කිව්ව පමණින් මතකයට එන්නේ කුණුගඳක් තියෙන කරෝල වර්ගයක්නෙ. කොහොම වුනත් අමිහිරි දුගන්ධයක් හිමි මේ කරවල සමහර ග්‍රාමීය, මෙන්ම නාගරික වැසියන්ගේද ජනප්‍රිය කෑමක් කියලත් කියන්න ඕනෙ. රෑකට එහෙම මේ බොම්බිලි කරවල බැද්දොත් එහෙම මළපෙරේතයෝ කෙසේ වෙතත් ගමේ ඉන්න බල්ලෝ-බළල්ලු ටික නම් පෙරේතකමින් පිළිකන්නේ වලිකන හැටි බලාගන්න පුළුවන් ඔයාලට..


ඇත්තටම මොනවද මේ “බොම්බිලි”? ලංකාවේ අපි මේ කරවල වලට බොම්බිලි කිව්වට මොකෝ ඉන්දියාවේ අය නම් කියන්නේ “Bummalo” කියලා. ඉංග්‍රිසියෙන් කියන්නේ “Bombil” කියලා. “Duck Fish” නැත්නම් “Lizard Fish” කියන්නෙත් මෙයාටම කියලා තමයි ගොඩක් අය කියන්නෙ. “Bombay Duck” කියන්නෙත් මේ බොම්බිලිවලටම තමයි. “ඩක්” කිව්වට මොකෝ තාරාවෙක්ගේ පෙනුමට ලඟින්වත් යන්නෙ නැති මේ මාළු වර්ගය අපි පරිභෝජනයට ගන්නේ කරවල විදිහට.


බොම්බායේ, ගුජරාටයේ සහ ගෝවා හි මුහුදේ රංචු ලෙස ජීවත් වෙන මේ මාළු; ඉස්සන්, කුඩා මසුන් තමයි අහාරයට ගන්නෙ. ශරීරයට වඩා විශාල හකු ඇති අප්‍රසන්න පෙනුමින් යුක්ත මේ බොම්බිලි කියන මාළුන්ගේ මස ජෙලි ස්වභාවයක් ගන්නවා. ඒ වගේම අඳුරේදී මෙයාලගෙ ඇගෙන් ස්ථූරදීප්ත එළියකුත් විහිදෙනවා කියලා තමයි කියන්නෙ. මෙම මත්ස්‍ය වර්ගය ධීවරයන් විසින් හඳුන්වන්නේ මුහුදු පතුලේ රාක්ෂයා කියලා. පෙනුමත් ඉතින් ටිකක් දරුණුවටම තියෙනවනෙ.


මෙම මසුගේ අප්‍රසන්න පෙනුමත්, දුර්ගන්ධයත් නිසා එය දුප්පතාගේ මසු ලෙස පිළිගැනීමකුත් තියෙනවා ඉන්දියාවේ. ඒ කොහොම වුනත් ඉන්දියාවේ සමහර මුහුදු බඩ ප්‍රදේශවල මෙම බොම්බිලි ප්‍රනීත ආහාරයක් ලෙස සෑහෙන්න ප්‍රසිද්ධයි. පැකට් කල සහ ටින් කල බදින ලද බොම්බිලි සුපිරි වෙළඳ සැල්වලත් විකිණීමට තියෙනවා ඉන්දියාවේ. ඉස්සර සමූපකාරවල සහ සතොසේ සලාකවලටද බොම්බිලි නිකුත් කරා කියලා කියනවනෙ. අපේ රටවල් වල එහෙම වුනාට එංගලන්තයේ එහෙම නම් මේ බොම්බිලි ආනයනය තහනම් කරලත් තිඹුණා කාලයක්. හැබැයි පස්සෙ කාලෙදි මේ කරවල වල ජනප්‍රිය බව නිසාම එංගලන්තයේත් තහනම ඉවත් වුනා කියලා තමයි කියන්නෙ නම්. එංගලන්තයේ ජීවත් වෙන ඉන්දියානුවන් හින්දා එහෙම වුනා වෙන්නත් පුලුවන් හැබැයි. ඒ කොහොම වුනත් මේ වෙනකොට එංගලන්තයේ වගේම කැනඩාවේ සමහර පැතිවල බොම්බිලි කියන්නෙ බොහොම ජනප්‍රිය කෑමක්.


ඉතින් අපේ රටෙත් බොම්බිලි බැදුමක් එක්ක බත් පිඟන් දෙක තුනකට වුනත් වග කියන්න පුලුවන් කට්ටිය ඉන්න එකේ එහෙනම් තවත් දවසක බොම්බිලි කරවල වලින් රසම රස බැදුමක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්කෝ..

Related Articles