Home EducationSelf-Help මේ ප්‍රථමාධාර දැනගෙන ඉන්න එක ජීවිතයට ප්‍රයෝජනවත් වේවි

මේ ප්‍රථමාධාර දැනගෙන ඉන්න එක ජීවිතයට ප්‍රයෝජනවත් වේවි

by LADY.LK

අවදානම් කියන එක ඕනම ​මොහොතක ජීවිතයට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි අවදානම වෙනුවෙන් සූදානමින් ඉන්න එක හොඳයි. මේ කියන්න යන්නෙත් අවදානම වෙනුවෙන් සූදානම් වීමක් ගැන. Lady.LK අපි හිතුවා අද කතා කරන්න ප්‍රථමාධාර ගැන. ප්‍රථමාධාර කියන්නෙ වෛද්‍ය උපදෙස් හා වෛද්‍යාධාර ලබන්න කලින් මූලිකව කරන්න පුළුවන් දේ. ප්‍රථමාධාර නිසා හානිය අවම කරගත්තු සහ ජීවිත පවා බේරාගත්තු අවස්ථා තියෙන බව ඔයාලත් දැන් දන්නවා ඇති. මේ කියන්න යන්නෙ සාමාන්‍ය ජීවිතයෙදි ප්‍රථමාධාර ලබා දිය යුතු අවස්ථා සහ ක්‍රම කිහිපයක්.

ඇහැට රොඩ්ඩක් ගියොත්

මේක අපි ඕනම කෙනෙකුට සිද්ධ වෙන සුලබම දෙයක්. මොකද එළිපහලියෙදි වගේම ගෙයක් ඇතුළෙදි වුණත් ඇහැකට රොඩ්ඩක් යන්න ඉඩ තියෙනවා. මේ කියන්නෙ විශේෂ යමක් නම් නෙමෙයි. මේක සිහිපත් කිරීමක්. ඇහැකට රොඩ්ඩක් ගිය ගමන් අපි කරන්නෙ අතින් පොඩි කරන එක. ඒක තමයි නොකළ යුතුම දේ. ඇහැකට රොඩ්ඩක් ගියාම ඇහෙන්ම කඳුළු නිපදවෙනවා. ඒ අනිච්ඡානුගව සිද්ධ වෙන ක්‍රියාව නිසා කඳුළු එක්ක රොඩ්ඩ පිටවීමට ඉඩ තියෙනවා. ඒ වගේම කරන්න පුළුවන් එකම දේ තමයි පිරිසුදු ජලයෙන් ඇහැ හෝදන එක. ඇහැ ඇතුළට වතුර බින්දු ඇතුළු වෙන විදියට මේ වැඩේ කරන්න ඕන. ඇහැ කියන්නෙ අපේ ශරීරයට තියෙන සංවේදීම අවයවයක් නිසා, ඉතාම පරිස්සමෙන් මේ දේ සිද්ධ කරන්නත් උවමනායි.

ක්ලාන්තය

අපිට නිතර දකින්නට ලැබෙන සුලබ දෙයක් වුණත් අපි ඕනම කෙනෙක් මේ දේ දුටුවොත් කළබල වෙනවා. මොකද පළවෙනි දේ තමයි අපේ ඔළුවට එන හැඟීම. සාමාන්‍යයෙන් ක්ලාන්තය සුලබ වුනත් මේ ආකාරයෙන් නොසෙල්වී බිම ඇද වැටීම අපේ හිතට ගෙනෙන්නේ මරණයේ හැඟීමක්. ඒ බිය වීම සහ කලබලය නිසා අපේ අතින් යමෙකුට හානියක් වෙන්නටත් පුළුවන්. ඒ වගේම ක්ලාන්තයකින් බිම ඇද වැටුනොත්, ඒ වැටීම නිසාත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා පළමුවෙන්ම බාහිර අනතුරු සිදුවී තිබෙනවාද බැලිය යුතුයි. ඉන් පස්සේ පිරිසක් වට වෙලා බිම වැටුනු කෙනා වට කර ගෙන සිටිනවා වෙනුවට වැටුණු පුද්ගලයාට පහසු ආකාරයකට වාතාශ්‍රය එන ලෙස පුටුවක ඉන්දවිය යුතුයි. ඉන්පස්සෙ ඇඳුම් තරමක් ලිහිල් කරලා මුහුණට වතුර ඉහින්නට හෝ අතට වතුර ටික්ක අරගෙන මුහුණෙහි ගෑමෙන් ක්ලාන්ත තත්ත්වය මගහරවාගන්නට පුළුවන්.

පිච්චුනොත්

පිච්චුනු ගමන්ම සිසිල් වතුරට පිච්චුනු ස්ථානය අල්ලාගෙන ඉන්න. සිසිල් වතුර හොයාගන්න බැරි නම් වතුර කූල් වෙනකං ඉන්නෙ නැතුව ටැප් එකකට  අත අල්ලාගෙන ඉන්න. පොඩි පිලිස්සුමකින් එන දිය බුබුලක් වුණත් මේ ප්‍රථමාධාරය නිසා මගහැරගන්න පුළුවන්. මේක අපිට නිතරම සිද්ධ වෙන්න පුළුවන් කරදරයක්. මුළුතැන්ගෙයි උයන අවස්ථාවකදි වගේම, නිවසින් පිටත සහ උණු වතුර නිසාත් මේ අකරතැබ්බයට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. මේක ජීවිත කාලය පුරාම සිටින කැළලක් වෙන්නටත් පුළුවන්. ඒ වගේම අපි මේ කියන ප්‍රථමාධාරය සුළු පිළිස්සුමකින් ඔබට යම් සහනයක් ගෙනාවත්, තරමක් විශාල පිළිස්සුමකදී නම් ප්‍රථමාධාර වලින් පසුව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු වෙත යා යුතුමයි. මොකද පිළිස්සුම් වෙනුවෙන් තියෙන ක්‍රීම් වර්ග හැරෙන්නට බිත්තර සාරු, ටූත් පේස්ට් වගේම වෙනින් ගොඩ වෙදකං කරන්නට යෑමෙන් තුවාලය තව වැඩි වෙන්න පුළුවන්.

කැපුනොත්

මේකත් මුළුතැන්ගෙදරදි වගේම එළිමහනෙදිත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. කැපීමක් සිද්ධ වෙන සුලබම තැන තමයි අත. අපි මේ කියන ප්‍රථමාධාරය වෙන ඕනම තැනකටත් ඔට්ටුයි. කැපීමක් සිද්ධ වුණාම අපි මූලිකම අවධානය දෙන්න උවමනා වෙන්නෙ ලේ ගලා යාම නවත්වන්න. සාමාන්‍ය කැපුමකදී නම් ලේ කැටි ගැසීම මගින් ස්වභාවිකවම ලේ ගැලීම නවතිනවා. නමුත් විශාල කැපුමක් නම් වෛද්‍යවරයෙක් වෙත ගෙන යන තුරු කැපුණු ස්ථානය හොඳින් සෝදා රෙදි කැබැල්ලකින් තද කරගෙන සිටීම හෝ රෙදි කැබැල්ලක් තද කර බැඳ ගැනීම වැදගත්. මොකද නැවත නැවතත් සිහිපත් කරන්නේ, ලේ යෑම නවත්වා ගැනීමටයි මූලිකම අවධානය යා යුත්තේ.

කැඩු​නොත්

මේ අතරින් තියෙන බරපතලම අනතුරක් තමයි කැඩීම් බිඳීම් කියන්නෙ. මේ අවස්ථාව අනිවාර්යෙන්ම රෝගියාව රෝහල් ගත කළ යුතු අවස්ථාවක්. නමුත් මුළින්ම නොකළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. කැඩුණු අස්ථිය ඇදල ඇද බලන්නට හෝ එය කෙලින් කරන්නට උත්සාහ නොකළ යුතුයි. වෛද්‍යවරයෙකු නොවෙන කිසිවෙකුගේ වෛද්‍ය උපදෙස් මේ වෙලාවට පිළිනොගෙන ඉන්නා තරමට රෝගියාගේ ඇඟට ගුණයි. එනිසා හැකිතාක් කැඩුණු අස්ථිය නොසෙල්වෙන සේ තබා ගැනීම කළ යුතුයි. රෝහලට ගෙන යන අවස්ථාවේත් හෙල්ලීමෙන් වළක්වාගන්නට ලී පතුරු දෙකක් තබා අදාළ අස්ථිය නොසෙල්වෙන සේ බැඳ තැබීම කරන්නට හැකිනම් වඩා යෝග්‍යයි. මේ ප්‍රථමාධාරයේ වැදගත් කම වන්නේ කැඩුණු අස්ථිය සෙලවීමෙන් සිරුර තුළ මාංශපේෂීවලට හානියක් විය හැකි නිසායි.

සර්පයෙක් දෂ්ඨ කළොත්

මේක තරමක් දුර්ලභ අවස්ථාවක් වුණත් ​මේ සඳහන් වෙන අවස්ථා අතරේ ජීවිත හානියක් විය හැකි ප්‍රමුඛම අවස්ථාව මෙයයි. තුවාලයට කට තබා විෂ ඉරීමෙන් පළක් වන්නේ නැහැ. ඒ වන විටත් ලේ වලට මුසු වී විෂ සිරුරට ගොස් අවසන්. ඒ වගේම රෙදි කඩකින් බැඳීමක් සිදු නොකළ යුතුම දෙයක්. ඒ වගේම තුවාලය සේදීමත් සිදු නොකළ යුතුයි. එසේ සිදු කිරීමෙන් විෂ කුමක්ද යන්න හඳුනාගත හැකි මාර්ග අවහිර වෙනවා. ඒනිසා ඉක්මනින්ම සිදු කළ යුත්තේ හැකි නම් සර්පයා හඳුනාගෙන, රෝගියා කලබල නොකර රෝහලකට ගෙන යාමයි. රෝගියා කලබල වීමෙන් රුධිර සංසර්ණය ඉක්මන් වී විෂ් සිරුරට ඇතුළු වීම තවත් ඉක්මන් විය හැකියි.

Related Articles