දිනිති හෙට්ටිආරච්චි ලියයි
අශේනි ඇහැරුනේ ෂෙනාලිගෙ කෝල් එකෙන්. ඒ කෝල් එක ආවෙ කාවිංගව බලන්න කාවිංගගෙ ගෙදර යන්න එන්න කියන්න. ෂෙනාලි කෝල් එකෙන් කාවිංග ගැන අහද්දි ඒ ගැන ඇහුවෙ “මගෙ කොල්ලට ගොඩක් අමාරුද?” කියලා. ඒක ගැන කාවිංගත් අශේනිගෙන් ඇහුවා. අශේනිගෙ හිතේ කාවිංග ගැන පැහැදීමක් ඇති වේගන එද්දිම ඒ අදහස් ඔක්කොම කැඩිලා බිඳිලා යයිද කියලා අශේනි හිතුවා. මේ ගැන හිතලා අද හවස ගමන යන්නත් අශේනිට හිතක් තිබුණෙ නෑ, ඒත් ෂෙනාලි එක දිගටම කියපු නිසා දැන් මේ ගමන නොයා ඉන්න බැරි විත්තිය අශේනිට තේරුණා. ඒ නිසා අශේනි කෝල් එක ආන්සර් කළා.
මේ මම ඔෆිස් එකෙන් ලීවු වුණා
හරි ෂෙනාලි මම දැන් කොහෙටද එන්න ඕන?
ඔයා තව පැය බාගෙකින් ගෙදරින් එන්න. දෙහිවල හන්දියට එන්න.
හරි. ඔයා?
මම දැන් දෙහිවල හන්දියට එන ගමන්.
ඔයා දැන් ඇවිල්ලා මම එනකං බලං ඉන්න වෙයිනෙ
නෑ මම ලෙඩා දුකාට මොනවාහරි අරගන්නං
මමත් එනකං ඉන්න බැරිද?
කමක් නෑ අශේනි මම අරගන්නං.
හරි එහෙමනං. මං නිදාගෙන හිටියෙ. දැන් ලෑස්තිවෙන්නං.
හරි.
අශේනි හිතුවා ෂෙනාලි කරන මේ දේ ගැන. ෂෙනාලි වෙනම ගිහින් කාවිංගව බලන්න යන්න මොනවාහරි ගන්නෙ, විශේෂ දෙයක් ගන්න බලාගෙන වෙන්න ඕන. ඒ නිසා අශේනිත් ගෙදරින් ඇවිල්ලා පළතුරු ටිකක් අරගෙනම ටුක් එකක දෙහිවලට ගියා. ෂෙනාලි ඒ වෙද්දිත් දෙහිවලට ඇවිල්ලා හිටියෙ. අශේනිව දැක්ක බගමං ෂෙනාලි කතාව පටන් ගත්තා.
ආ ඔයා පළතුරුත් ගත්තද?
ඔයා මොනවද ගන්නවා කියපු නිසා මම පළතුරු ටිකක් අරං ආවා
ආ මමත් මේ කෑම බීම ටිකක් එක්ක කාඩ් එකක් ගත්තා.
කාඩ්?
ඔව් විෂ් කරලා කාඩ් එකක්
ආ මම එහෙම එකක් ගත්තෙ නෑනෙ
කමක් නෑ ඔයා අද හොස්පිට්ල් එකේදි එයාට විෂ් කරන්න ඇතිනෙ
ඒ ඇයි එහෙම හිතුවෙ
නෑ ඉතිං ඔයා කිවුවෙ එයාව හම්බුණා කියලා
ආ හම්බුණාට මං විෂ් කළේ නෑ
ඇයි?
විස්තර ඇහුවා විතරයි. මට අමතක වුණා.
අනෙ අනෙ…
ඒකනං එච්චර ගානක් නෑ නේද?
ඔව් ඔව් ඒක අවුලක් නෑ.
ඔයා කාවිංගගෙ ගෙදරට යන පාර දන්නවද?
ඔව් මං බොස්ගෙන් අහගෙන ආවා…
හ්ම්ම්ම්ම්…
දෙන්නත් එක්ක කාවිංගගෙ ගෙදරට ගියා. ගෙදර හිටියෙ කාවිංගයි, නංගියි විතරයි. අම්මා හිටියෙ නෑ. දෙන්නත් එක්ක ගෙදර ඇතුළට යද්දි කාවිංග පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.
ෂෙනාලි අක්කා…
මොකද මේ කරගත්තා කියන්නෙ..
මං මේ බයික් එකෙන් වැටුනනෙ.
හැමදාම පිස්සෙක් වගේ යනවනෙ
අනේ කෑගහන්න එපා අක්කා දැන්
ඇයි?
නංගි දැන් බැනලා බැනලා නැවැත්තුවා විතරයි.
ඉතිං හොඳයිනෙ
අක්කා… මං හිතලා හප්පගත්තෙ නෑ.
හරි දැන් කෝ අම්මා?
අම්මා කඩේට ගියා මං හිතන්නෙ. මං නිදාගෙන ඉඳලා දැන් ඇහැරුණේ..
අශේනියි ෂෙනාලියි ගෙදර ඇතුළට ගියා. ටිකකින් ෂෙනාලි වොෂ්රුම් එකට ගියා. අශේනිට කාවිංගට කියන දෙයක් කියන්න ඉතුරු වෙලා තිබුණේ ඒ වෙලාව විතරයි.
කාවිංග පොඩි උදව්වක් ඕන
කියන්න අක්කා..
ඒ අක්කා කියපු එකට මං පස්සෙ රණ්ඩු කරන්නං. දැන් මං උදව්ව ඉල්ලන්නං.
කියන්න.
ෂෙනාලිට මම කිවුවෙ නෑ ඔයාව අරගෙන ගිය ඩ්‍රයිවර් මට කෝල් කරා කියලා
ආ
මම එයාට කිවුවෙ මම හොස්පිට්ල් ගියාම ඔයාව හම්බුණා කියලා විතරයි.
ආ… ඉතිං එයා වැරදියට හිතයිද ඇත්ත කිවුවොත්
ඔව්නෙ
ඇයි?
එයාලා කවුරුත් දන්නෑ අපි දෙන්නා කතා කරනවා කියලා
ඒ මොකෝ..
මං එයාලට කිවුවෙ මගෙ ෆොටෝ එකක් අඳිනවා කියලා නෙමෙයිනෙ.
ආ ඔව්නෙ…
හරි හරි.. මං මොකුත් නොකියා ඉන්නං.
ටිකකින් ෂෙනාලි ආවා. ෂෙනාලි ආවෙ කාවිංගගෙ නංගිත් එක්ක කතා කර කර. දෙන්නා කතා කර කර ආවෙ කැම්පස් වැඩ ගැන. එතනට ඇවිත් වාඩි වුණාම කාවිංගගෙ නංගි ෂෙනාලි එක්ක කතා කරන එක නවත්තලා අශේනි එක්ක කතා කරන්න ගත්තා.
අක්කාටද අර අයියව හොස්පිට්ල් ගෙනිච්ච අංකල් මුලින්ම කෝල් කරා කිවුවෙ?
අශේනියි කාවිංගයි මූනට මූන බැලුවා. දැන් කරගන්න දෙයක් නැහැ. ෂෙනාලි මූන දිහා බලාගෙන ඉන්නවා. දෙන්න උත්තරේකුත් නෑ. අශේනි මොහොතක් විතර අන්දමන්ද වෙලා ඉඳලා උත්තර දුන්නා.
නෑ මට නං කවුරුත් කිවුවෙ නෑ…
ඒ වෙලාවෙම කාවිංග පැනලා බොරුවක් කිවුවා.
නෑ ඒ කෝල් එක දීලා තිබුණෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට..
එක පාරටම ෂෙනාලියි අශේනියි නංගියි තුන්දෙනාම පුදුම වුණා…
ඊලඟ කොටසට…